ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් ඉතිහාසයේ

ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් ඉතිහාසයේ
පකිස්තානයෙන් අසරණම ඉනිමක්

නායක සංගක්කාර නොදැවී 81යි

ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් ඉතිහාසයේ පාකිස්තාන පිල අඩුම ලකුණු සංඛ්‍යාවට දැවීයාම වාර්තා කරමින් පාකිස්තාන මුල් ඉනිම ලකුණු 90කට සීමා විය. මෙයට පෙර පාකිස්තානය ගාල්ලේ පැවැති ප‍්‍රථම ටෙස්ට් තරගයේදී දෙවැනි ඉනිමේ ලකුණු 117 ක් වාර්තා කර තිබුණි.

පකිස්තාන ඉනිම කඩා බිඳහෙලීම ආරම්භක වේගපන්දු යවන නුවන් කුලසේකර ඇරැඹූ අතර තිලාන් තුෂාරගේ සහයෝගය මැද අජන්ත මෙන්ඩිස්ගේ මවිත කරවන සුළු පන්දු යැවීම හමුවේ ඉක්මනින් නිමාවිය.

නුවන් කුලසේකර තම ටෙස්ට් දිවියෙහි හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 21කට කඩුලු 4ක්ද තුෂාර ලකුණු 23කට කඩුලු 2ක් හා මෙන්ඩිස් ලකුණු 20කට කඩුලු 3ක් බිඳහෙලූහ.

කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේ ඊයේ ආරම්භ වූ ප‍්‍රථම ටෙස්ට් තරගයේ ප‍්‍රථම දිනයේ සියලු ගෞරව ශී‍්‍ර ලංකාව සතු කර ගනිමින් මුල් ඉනිමට කඩුලු 3ක් බිඳවැටී ලකුණු 164ක් ලබා සිටියේය.

මලින්ද වර්ණපුර ලකුණු 11කට තරංග පරණවිතාන ලකුණු 26කට හා මහේල ජයවර්ධන ලකුණු 19කට දැවීගියහ.

කුමාර සංගක්කාර නොදැවී ලකුණු 81ක් ලබාසිටි අතර එය ඔහුගේ 31වැනි ටෙස්ට් අර්ධ ශතකය පසු කිරීම විය. තිලාන් සමරවීර නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් පකිස්තාන නායක යුනුස් ඛාන් මුලින් පන්දුවට පහරදීමට සූදානම් වූවද එය අවාසිදායක තීරණයක් විය. කුරුම් මන්සූර් හා හාවඩ් අලාම් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර කුලසේකරගේ පන්දුවකට කඩුලු රකින ඩිල්ෂාන් අතට උඩ පන්දුවක්දී කුරුම් ලකුණු 3 ක් ලබා සිටියදී දැවී ගියේය.

නායක යුනුස් ඛාන් අනතුරුව පිටියට පිවිසියද කඩුලු බිඳ වැටීමේ ආරම්භය තවදුරටත් තහවුරු වෙමින් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට තිලාන් තුෂාර සමත්විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ යුනුස් දැවී යද්දී ලකුණු පුවරුව 6 ක් විය.

තවත් ලකුණු 11 ක් එක්වෙද්දී මොහොමඩ් යුසුප් දවා ගැනීමට කුලසේකර සමත්විය. ඔහුගේ පස්වැනි ඕවරය කි‍්‍රයාත්මක වෙද්දී යුසුප් දැවී ගියේ ලකුණු 10 කටය. කුලසේකරගේ අනෙක් ඕවරයේදී මිෂිබා උල්හක් ලකුණු ලබා ගැනීමට පෙර කී‍්‍රඩාගාරයට යැවීමට සමත්විය.

පකිස්තාන ප‍්‍රථම ඉනිමේ පස්වැනි කඩුල්ලට ලකුණු 32 ක සම්බන්ධතාවක් ෆාවඩ් අලාම් හා ෂොහිබ් මලික් එක්ව ගොඩ නැංවූහ. එය පකිස්තාන ඉනිමේ හොඳම සම්බන්ධතාවද විය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ එක් අන්තයක් ආරක්ෂා කරමින් සිටි අලාම් ලකුණු 16 කට දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

දිවා විවේකයට පෙර කම්රාන් අක්මාල් තුෂාර එවූ පන්දුවකට ඩිල්ෂාන් අතට උඩපන්දුවක්දී දැවී ගියේ ලකුණු 9 ක් ලබා තිබියදීය. දිවා විවේකයට තරගය නතර කරද්දී පකිස්තානය කඩුලු 6 කට ලකුණු 74 ක් විය.

දිවා විවේකයෙන් පසුව පකිස්තාන ඉනිම තවදුරටත් කඩා බිඳ හෙලීමට අජන්ත මෙන්ඩිස් එක්විය. මෙන්ඩිස් අවසන් කඩුලු තුනම ලකුණු 10 ක් තුලදී බිඳහෙලීය. පකිස්තාන ප‍්‍රථම ඉනිම ඕවර් 36 කදී මිනිත්තු 167 ක් ගතවී හමාර විය.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා