කෑදර අනුගාමික කල්ලියක් මයිකල් මරා ගත්තා

කෑදර අනුගාමික කල්ලියක් මයිකල් මරා ගත්තා

සොයුරිය ලාටොයා චෝදනා කරයි

කෑදර අනුගාමිකයින්ගෙන් යුත් කල්ලියක් විසින් මයිකල් ජැක්සන් ඝාතනය කළ බවට ඔහුගේ සොයුරී ලාටොයා චෝදනා කැර තිබේ. බි‍්‍රතාන්‍යයේ ඉරිදා පුවත්පත් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙම චෝදනාව නගා ඇත.

53 හැවිරිදි ඇය පවසන්නේ, මයිකල් ඝාතනය කළ බව ඇගේ විශ්වාසය වන අතර මුලපටන්ම ඇයට එම හැඟීම තිබුණු බවයි.

“මෙය එක් පුද්ගලයකු විසින් කළ දෙයක් නොවෙයි. එය කීපදෙනෙකුගේ කුමන්ත‍්‍රණකාරීත්වයේ ප‍්‍රතිඵලයක්. නරක පුද්ගලයන් ඔහු වට කොට සිටියා. මයිකල් නිහතමානී, නිහඬ ආදරණීයකුව සිටි අතර බොහෝදෙනකු ඉන් ප‍්‍රයෝජන ගත්තා.”

“මාසයකටත් අඩු කාලයකට පෙරදී ලන්ඩන් ප‍්‍රසංගයට කලින් මයිකල් මියැදෙනු ඇති බව මට සිතුණා. ඔහු සමඟ හදවතින්ම නොබැඳුණු පුද්ගලයන් ඔහු වටකොට සිටියා.” යැයි ඇය කීවාය. මේ නිසා ඇය පෞද්ගලික පශ්චාත් මරණ පරීක්‍ෂණයක් ඉල්ලා තිබුණි.

පනස්වැනි වියට එළඹී සිටියදී ඉකුත් ජූනි 25දා මයිකල් ජැක්සන් මියගියේය.

“මයිකල් ඩොලර් කෝටි 100 කට වඩා වටින මිනිහෙක්. යමෙකු මෙතරම් වටිනා පුද්ගලයකු වූ විට ඔහු වටා කෑදරයන් රොක්වීම ස්වභාවයක්. ඔහුට ලන්ඩන් ප‍්‍රසංගයට යා ගත නොහැකිවනු ඇතැයි මසකට පෙර මා පවුලේ අයට කීවා. ජීවත්ව සිටින මයිකල්ට වඩා මරණයට පත්වන මයිකල්ගේ වටිනාකම වැඩියි” ලාටොයා පැවසීය.

පවුලේ සොයුරිසොයුරින් හා මිත‍්‍රයන් සමඟ පවත්නා බැඳීම බිඳහෙලමින් ඔහු පසුබිමේ සිටි කණ්ඩායමක් විසින් ලන්ඩන් සංදර්ශන 50ක් සඳහා ගිවිසුම් අස්සන් කිරීමට ඔහු පොළඹවනු ලැබුණු බවත්, ඔවුන් ඔහු ‘සුරවිදෙනක්” බව දැක ඔහු මත්ද්‍රව්‍යවලට පොළඹවන ලද බවත් පවසන ටොයා, ඉන් ඔහුගේ පැවැත්ම දෙදරුම් කෑ අතර එයින්ම ඔහු මියගිය බවත් කියා සිටියාය.

ඔහුගේ මරණයට වගකිවයුත්තන් සොයාගන්නා තුරු එය සෙවීම අත්නොහරින බව පවසන ඇය, ඔහු පවුලේ සෙස්සන්ගෙන් ඈත් කළේ මන්දැයි ප‍්‍රශ්නකැර ඇත.

“මයිකල්ට සාධාරණය ඉටුවියයුතුයි. මගේ සොයුරා මරා දැමූවන් සොයාගන්නාතෙක් මා නිකං ඉන්නේ නැහැ”යි පවසන ටොයා, ජැක්සන් මැරීසිටියේ ඔහුගේ පෞද්ගලික වෛද්‍ය කොන්රාඩ් මරේගේ කුටියේ බවත්, මයිකල් ඔහුගේ කුටියේ සිට එහි ගොස් ඇති නමුදු එහිදී සිදුවූ දේ කිසිවකු නොදන්නා බවත් කියා සිටින්නීය.

ඔහුගේ නිවසින් ස්වර්ණාභරණ අතුරුදන්ව ඇති අතර පුරුද්දක් වශයෙන් ඔහු ඩොලර් මිලියනයකට වඩා නිවසේ තබාගත්තද එහි තිබී කිසිම මුදලක් හමුවී නැති බවද ඇය කීවාය.

ඔහුගේ සිරුර නෙවර්ලන්ඩ් වතුයායේ මිහිදන් නොකරන බව පවසන ටොයා පරීක්‍ෂණයට රැගෙනගිය ඔහුගේ මොළයේ කොටස්ද යළි සිරුරේම තැන්පත් කළ බවද කියා තිබේ.

ඔහු ගීත ගායනය අත්හැර සිනමා අධ්‍යක්‍ෂකවරයකු වීමේ අපේක්ෂාවෙන් පසුවූ බවද, ඒ අනුව “ති‍්‍රලර්” නමින් සංත‍්‍රාසය උපදන චිත‍්‍රපටයක් නිපැයීමට ඔහු අදහස් කොට සිටි බවද පවසන ටොයා, සෑම පස්වසරකට වරක්ම ඔහුගේ අවසන් කැමති පත‍්‍රය වෙනස් කිරීමේ සිරිතක් පැවති බැවින් 2007 ලියනලද අන්තිම කැමති පත‍්‍රයක් තිබිය යුතු බවද පවසන්නීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා