ජාතික - සංස්කෘතික කලා සංදර්ශනයක්

ජාතික - සංස්කෘතික කලා සංදර්ශනයක්

ශ‍්‍රී සුගත තථාගත ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ගේ සුවාසූ දහසක් නිර්මල ශ‍්‍රී ධර්මස්කන්ධයෙන් ස්පර්ශය ලැබුවා වූ ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි අනුරපුර කිත්සිරි මෙවන් මහරජතුමාගේ කාලයේ පටන් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ මහරජතුමාගේ කාලය දක්වා රාජරාජ මහාමාත්‍යාදීන් හා සාධු ජනයා නානාවිධ පුද පූජෝත්සව පැවැත් වූහ. මෙකී පූජෝපහාරයන් අතර , චිරාගත සම්ප‍්‍රදායික පුද සිරිත් නොකඩ කොට පවත්වාගෙන එනු ලබන සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය ආගමික මෙන්ම සංස්කෘතික මහා පූජෝත්සවයකි.

කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමන් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝ රාජ මාහිමිපාණන් වහන්සේගේ ද අනුශාසනා ලබා , නාථ , විශ්ණු කතරගම හා පත්තිනි දේවාලයන් හි පෙරහර ද දළදා පෙරහරට එක් කළ අතර. ඒ අනුව , එදා සිට අද දක්වා ජාතික ආගමික සංස්කෘතික කලා සංදර්ශනයක ස්වරූපයෙන් පැවැත්වෙන සෙංකඩගලපුර ශ‍්‍රී දළදා පෙරහර සමසත ලෝකවාසී බෞද්ධයන්ගේ ශ‍්‍රද්ධා භක්තිය හා බෞද්ධ අබෞද්ධ සෑම සියලු දෙනාගේ නේත‍්‍රාභිනන්දනය හා ප‍්‍රීති ප‍්‍රමෝදය වර්ධනය කිරීමට හේතු වන්නේමය.

මේ අවස්ථාවේ දී සෙන්කඩගලපුර ඇසළ පෙරහර නිමිති කරගෙන මහනුවර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය සමරු කලාපයක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබීම අපි ඉතා අගය කොට සලකමු. මෙවර වාර්ෂික ඇසළ මහා පෙරහර සර්වප‍්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකි වේවායි ප‍්‍රාර්ථනය කරන අතර, පෙරහර නැරඹීමට මෙරට මෙන්ම ලොව නන්දෙසින් පැමිණෙන සියලුම දෙනාට , ති‍්‍රවිධ රත්නයේ සහ ශ‍්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප‍්‍රාර්ථනා කරම්හ.

තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති.

ශ්‍යාමෝපාලි මහා නිකායේ

මල්වතු පාර්ශ්වයේ මහානායක.
 


ඓතිහාසික පසුබිමක් ඇති කලා මංගල්‍යයක්

ශ‍්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කළදා පටන් ලක්දිව රාජ්‍යය විචාල හෙළ රජ දරුවන් විසින් දන්ත ධාතුන් වහන්සේ උදෙසා විවිධ පුද පූජා පවත්වමින් සිය දිවි දෙවැනි කොට උන්වහන්සේ ආරක්ෂා කළ ආකාරය ලක්දිව ශාසන ඉතිහාසයෙන් මැනවින් පැහැදිලි වේ.

කලින් කලට රාජධානි මාරු වෙනඅවස්ථාවන්හිදී ද විවිධ ක‍්‍රමෝපායයන් මගින් සුරක්ෂිත කරගත් ශ‍්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ සෙංකඩගල මහනුවර රාජ්‍ය විචාල පළමුවන විමලධර්ම සූරිය රජ සමයේ දෙල්ගමුව රජමහා විහාරයේ ආරක්ෂාකාරීව වඩා හිඳුවා තිබුණු අතර අනතුරුව ශ‍්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම කරවුයේ එකල සෙංකඩගල පුරවරයේ පැවති ප‍්‍රධාන ඓතිහාසික ශාසනික මූලස්ථානය වූ අස්ගිරි මහා විහාරයේ වැඩ සිටි ඇල්ලේපොල මංගල හිමියන් ප‍්‍රධාන භික්ෂුන් පිරිසක් විසින් බව වංශකථාවල සඳහන්ව තිබේ.

අනතුරුව වර්තමානයේ ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන ශ‍්‍රී දළදා ගමන් විහාරය හෙවත් අස්ගිරි ආදහන මළුව ගෙඩිගේ විහාරස්ථානයේ දළදා වහන්සේ වැඩ හිදුවා ප‍්‍රථම වරට මහනුවරදී පුද පූජා පැවැත් වූ බවද ඓතිහාසික සත්‍යකි. මෙසේ මහනුවර ආරම්භ වූ දළදා පුද සිරිත් ක‍්‍රමයෙන් සංවර්ධනය වූ අතර පසුව දළදා මන්දිරයක් සාදා වර්තමානයේ දළදා වහන්සේ වැඩ සිටින ස්ථානයේ තැන්පත් කරවා රාජ්‍ය අනුග‍්‍රහය ද ලබා දී එම පුද සිරිත්, ඓතිහාසික සම්ප‍්‍රදායන් රැසක් ද සමගින් මේ දක්වා පවත්වා ගෙන එනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ පවත්වන පෙරහර අතර සෙංකඩගල රාජධානි සමයේ සිට පැවතගෙන එන ඓතිහාසික පසුබිමක් ඇති කලාත්මක අගයෙන් ද යුක්ත වූ සුවිශේෂි පෙරහරක් වන සිරි දළදා පෙරහරේ එම ඓතිහාසික පසුබිම, එහි සංයුතිය සහ ඓතිහාසික සම්ප‍්‍රදායයන්ද එහි පවතින කලාත්මක අංගයන්ද සුරක්ෂිත කර ගැනීම මෙරට වැසියන්ගේ වගකීමක්වී පවතී.

ඓතිහාසික ඇසළ මහා පෙරහර සාර්ථක කර ගැනීමට දියවඩන නිලමේතුමා ප‍්‍රධාන සිවු මහා දේවාලවල බස්නායක නිලමේතුමන්ලා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා, මධ්‍යම පළාත් මහාමාත්‍යතුමා, මහනුවර දිස්ති‍්‍රක් ලේකම්තුමා ඇතුළු රජයේ ආයතන සහ සියලු කාර්ය මණ්ඩලයන් ද කලාශිල්පීන් ද දරන ප‍්‍රයත්නය ජාතික මෙහෙවරක් සේ සැලකිය යුතු වේ. ඒ සියලු දෙනාටම ශුභාශිර්වාදය පළ කරන අතරම ජනාධිපතිතුමා ප‍්‍රධාන රජයටත් ලක්වැසි සියලු දෙනාටත් පොදුවේ මුළුමහත් දේශයටත් ශ‍්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් අභිවෘද්ධියක්ම සැලසේවායි ප‍්‍රාර්ථනා කරම්හ.

උඩුගම ශ‍්‍රී බුද්ධදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමි.

මහනුවර අස්ගිරි විජයසුන්දරාරාම විහාරදේවයාධිපති

ශ්‍යමොපාලි මහා නිකායේ

අස්ගිරි පාර්ශවයේ මහානායක

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා