මුද්‍රණය සඳහා

 
ජය පැරැදුම නිහතමානීව බාරගත් ඇන්. ඇම්

ජය පැරැදුම නිහතමානීව බාරගත් ඇන්. ඇම්

ආචාර්ය ඇන් ඇම් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී අදට (අගෝස්තු 14) වසර 30ක් ගත වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ම එකල කොළඹ මේට්ලන්ඩ් පෙදෙසේ එන්. සී. සී. (N.C.C)  ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙක්මි. එහි සභාපතිවරයා වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යි. එන්. සී. සී. හි ක්‍රිකට් ටෙනිස් ක්‍රීඩාවලට එදා මම ද සහභාගී වුණෙමි. බොහෝ දවස්වල සවස් යාමයේ ටෙනිස් ක්‍රීඩා කිරීම මගේ පුරුද්දක් විය. අප ටෙනිස් කණ්ඩායමේ ප්‍රබලම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ය.

බොහෝ අවස්ථාවල සාන්ත ජෝසප් විදුහල් ක්‍රිකට් පිළේ 1940 ගණන්වල ප්‍රබල පිතිකරුවෙක් වූ බෙන්ජිමින් ලියෝනිඩාස් සමඟ ඔහු තරග කිරීමට පුරුදු වී සිටියේය. මෙයට අමතරව, වමතින් හා දකුණතින් ටෙනිස් පිත්ත හසුරුවන ඇස්ටීර් ද සිල්වා කැපී පෙනෙන ක්‍රීඩකයෙක් විය.

ඇතැම් දිනවලදි, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සමඟ තරග කරන්නට, මට ද අවස්ථාව ලැබුණි. මාගේ "ක්‍රොස් කොට් ඩ්‍රයිව්" පහර ආචාර්ය පෙරේරා අගය කළ වාර අනන්ත ය. ඔහුට ම ආවේනික ඔදවත් ප්‍රතාපවත් හඩින් "නයිස් ෂොට් (Nice Shot) ප්‍රේමසර" කීය. ඔහු මා අමතන හඬ අදත් මට ඇසෙන්නාක් වැනි ය.

දරුණු පරාජයක්

1977 මහා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වෙමින් පැවැතිණි. යටියන්තොට අසුනේ ප්‍රතිඵලය කාටත් ඇදහිය නොහැකි එකක් විය. දශක පහකට හයකට වඩා වැඩි කාලයක් රුවන්වැල්ල, සහ යටියන්තොට ආසනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වු ලංකා සමසමාජ පක්ෂයේ නායකයා, එක්සත් ජාතික පක්ෂයේ කේ. වින්සන්ට් පෙරේරා අතින් වැඩි ඡන්ද 2517 කින් පරාජයට පත්වීම් එම මැතිවරණයේ විශාලම පෙරළිය විය.

කේ. වින්සන්ට් පෙරේරා ඡන්ද 17,545 ක් ලබා ගත්තේ ය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලබා ගත්තේ ඡන්ද 15,028 ක් පමණි. මෙම ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධනවත් කෙදිනකවත් බලාපොරොත්තු නොවුවකි.

ශ්‍රී ලංකාවේ උගතුන් වැඩි දෙනාගේ මතය වී තිබුණේ ඇන්. ඇම්, කොල්වින්, පිලිප්, බර්නාඩ්, ලෙස්ලි, දොස්තර වික්‍රමසිංහ, කේනමන්, වැනි අවංක බුද්ධිමත් වාමාංශික නායකයන් පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම සිටිය යුතු බවයි. එයට හේතුව ඔවුන් ගේ පරිණතභාවය හා පාර්ලිමේන්තු විවාදවලදී ඔවුන් පවත්වන හරවත් දේශන හා සටන්කාමීත්වයයි. ඔවුන් ගේ දර්ශනය පිළිගත්තද, නොගත්තද, ජනතාවගේ ගෞරවයක් ඔවුනට සැමවිටම හිමි විය. අවංකභාවය, ප්‍රතිපත්ති ගරුකවීම සහ විනයගරුකත්වය එයට ප්‍රධාන හේතු විය.

වසර 40 කට වඩා වැඩි කලක් තමා නියෝජනය කළ පාර්ලිමේන්තු අසුනෙන් පරාජය වුණු කෙනෙකු හට කම්පනය සහ සිත්තැවුල අමතක කොට ටෙනිස් ක්‍රීඩා කළ හැකිද? එහෙත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට තිබුණේ පුදුම ආත්ම ශක්තියකි. නිහතමානි ගතිගුණවලින් පිරුණු උතුම් මිනිසෙකු වූ ඇන්. ඇම්. ට ඔහුගේ "රත්තරන් මොළයට" අමතරව තිබුණේ "රත්තරන් හදවතකි". වචනයේ පරිසමාප්ත අරුතින්ම හේ මහත්මයෙකි. මානව දයාවෙන් පිරිපුන් ජනතා පුත්‍රයෙකි.

අප සමඟ සිනාමුසු මුහුණින් ඔහු කතාව ඇරඹුවේය. ඔහුගේ කායික හා මානසික පෞරුෂයන්ට අපි වශී වූයෙමු.

"ජනතාවගේ කැමැත්තට අප හිස නැමිය යුතුයි. ඒ තමයි, ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂි ලක්ෂණය. මා ක්‍රිකට්, ටෙනිස් ආදි ක්‍රීඩාවන් මගින් ජය පැරැදුම එක සේ නිහතමානීව භාරගන්න ඉගෙන ගත්තා. මා එදා නායකත්වය දැරු ආනන්ද ක්‍රිකට් පිළත්, මහා තරගයේදී නාලන්දාව අතින් පරාජයට පත් වුණා. බී. එස්. පෙරේරාගේ නායකත්වයෙන් යුත් ඔබේ පාසල එදා දිනුව" ඉතාමත් නිහතමානීව ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මා සමඟ පැවසීය.

ජය පැරදුම එතරම් දෙයක් නොවෙයි. සටනයි වැදගත්" අවසන් වශයෙන් ඔහු පැවසීය. ඇන්. ඇම්. ට තිබුණේ ප්‍රතාපවත් පෞරුෂයකි. හේ අති සුන්දර මිනිසෙකි. ජන නායකයෙකි. වියතෙකි. අති දක්ෂ ක්‍රීඩකයෙකි. අති දක්ෂ කථිකයෙකි.

ශ්‍රී ලංකා දේශපාලන අම්බරයේ ප්‍රභාමත් තරුවක් වූ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන් . ඇම්. පෙරේරා ජනතා හදවත් හදුනාගත් ඔදවත් තෙදවත් විශිෂ්ට ජන නායකයෙකි. හේ, හදවතට එකඟව කතා කළ නායකයෙකි, අනාගතය දුටු පඬිවරයෙකි, වියතෙකි.

දේශපාලන අම්බරයේ ප්‍රභාමත් තරුව

1906 ජුනි 06 වෙනිදා උපත ලද ඇන්. ඇම්, සිය මූලික අධ්‍යාපන ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙනි. ඉන් අනතුරුව, හේ කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් විය. එදා ආනන්දයේ දිසාපාමොක් ඇදුරු වූයේ බෞද්ධ අධ්‍යාපනය නංවාලීම සඳහා මහඟු සේවයක් කළ ආචාර්ය පී. ද එස්. කුලරත්න මහතායි.

1924 වසරේදී ආනන්ද විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේ ඇන්. ඇම්. ය. දකුණතින් පිත්ත හසුරුවන ඇන්. ඇම්, එදා ලංකාවේම පාසල්, අතර අති දක්ෂ ක්‍රීඩකයෙකු විය . දක්ෂ නායකයෙකු ද විය. පසු කලක මොහු, යුනිවර්සිටි කොලිජ් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් විය.

නගරයෙන් කෙතට නාට්‍යයේ ප්‍රධාන චරිතය

සිය අධ්‍යාපනයත්, ක්‍රීඩාත්, සමබරතාවයකින් යුතුව ක්‍රියාත්මක කළ ඇන්. ඇම්, 1928 වසරේදී යුනිවර්සිටි කොලොජියට ඇතුළත් විය. ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය හිමිකර ගත් ඔහු සිය සරසවි ජීවිතයේදී ක්‍රීඩා හා කලා අංශවලදී ද කැපී පෙනුණ දස්කම් පෙන්විය.

යුනිවර්සිටි කොලිජියේ ක්‍රිකට් පිල නියෝජනය කළ ඇන් ඇම්. "නගරයෙන් කෙතට" නම් විශ්වවිද්‍යාල නාට්‍යයේ ප්‍රධාන චරිතය රගපෑවේය. ආර්ථික විද්‍යාව ගෞරව උපාධිය දිනා ගැනීමෙන් පසුව ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය. ඔහු සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතයද රඟපා ඇත.

ඇන්. ඇම්, කොළඹ යුනිවර්සිටි කොලිජියේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් වශයෙන්ද සේවය කළේය.

වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා ගිය ඇන්. ඇම්. පෙරේරා (Doctor of Science) (Doctor of Philosophy)  උපාධිධාරියෙකු වීමෙන් පසුව ආචාර්ය පදවිය දිනා ගත්තේය.

හැරලඩ් ලැස්කීගේ ප්‍රධානතම ගෝලයා

ඔහු ලෝක ප්‍රකට "ලන්ඩන් ස්කුල් ඔෆ් ඉකොනොමික්ස්" ලන්ඩන් (London School of Economics) සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ එදා සිටිය ප්‍රවීණයා වූ මහාචාර්ය හැරල්ඩ් ලැස්කිගේ ප්‍රධානම ශිෂ්‍යයෙකු විය. අධ්‍යාපනයේ වටිනාකම නොදත් විරුද්ධවාදීහු, නුගතුන්, ඔහුට "ඩබල් ඩොක්ටර් " කියා උසුළු විසුළු කළහ. ඒ සියල්ල ඔහු පිළිගත්තේ සිනාවකින් ය.

"මගේ ගෝලයන් අතර, ඇන්. ඇම්. සුවිශේෂියි. හේ, ඉතාමත් බුද්ධිමත්. පි‍්‍රය මනාප විශිෂ්ට ගණයේ ශිෂ්‍යයෙක්. ඉතා ක්‍රියාශීලියි. අධ්‍යාපනයටත්, ක්‍රීඩාවලටත් ඔහු එක සේ දක්ෂයි. මෙවන් ශිෂයෙකුට ඉගැන්වීමට ලැබීමත් මා ලද භාග්‍යයක්. එංගලන්තයේ ඉපදුණා නම් බොහෝ විට ඔහු කම්කරු පක්ෂයේ අගමැතිවරයා වන්නට ඉඩ තිබුණා" යැයි වරක් හැරල්ඩ් ලැස්කි පැවැසීය.

හිරෙන් පැනයාම

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව, 1935 දී පමණ ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කොට අධිරාජ්‍ය විරෝධී සටන ඔහු දියත් කෙළේ පිලිප්, කොල්වින්, ලෙස්ලි, එඩ්මන්ඩ්, රොබට්, බර්නාඩ්, විවියන්, ඩොරික් සුසා ආදි සමාජවාදීන් සමගය. මේ නිසා, මෙම නායකයන් හට හිරබත් කන්නට ද සිදුවිය.

අයුක්තියට, අසාධාරණයට විරුද්ධව ඇන්. ඇම්. නැගී සිටියේය. බෝගම්බර හිරගෙදරින් ඔවුන් පැන යාමත් බ්‍රෙස්ගෙර්ඩ්ල් (Bracegirdel) සිද්ධිත් ඉන්දියාවට හොරෙන් යාමත්. එහි බැංකුවක සේවය කිරීමත් ඇල්ප්‍රඩ් හිච්කොක්ගේ ත්‍රාසය දනවන චිත්‍රපටියක් වැනිය.

රුවන්වැල්ල " පරිප්පු මහත්තයා" 1936 දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ලංකාවේ ප්‍රථම රාජ්‍ය සභා මන්ත්‍රීවරිය වූ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි පරදා රුවන්වැල්ලෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් තේරී පත්විය. ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම විරුද්ධ පක්ෂ නායකයා වුයේද ආචාර්ය ඇන්. ඇම්. පෙරේරායි. ඒ 1947 දී ය.

පරිප්පු මහත්තයා

මැලේරියාව පැතිර ගිය එම වකවානුවේදී කොට කලිසමක් ඇඳගෙන දෙහිඕවිට, යටියන්තොට, දැරණියගල, උඩබාගේ ආදි ගමින් ගමට ගොස් පරිප්පු බෙදීම නිසා ගැමියන් ඔහුව හැදින්වූයේ "පරිප්පු මහත්තයා" යන ආදර නාමයෙනි.

එදා දේශපාලන ශබ්ද කෝෂයට "රුවන්වැල්ලට පරිප්පුවා" "අවිස්සාවේල්ලට පිලිප්පුවා" සහ "රත්නපුරයට කුරුප්පුවා" යන්න මැතිවරණ යුගයේ ජනපි‍්‍රය කියමනක් විය.

ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම විපක්ෂ නායක ධූරයට පත්වුයේ 1947 මහා මැතිවරණයේදී රුවන්වැල්ල, ආසනය ජයගත් ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරායි. 1947, 1952 , 1956, 1960 ( මාර්තු ) 1960 (ජුලි ), 1965, 1970 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රුවන්වැල්ල සහ යටියන්තොට ආසන ඔහු දිනා ගත්තේය. 1960 දී යටියන්තොට පාර්ලිමේන්තු අසුනක් බවට පත්විය.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කොළඹ පුරපතිවරයා වශයෙන්ද කටයුතු කොට ඇති අතර , එය කොළඹ නගර සභා ඉතිහාසයේ "ස්වර්ණමය යුගය" ලෙස බොහෝ දෙනාගේ මතය විය. ඔහු ඩී. එස්. ඩබ්ලිව් ද සිල්වා අතින් නගර සභා ඡන්දයේදී පරාජයට පත්විය.

ශ්‍රී ලංකා ජනතාවගේ හිතසුව පිණිස ප්‍රජාතන්ත්‍ර සමාජවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන රජයක් ගොඩනැගීම සඳහා ඔහු හඬක් නැගුව ද එය ඉටු නොවිණ. වසර 40 ක පමණ කාලයක් රුවන්වැල්ල හා යටියන්තොට ආසනය නියෝජනය කළ ඔහු 1970 - 1977 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රජයේ මුදල් ඇමැතිවරයා ලෙස සේවය කළේය. එහෙත්, 1977 දී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යටියන්තොට අසුන පැරදීමෙන් ක්‍රියාකාරි දේශපාලනයෙන් තරමක් ඉවත් විය.

ඇන්. ඇම්. හදවතින්ම ක්‍රිකට්වලට ආදරය කළේය. අපගේ ක්‍රීඩා සමාජය වු නොන්ඩිස්ක්‍රිප්ට NCC ක්‍රීඩා සමාජයේ සභාපති පදවිය දැරූ වකවානුව අපට අමතක නොවේ. ඔහු කෙදිනකවත් ක්‍රිකට් ක්‍රීඩාවත්, දේශපාලනයත් මිශ්‍ර කර ගත්තේ නැත. තමාගේ දේශපාලන දර්ශනය ගැන ක්‍රීඩා සමාජයේදී කතා කළේද නැත.

ක්‍රියාශූර ක්‍රිකට් සභාපති

ඇන්. ඇම්. 1977 / 1978 වසරවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මඩුල්ලේ සභාපති ධුරයට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන ලද්දේ එම ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා සමාජ මගින් තෝරාගන්නා ලද නියෝජිතයින් මගින්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරුන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිකට් සමාජවල ඡන්දයෙන් පත්වුණු ජේ. ආර්. ජයවර්ධන, ටී. බී. වේරපිටිය, ගාමිණි දිසානායක ලක්ෂ්මන් ජයකොඩි සහ ටිරෝන් ප්‍රනාන්දු දේශපාලනඥයන් වුවද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කැපවුවෝ වෙති.

එවකට ක්‍රිකට් පාලනය කළේ ක්‍රීඩා සමාජවල නියෝජිතයන්ගේ ඡන්දයෙන් පත්වුණු නිලධාරින් මගින්ය. 1977 /1978 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මඩුල්ලේ සභාපති පදවියට ඇන්. ඇම්. තෝරාපත් වුණේ වැඩි ඡන්ද 45 කින්ය.

හේ කෙදිනකවත් තමාගේ දේශපාලන බල පරාක්‍රමය ක්‍රිකට් ක්‍රීඩාවේ සභාපතිත්වයට පත්වීමට උපයෝගී කරගත්තේ නැත.

එදා ඇන්. ඇම්. ගේ. ප්‍රතිවාදියා වූයේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වු එෆ්. සී. ද සේරම්ය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට ඡන්ද 53 ක් ලැබුණ අතර එන්. සී. ද සේරම්ට ලැබුණේ ඡන්ද 8 ක් පමණි.

ඔහුගේ විශේෂත්වය වූයේ කෙදිනකවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීයකරණයට ලක් නොකිරීමයි. ඉතාමත් හොඳින් ක්‍රිකට් පරිපාලනය කරගෙන ගියේය.

1960 ගණන්වල අවස්ථා කිහිපයකදීම මම දිනමිණ වෙනුවෙන් පාර්ලිමේන්තු හා සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ වාර්තා ලිව්වෙමි.

ඇන්. ඇම්. පාර්ලිමේන්තුව අමතන විට ඔහු ඉතාමත් බුද්ධිමත් ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කරමින් කතා කරන විට මුළු පාර්ලිමේන්තුව වර්ණවත් වේ. ඔහුගේ සාරගර්භ කතාවලට බාධා කිරීමක් කරන්නේ ඉතාමත් කලාතුරකින්ය. ඔහුගේ කතාවක් අහන්නට ලැබීමත් භාග්‍යයකි.

හේ සැමවිටම උත්තරීතර සභාවේ ගෞරවය රැකගත් සම්භාවනීය මන්ත්‍රීවරයෙකු විය. විරුද්ධ පක්ෂ නායකයෙකු විය. මුදල් ඇමැතිවරයෙකු ලෙසද ඔහු ආර්ථිකයේ විශාල විප්ලවයක් කිරීමට පියවර ගත්තේය.

ප්‍රතිවාදීන් ද එතුමාට දැක්වූයේ ඉමහත් ගෞරවත්වයකි. ඔහුද තම ප්‍රතිවාදීන්ට ගෞරව කළේය. ආචාර්ය එන්. එම්. පෙරේරා රටටත් පාර්ලිමේන්තුවටත් ආභරණයක් විය.

1979 අගෝස්තු 14 වැනිදා එතුමා අප අතරින් සදහටම සමුගත්තේය.

දෙස් විදෙස් අතර ඉතාමත් සම්භාවනීයත්වයට පත් වූ මොහු ඉංගී‍්‍රසි භාෂාවෙන් කියන පරිදි වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
(He is a Cricketer)


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]