මුද්‍රණය සඳහා

 
රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධියට

රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධියට
රණවිරු සේවා අධිකාරිය විශාල සේවාවක් කර තිබෙනවා

- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

රණවිරු සේවා අධිකාරිය පසුගිය දශක කිහිපය පුරා රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකර තිබෙන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

එම ආයතනයේ සියලු සේවකයන්ට සිය ප්‍රණාමය පුදකර සිටින බවද හෙතෙම කීවේය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රණවිරු සේවා අධිකාරිය සංවිධාන කර තිබූ රණවිරුවන් හට නිවාස ආධාර ලබාදීමේ උළෙලට පසුගියදා (03) එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා එසේ ප්‍රකාශ කෙළේය.

රුපියල් මිලියන 25 ක මුදල් ආධාර රණවිරු පවුල් 250 කට මෙහිදී බෙදා දුන්නේය.

පසුගිය වසර තුන හමාරක කාලය තුළ රණවිරු සේවා අධිකාරිය රණවිරුවන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකර තිබෙන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිනිය ලෙස පත් වූ අනෝමා ෆොන්සේකා මහත්මියට එම කටයුතු ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද කීවේය.

යම් ව්‍යාපෘතියක් සිදුකර ගෙන යාමේදී අතපසු වීම් සිදුවන බවත්, ඒවා ඉස්මතු කර පහරදීම් සිදුකරනවා වෙනුවට ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගෙන එහි සාර්ථක පැත්ත ගැනත් කතා කළයුතු බවත් ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටියේය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

රණවිරු සේවා අධිකාරිය පසුගිය වසර තුනහමාර ඇතුළත විශාල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබුණා. ඊට හේතුව එම අධිකාරියේ සිටින නිලධාරීන්ගේ දක්ෂතාවයයි.

මම ඔවුන් සියලු දෙනාට මේ මොහොතේ සුබ පතනවා. තමන් කරන කාර්ය තව හොඳින් රටට ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.

රජයත්, ආරක්ෂක අමාත්‍යාංශයත් එක්ව පසුගිය කාලයේදී රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. නීතියේ තිබුණු විෂමතාවයන් රැසක් සංශෝධනය කර රණවිරුවන්ගේ් ඥාතීන් හට ඵලදායී සේවාවන් ලබාදීමට හැකි වුණා.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී සෘජුවම රාජකාරියට සම්බන්ධ නොවන කරුණකදී මියගොස් තිබුණොත් එම රණවිරුවන්ගේ පවුල්වලට කිසිදු දෙයක් ලබාදුන්නේ නැහැ. නමුත් එම තත්ත්වය වෙනස් කිරීමට අපට හැකියාව ලැබුණා.

බොහෝ රණවිරු පවුල්වලට තිබුණ ප්‍රශ්නය තමයි ඉඩමක් හෝ නිවාසයක් නොමැතිවීම. ඒ වගේම රණවිරු පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි ඉඩකඩක් ලබාදීමටත් අප සැලසුම් කර තිබෙනවා. මැලේ වීදියේ පිහිටුවා ඇති ආකාරයේ රණවිරු දරුවන් සඳහා පාසලක් කුරුණෑගල හා මහනුවර ස්ථාපිත කිරීමටත් කටයුතු කරමින් සිටිනවා.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට සේවා වනිතා ඒකක මගින් සුබසාධන රැසක් සිදුවෙනවා. පසුගිය කාලය පුරාවටම රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳීමට ඒ සඳහා ඇහුම්කම් දුන්න කාන්තාවක් ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය සුවිශේෂී වැඩ කොටසක් කර තිබුණා.

රණවිරු පවුල්වල ප්‍රශ්න ගැන කතා කරන්න සුදුසු කාන්තාවක් හෙයින් ඒ සඳහා රණවිරු සේවා අධිකාරියට කාන්තාවක් පත් කළයුතු යැයි ජනාධිපතිතුමා පවසා සිටියා. සේවා වනිතා ඒකක රැසක අත්දැකීම් තිබෙන අනෝමා ෆොන්සේකා මහත්මිය ඒ සඳහා සුදුසු යයි යෝජනා වුණ හෙයින් එතුමිය පත් කළා.

රණවිරු සේවා අධිකාරිය හරහා රණවිරු පවුල්වලට විශාල වැඩ කොටසක් කළ හැකියි. එය අවබෝධ කරගෙන සිය සේවාව උපරිමයෙන් ලබාදෙන්න කියා නව සභාපතිනියගෙන් ඉල්ලා සිටිනවා.

සදාකාලිකව ආබාධිත අසාධ්‍ය තත්ත්වයේ සිටින සෙබළුන් රැක ගැනීමට අත්තිඩිය ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමටත් අප කටයුතු කර සිටිනවා. ඔවුන්ගේ ජීවිත සදාකාලිකව රැක බලා ගැනීමට රජය කැපවන බවද හෙතෙම කීවේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය - රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස පත්වීමෙන් පසු සිදුකරන පළමු රාජකාරිය මේ තරම් උත්කර්ෂවත් හා ඵලදායීතාවකින් යුතුව කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් ලෙස සලකනවා.

මා මේ තනතුර සඳහා පත්කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්වරුන් හට ස්තුතිය පුදකර සිටිනවා.

අපිට දරුණු ඉතිහාසයක් තිබුණා. එම කාලය පුරා දිවිපිදූ, අතුරුදන් වූ හා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්, ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අප අධිකාරිය මගින් කළ හැකි සෑම දෙයක්ම කිරීමට මා උපරිම උත්සාහ ගන්නවා.

මෙලොව උප්පත්තිය ලැබූ සෑම මනුෂ්‍යයකුටම හිසට සෙවණක් අවශ්‍යයි. එය රණවිරුවන්ටත් ලබාදීමට ඇප කැප වෙන බවද එතුමිය ප්‍රකාශ කළාය.

මේ අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි පත්මා වෑත්තෑව, හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, කළමනාකරණ මණ්ඩල සමාජික දිලිත් ජයවීර, කළමනාකරණ සමාජික නීතිඥ ආර්. එස්. ආරියප්පෙරුම, කළමනාකරණ මණ්ඩල සමාජික රියද් අද්මිරාල් එස්. එම්. බී. වීරසේකර, එයාර් වයිෂ් මාර්ෂල් එච්. ඩී. අබේවික්‍රම, නියෝජ්‍ය පොලිස්පති ඩී. එස්. ආර්. වානගුරු, කළමනාකාර අධ්‍යක්ෂ ශි‍්‍රයා දනන්සූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල, ආරක්ෂක අමාත්‍යාංශයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරි ලෙස්ලි රූපසිංහ, ව්‍යාපෘති නිලධාරි භාග්‍ය ගමගේ මහත්ම මහත්මීහු ඇතුළු රණවිරුවන්, ඔවුන්ගේ පවුල්වල සමාජික සාමාජිකවන් රැසක් ද සහභාගි වී සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]