මාස පහක ඉතිහාසය අමතකද?

මාස පහක ඉතිහාසය අමතකද?

තාත්තේ අද වැඩට යන්න එපා! මෙබඳු කතා ටික කලකට පෙර අපි අසා ඇත්තෙමු. පුංචි දරුවකුගේ බලාපොරොත්තු සහගත ළයාන්විත හඬකින් එබඳු ආයාචනයක් ඇසෙන විට එය දරාගත හැක්කේ කාට ද? දරුවකු ගේ අනාගතය රැඳී ඇත්තේ තාත්තා මතය.

නැතහොත් පියා හෝ අප්පච්චී මතය. ඒ හඬ දිගින් – දිගටම අසන්නට ලැබිණි. රැකියාව සඳහා කොළඹ එන තාත්තා කොටි බෝම්බයකට හසුවුවහොත් දරුවාට ඇති ආරක්ෂාව හා අනාගත සුරක්ෂිතතාව එතැනින් අහෝසි වන්නේය.

අනාගතය අහිමි වූ එබඳු දරුවෝ දහස් ගණනක් අද මේ රටේ සිටිති. යුද්ධයට කිසිදු අයුරකින් සම්බන්ධයක් නැති තාත්තලා ද කොටි බෝම්බවලින් පරලොව ගියහ. ත්‍රස්තවාදියා හෙවත් කොටියා තෝරා - බේරාගෙන පහර දුන්නේ නැත.

එදා දරුවෝ කඩුල්ල ළඟට හෝ ගේට්ටුව ළඟට විත් තාත්තා ගේ රුව පේනතෙක් බලා සිටියහ. සමහර තාත්තලා පෙරළා එති. සමහර තාත්තලා පෙරළා නොඑති.

වැඩට යන තාත්තා ආපසු නිට්ටාවට ම ගෙදර එන්නේ යැයි කිව හැකි සහතිකයක් ලබා දිය හැක්කේ කාටද? මේ අවිනිශ්චිත ස්වභාවය මුළු මහත් ශ්‍රී‍්‍ර ලංකාව පුරා ම පැතිර තිබිණි. එය බිහිසුණු අත්දැකීමක් විය. යහමින් ආදායම් ඇති අය හෙවත් ධනවත් ප්‍රජාව අපේ දරුවන්ට අනාගතයක් නැතැ’යි කියමින් විදේශ ගතවූහ.

තවත් අය තමන්ගේ නිදහස් ජීවිතයට තිත තබමින් හුදෙකලා ජීවිත ගත කරන්නට පුරුදුවූහ. මුළු ශ්‍රී ලංකාව පුරා පැතිර ගියේ බිය - සැකය - සාංකාව හා අවිනිශ්චිත භාවයයි. සෑම ගෙදරකින් ම නැඟුණේ මරණ බිය පිළිබඳ සාංකාවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරක් දුන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ ද ඊට යථාර්ථවාදී විසැඳුමක් දුන්නේ නැත. මේ තත්ත්වය සමහන් වී රට සාමකාමී බවට පත්වූයේ පසුගිය මැයි මාසයේ ය, හෙවත් මීට මාස පහකට පෙරය.

දැන් ඒ පිළිබඳ මතකයක් හෝ ස්මරණයක් බොහෝ අයට නැති බව පෙනෙන්නට තිබේ. දැන් බොහෝ අය නිදහස භුක්ති විඳිති. එහෙත් නිදහස පැමිණි මාර්ගය අමතක කරති.

අපගේ මතකය අවදි කළහොත් මැයි මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගතව සිට පෙරළා මවුබිමට පැමිණි මොහොතේ මේ රටේ මිනිස්සු එතුමා පිළිගැනීමට මහ මඟ පුරා රැදී සිටියහ. එතුමා ලක්භූමිය සිපගත් මොහොතේ මේ රටේ මිනිස්සු ඒ වෙනුවෙන් දෑසින් කඳුළු වැගිරවූහ. දේශපේ‍්‍රමය උතුරා ගලා ගියේය.

බොහෝ විචාරකයන් දක්වන ලෙස අපේ මිනිස්සු ඉතා ඉක්මනින් ඉතිහාසය අමතක කරති. ගෙවී ගිය මාස පහ ඇතුළත ද එය සිදුවී ඇති බව අපට පෙනී යයි. මීට මාස පහකට පෙර ඉතිහාසය විමසා බලනවිට පෙනී යන්නේ රටක් නැති ජාතියක් නැති සමාජ කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ ජීවත්වූ බවය.

එය ඉතා ඉක්මනින් වෙනස් කිරීමට මහින්ද රාජපක්ෂ නම් රාජ්‍ය නායකයා සමත් විය. ඔහු ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කළේ ය. ජනතාවට මවුබිමක් උරුම කර දුන්නේ ය. නිදහස ලබා දුන්නේ ය. මේ ජාතික කාර්යය අපට අමතක කළ හැකි ද?

අද සිදුවන්නේ කුමක්දැ’යි දෑස් හැර බලන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු. යුද්ධය අවසන්වී ඇත. මරණය පිළිබඳ භීතිය අවසන් වී ඇත. දැන් රට පුරා ක්‍රියාත්මක වන්නේ සංවර්ධනය පිළිබඳ අදහසයි. ඒ හැඟීමයි. එහෙත් ඊට එරෙහි කුමන්ත්‍රණ රැසක් ද සිදුවන බව දැකගන්නට ලැබේ.

එක් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ අවතැන් වූ ජනතාව ගැන ය. තව කුමන්ත්‍රණයක් දියත් වන්නේ මානව හිමිකම් ගැනය. තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ජනමාධ්‍ය නිදහස ගැනය. මේ සියල්ල ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින බව දකින්නට ලැබේ.

උතුර හා නැඟෙනහිර සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ වී ඇත. නැඟෙනහිර නවෝදය හා උතුරු වසන්තය නිදහසෙන් පසු මේ රටේ ක්‍රියාත්මක වන හොඳම සංවර්ධන වැඩසටහන් දෙක බව බොහෝ දෙනා හඳුනාගෙන සිටිති.

මානව හිමිකම් උල්ලංඝනය ගැන අපට දොස් නඟන අයට දිය හැකි හොඳම පිළිතුර වන්නේ කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් ලෙස සිටි පිරිස පුනරුත්ථාපනය කොට ඔවුනට වෘත්තීය පුහුණුව ලබාදී විදේශ රැකියාවලට පිටත්කර හැරීමය. ආණ්ඩුවට ඉතා පැහැදිලි වැඩසටහනක් ඇති බව ඉන් පෙනී යයි. සුළු ජාතීන් යනුවෙන් කොන්කරන ලද පිරිසක් අද නැත. ඔවුන් සියලු දෙනා ප්‍රධාන සංවර්ධන ප්‍රවාහයට එකතු කරගෙන තිබේ.

මේ රටේ පවතින බලවත් ම දුර්වලතාවක් වන්නේ දේශපාලන පාට කණ්ණාඩියෙන් බලා සංවර්ධනය ව්‍යාපෘති විවේචනය කිරීම ය. ඒ අනුව අවතැන් වූ පිරිස නැවත පදිංචි කිරීම ගැන ද ප්‍රජාතන්ත්‍රීය නිදහස ගැන ද විවිධ විවේචන ඉදිරිපත් වනු දක්නට ලැබේ.

මේ විවේචනවල ශක්තිමත් තර්කයක් නැත. විකල්පයක් ලෙස ඉදිරිපත් කරන සාර්ථක වැඩපිළිවෙළක් ද නැත. බුද්ධිමත් ජනතාව ඊට මුළාවිය යුතු නැත. ආණ්ඩුව ඉතා පැහැදිලි දර්ශනයක් මත කටයුතු කරගෙන යන බවද එය අපගේ ගැටලුවලට ඇති ස්ථාවර විසැඳුම බව ද අපට පෙනී යන බව මෙහිලා සටහන් කර තබමු.

ඉතිහාසය අමතක කරන මිනිහාට අනාගතයක් නැති බව අපි අවසන් ලෙස ලියා තබමු !

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා