රටේ සංවර්ධනය අඩාල කරන්න එජාප ජවිපෙ කුමන්ත්‍රණය කරනවා

රටේ සංවර්ධනය අඩාල කරන්න එජාප ජවිපෙ කුමන්ත්‍රණය කරනවා

චමල් රාජපක්ෂ වරාය හා සිවිල් ගුවන් සේවා වාරිමාර්ග හා ජලකළමනාකරණ ඇමැති

* මෙවර පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව විශේෂ ජනවරමක් ඉල්ලා සිටිනවා. මේ අයුරින් ඉල්ලීමක් කරන්න මූලික වූ කාරණය කුමක්ද?

යුද්ධයෙන් පසුව තිබූූ පළමු මැතිවරණ පැවැත්වූයේ ඌව පළාත් සභාවයි. නමුත් මේ දිනවල ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රනයක් මතු වී තිබෙනවා. මේ සියල්ල සිදුකෙරෙන්නේ මේ රටට විනකරන මේ රටේ පිරිසකුත් දායකවීමෙන්.

එම නිසා මේ පළාත් සභා මැතිවරණය ඌව පළාත් සභා මැතිවරණයට වඩා විශිෂ්ට ජයක් හිමිකර ගත යුතුයි. එවිට ජාත්‍යන්තර බලපෑම්වලට මේ රටට මුකුත්ම කරන්න බැහැ.

මේ රටට විරුද්ධව ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයට ශ්‍රී ලංකේය පිරිසකුත් සම්බන්ධවීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. නමුත් ලබන ඔක්තෝබර් 11 වෙනිදා වන විට ජනතාව සිටින්නේ කා සමග ද කියා දැකගන්න පුළුවන්.

සන්ධාන රජය හැටියට අප කටයුතුª කරන්නේ් ඌවේ ලබාගත් ජය විජයග්‍රහණයක් බවට පත් කිරීමටයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සියයට 85 ක ජයක් ලැබෙන බව අපට විශ්වාසයි. ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලිනුත් එවැනිම ජයක් ලැබෙන බව අපි දන්නවා.

* ශ්‍රීලනිපය සමඟ දීර්ඝ කාලීන දේශපාලන සම්බන්ධතා පවත්වාගෙන ගිය ජ්‍යෙෂ්ඨයන් ඉවත් කර නවකයන්ට නළු නිළියන්ට, අපේක්ෂකත්වය ලබාදීම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතා බහට ලක්වෙලා තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

අපේ පක්ෂය අපේක්ෂකයන් තෝරා තිබෙන්නේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුවයි. එහිදී ඔහු හෝ ඇයගේ ප්‍රවීණත්වය, ජනතා සේවය, ප්‍රසිද්ධිය වැනි කරුණු සලකා බැලීමක් කර මේ අයට අපේක්ෂකකම ලබාදී තිබෙන්නේ.

මේ සියලුම දෙනා දකුණ සමග සම්බන්ධයක් තිබෙන අය. කවුරුත් උඩින් ගෙනැල්ලා දාලා නැහැ. අපේ කණ්ඩායම බොහොම ශක්තිමත් කණ්ඩායමක්.

අපි අපේ පක්ෂය තරුණ පරපුරටත් ගෙනයනවා. ඒ නිසා නවක තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදෙනවා. ශ්‍රීලනිපය කියන්නේ එකතැන පල්වෙන පක්ෂයක් නොවෙයි. අලුත් පරපුරක් සමඟ මේ රට ගොඩනැඟීම සඳහා ඉදිරියට යන පක්ෂයක්.

අපි ඒ ගැන සිතා බලා නවකයන්ටත් තැනක් ලබාදී තිබෙනවා. ඔය කතාබහට ලක්වෙනවා කියන්නේ විපක්ෂය මේක දරා ගන්න බැරිව බොරු සටන් පාඨ ගොතන නිසයි.

* එසේ නවකයන් ගෙනැවිත් තිබීම නිසා පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී තිබෙන බවත්, අපේක්ෂකයන්ගේ විනය පිරිහීමක් තිබෙන බවටත් විපක්ෂය චෝදනා කරනවා. ඒ පිළිබඳ ඔබගේ මතය කෙබඳුද ?

කිසිම අපේක්ෂකයකු විනය කඩකිරීම් කරලා තිබෙනවා නම් එයට නීතිමය පියවර ගැනීමට අප පැකිලී නැහැ. එජනිස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍ර‍්‍රකාශයක් කරලා තිබෙනවා විනය කඩකළ අයට තනතුරු ලබා නොදෙන බවට.

එය හොඳ ප්‍රකාශයක්. අනෙක් කරුණ ගාල්ලේ එජනිස අපේක්ෂකයකු විනය කඩ කිරීමට අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදුවෙමින් පවතිනවා. අප ඒ නීතියට ඇඟිලි ගහන්න ගිහිං නැහැ. මේක එජාපයට හොඳ ආදර්ශයක් සපයනවා.

1985 අතුරු මැතිවරණයේ දී මුල්කිරිගල ආසනයට මමත් තරග කළා. නමුත් එදා එජාප රජය තමන්ගේ ආණ්ඩු බලය භාවිතා කරමින් අපේක්ෂකයන් පවා විනය කඩමින් ක්‍රියා කළා.

ඒවට කිසිම පියවරක් එජාපය ගත්තේ නැහැ. එදා ඔවුන් ඡන්ද කළේ පොලිස් බලය පවා පාවිච්චි කරමින්. අද එවැනි සිදුවීම් සිදුවෙන්නේ නැහැ. විපක්ෂය මෙලෙස චෝදනා කරන්නේ ඔවුන්ට මෙවර මැතිවරණයේ දී ලැබෙන අන්ත පරාජය දැනටමත් දැක තිබෙන නිසයි.

නමුත් සියලු අපේක්ෂකයන් තේරුම් ගත යුතුයි සාමුහිකව, ඉවසීමෙන් කටයුතු කරන්න. ජනතාවගේ ප්‍රසාදය ලැබෙන අයුරින් කටයුතු කරන්න. එසේ නොමැතිනම් ජනතාව තීන්දු කරාවි කවුද? පළාත් සභාවට යායුත්තේ කියා. රජය කතාකරන රටේ අභිවෘද්ධිය ලබා ගැනීමට අප සියලු දෙනා එකතු වී මේ ගමන යායුතුයි.

* ඌව පළාත් සභාවේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සමඟ ප්‍රධාන විපක්ෂයක් නැති වී ගියා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂයක් නොමැති වීම ප්‍රජාතන්ත්‍රවාදයට බලපානවා නේද ?

ශක්තිමත් විපක්ෂයක් තිබිය යුත්තේ රජය වැරදි මගක යනවා නම් එය නිවැරදි කිරීමට, රටට කුමන්ත්‍රණයක් සිදුවෙනවා නම් ඊට එරෙහිව රජය සමග එක්ව කටයුතු කිරීමටයි. නමුත් අද තිබෙන විපක්ෂය එලෙස කරනවාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. ජනතාවට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන නිසයි ඌවේදී සන්ධානය වටා එක් වුණේ.

රටේ අභිවෘද්ධිය, සංවර්ධනය ගැන රජය ඉතා සංවේදීව කටයුතු කරන බව ජනතාව දන්නවා. ප්‍රධාන විපක්ෂයක් අවශ්‍ය නැහැ කියා ජනතාව තීරණය කරන්න ඇත්තේ ඒ නිසයි.

අද එජාපය හා ජවිපෙ සමඟ සිටි දුරදකින්න පුළුවන් කණ්ඩායම් අපි සමඟ එකතු වෙලා තිබෙනවා. මේ එකතු කිරීම අපට යුද්ධය දිනන්න හයියක් වුණේ නැද්ද ? ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දිනන්න බැරිවුණාද? පුළුවන් වුණා. ඉස්සර එල්.ටී.ටී.ඊ. එක කිව්වාම සියලුම නායකයන් බය වුණා. ඒ නිසා තමයි සුදුනෙළුම, තවලම ඇදගෙන ගියේ.

රට පාවාදීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ 2002 දී කොටින්ට රට ලිඛිතව ලියා දුන්නා. චන්ද්‍රිකා මැතිණිය දැන් කරන ප්‍රකාශ වලින් පේන්නේ එතුමියත් කොටියට රට ලබාදීමට කටයුතු කර තිබෙන බවයි.

රජය මේ සියලු දේ ඉදිරියට කරගෙන යද්දී විපක්ෂය කිව්වේ ඒක වැරැදියි කියලා විතරයි. මේක අපේ රට, අපි ගොඩනගමු කියා කිව්වේ නැහැ. ඒක නිසා ප්‍රධාන විපක්ෂයක් නැතුවත් ආණ්ඩුව රට හදන නිවැරදි ගමන් මඟේ ගමන් කරන බව ජනතාව දන්නවා.

* මහ බැංකුවේ රන් සංචිතයෙන් රත්ත්‍රං විකුණා රට සංවර්ධනය කරන බවට රනිල් වික්‍ර‍්‍රමසිංහ මහතා රජයට චෝදනා කරමින් සිටිනවා. මේ පිළිබඳ රජයේ ඇමැතිවරයෙක් වශයෙන් ඔබගේ මතය කුමක්ද ?

මැතිවරණයක් පැවැත්වෙද්දී විපක්ෂයට සටන්පාඨ නැති වුණාම ඔය වැනි කතා කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙවැනි ප්‍රකාශයක් කරලා රටම ආන්දෝලනයකට පත්කරලා මැතිවරණය ජයගන්න පුළුවන්ද කියලා බලන්නේ. බොහොම පැහැදිලිවම අපි කිව්වා ඉතාම වගකීමෙන් මෙැවනි ක්‍රියාවක් සිදුවුණේ නැහැ කියලා.

මහ බැංකුව සතු රන් සංචිත විකිණීම නිසා ඒ පිළිබඳ සාකච්ඡාවක්වත් කැබිනට් මණ්ඩලයට තියලා නැහැ. එම නිසා මේ රනිල් වික්‍ර‍්‍රමසිහ මහත්තයා වැරදි සටන් පාඨයක් අල්ලගෙන තියෙන්නේ.

ජනමාධ්‍ය ඇමැතිතුමා ලක්ෂ්මන් යාපා මහතා කිව්වා 2002-2004 කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා රජයේ රන් සංචිත විකිණුවා කියලා. එයට තවම රනිල් වික්‍රමසිංහගෙන් පිළිතුරු ලැබිල නැහැ.

මේ පිළිබඳ සැබෑ තොරතුරු මහ බැංකු වාර්තාවේ තිබෙනවා. 2002-2004 වසරවලදී කවුද? රන් සංචිත විකුණුවේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා නින්දෙන් නැගිටලා කරන ප්‍රකාශවලින් ජනතාව රවටන්න බැහැ. එය මෙවර ඡන්ද ප්‍රතිඵල වලින් පෙනේවි.

* ශ්‍රී ලංකාව මානව හිමිකම් බිඳිමින් කටයුතු කරන බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා. මෙයට මුහුණදීමට රජයට තිබෙන්නේ කුමන වැඩපිළිවෙළක්ද ?

ජාත්‍යන්තර මානව හිමිකම්වලට ඇස් ඇරිලා තියෙන්නේ වර්තමානයේදී පමණයි. 1985 වසරේ මේ රටේ තරුණ තරුණියන් අමු අමුවේ මරා දැම්මා. ටයර් මත තබා ගිනි තිබ්බා, අතුරුදන් කළා එවිට ඔය කියන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ලංකාව දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ.

මේවා කරන්නේ ජීවත්වෙන්න මාර්ගයක් සොයා ගැනීමටයි. යුද්ධය නැවතුනහම බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග නැති වී ගියා. ඔවුන් අද මානව හිමිකම් සංවිධාන සමග එකතු වී ජීවත්වෙන්න කරන උත්සාහයක් මේක.

අද නිපුණ රාමනායක සිසුවා ගේ සිද්ධිය බලන්න. එහි වාස් ගුණවර්ධනගේ පුතා හා බිරිඳ රිමාන්ඩ් කරලා තියෙනවා. රජයට තිබුණා උසස් පොලිස් නිලධාරියෙක් කියලා නිදහස් කරන්න. නමුත් අපි එහෙම කළේ නැහැ. අපට අවශ්‍ය විනය සම්පන්න රටක් ගොඩනගන්න.

අඟුලාන සිද්ධිය බලන්න. එහිදී අඟුලාන පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා බීමත්කමින් තරුණයො දෙදෙනකු ඝාතනය කළා. නමුත් ඒවට නීතියෙන් දඬුවම් දුන්නා.

රජයේ ප්‍රතිපත්තිය “මතට තිත” ප්‍රතිපත්තියයි. ඒවට එරෙහිව ඔවුන් ගිහින් තිබෙනවා. නමුත් නීතියෙන් ඒ සියල්ලට දඬුවම් ලබාදුන්නා. ඔය කියන විදිහෙ මානව හිමිකම් රජය කඩකරනවා නම් මෙවැනි දේවල් කරන්නේ නැහැනේ.

* උතුරේ සහන ගම්මානවල සිටින ජනතාවට නිසිපහසුකම් ලබා දෙන්නේ නැහැ කියා චෝදනාවක් තිබෙනවා ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද ?

උතුරේ සහන ගම්මාන පිළිබඳ යථාර්ථය පිළිබඳ අවබෝධයක් නැති අය චෝදනා කළාට ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් රජය ලබාදීලා තිබෙනවා. ලක්ෂ තුනක ජනතාවක් එකවර මේ පැත්තට ආවේ.

ඒ එන අවස්ථාවේ රජය සියල්ලන්ට නවාතැන් පහසුකම් කඩිනමින් ලබාදුන්නා, ආහාර ලබාදුන්නා, සෞඛ්‍ය පහසුකම් ලබාදුන්නා, මේ අය මේ පැත්තට එන විට ආවේ ඇඳිවත සහ ඔවුන් අමාරුවෙන් රැස්කරගත් මුදල් සමඟින්. එම නිසා අපි සහන ගම්මානවල අලුතින් සතොසක්, බැංකුවක් ගොඩනගා දුන්නා ඔවුන්ගේ මුදල් ආරක්ෂා කිරීමට. ඊට අමතරව සහන ගම්මාන අවට තිබෙන වැව් අමුණු සියල්ල ප්‍රතිසංස්කරණය කර ජල අවශ්‍යතාව සපයා දුන්නා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා