පී. බී. ජයසුන්දර යළිත් මහා භාණ්ඩාගාර ලේකම්

පී. බී. ජයසුන්දර යළිත් මහා භාණ්ඩාගාර ලේකම්

නව කැබිනට් මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ

මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස පත් කැරණු ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අද (29) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී වැඩ භාර ගනී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආචාර්ය ජයසුන්දර මහතා ඊයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරයට පත් කරනු ලැබීය.

මීට පෙර දෙවතාවක් මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරය දැරූ ඔහු ආර්ථික ක්ෂේත්‍රයේ සෑම අංශයක් පිළිබඳවම හසල දැනුමක් ඇති නිලධාරියෙකි.

දැනට මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරය දරන සුමිත් අබේසිංහ මහතා නව ඇමැති මණ්ඩල ලේකම්වරයා ලෙසත්, ඇමැති මණ්ඩල ලේකම් ධුරය දරන ඩී. විජේසිංහ මහතා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස්වරයා ලෙසත් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇත.

පී. බී. ජයසුන්දර මහතා බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ආර්ථික ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අතරට එක්වූවෙකි. අන්තර් ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව ආදී ජාත්‍යන්තර ආයතන රැසකට ඒ මහතා ගේ විශිෂ්ට දායකත්වය ලබා දී තිබේ. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ජයසුන්දර මහතා එහිද විවිධ තනතුරු රැසක් හොබවා ඇත.

ඒ මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් ද වෙයි. මහින්ද චින්තනයේ දේශීය ආර්ථිකය ගොඩනැංවීමට සැලැසුම් කළ වැඩපිළිවෙළ වෙනුවෙන් ජයසුන්දර මහතා දැවැන්ත කාර්යභාරයක් ඉටු කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා