විධායක බලතල නොමැතිව ජනපතිට රට සංවර්ධනය කළ නොහැකියි

විධායක බලතල නොමැතිව ජනපතිට රට සංවර්ධනය කළ නොහැකියි

- මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි

විධායක ජනාධිපතිකම නොමැතිව රටක් සංවර්ධනය කළ නොහැකි බව මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ පැවැසූහ.

ආගමික සිද්ධස්ථානවල ඉදිකිරීම් කටයුතු සඳහා සහන මිලට සිමෙන්ති ලබා දීමේ වැඩපිළවෙළක් ඊයේ (28) ආරම්භ කෙරිණි. එම වැඩසටහන සංකේතවත් කරමින් වෙළෙඳ අලෙවි සංවර්ධන සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් සිමෙන්ති කොට්ටයක් හුණුපිටිය ගංගාරාමයට පරිත්‍යාග කරන ලද අවස්ථාව , මහාචාර්ය කුඹුරුගමුවේ වජිර , ගලබඩ ඥණිස්සර හිමිවරුන් සහ මුස්ලිම් , කතෝලික හා හින්දු ආගමික නායකයන් ද ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති සිරිනිමල් විතාන මහතා ඇතුළු පිරිසක් ද මෙහි දැක්වේ. ඡායාරූපය : සමන් ශ්‍රී වෙදගේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිකම යොදවන්නේ රටේ යහපත වෙනුවෙන් යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

විධායක ජනාධිපතිකම අහෝසි කරන ලෙස කවුරුන් හෝ කියනවා නම් එය රටට කරන ද්‍රෝහිකමක් යැයි ද වජිර හිමියෝ සඳහන් කළහ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළහ.

දිවයිනේ සියලුම ආගමික ස්ථානවල ඉදිකිරීම් කටයුතු සඳහා සහන මිලට සිමෙන්ති ලබා දීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ඉදිරිපත් වී සිටින අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

මෙහි දී කුඹුරුගමුවේ වජිර හිමියෝ ප්‍රකාශ කෙළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර සියයක් රට පාලනය කළත් රටට යහපතක් මිස අයහපතක් සිදු නොකරන බවයි.

වසර ගණනාවක් පැවැති යුද්ධය හේතුවෙන් රට විනාශයට පත් ව තිබූ බවත් ත්‍රස්තවාදය නිසා ආගමික සිද්ධස්ථාන පවා විනාශ වූ බවත් උන්වහන්සේ කීහ.

මේ ව්‍යසනයෙන් රට ගොනැඟීමට පුනර්ජීවන වැඩසටහන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව කී උන්වහන්සේ ඒ පුනර්ජීවන වැඩසටහන යටතේ මෙරට මාර්ග පද්ධති , ගම්බිම් , ආයතන ආගමික ස්ථාන ඇතුළු සියලු අංශවල පිබිදීමක් සිදුව ඇති බවත් ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා මේ සියලු සංවර්ධන කාර්යයන් සිදු කරන්නේ විධායක ජනාධිපතිකම තුළ සිටිමින් යැයි ද උන් වහන්සේ පැවසූහ.

සිමෙන්ති සහන මිලට ලබා දීමටත් එතුමා තීරණය කෙළේ ආගමික ස්ථානවලට විශාල සේවයක් කිරීමේ අදහසින් යැයි කී උන්වහන්සේ මේ ක්‍රියා මාර්ගය මෙරට සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට හේතුවනු ඇතැයි ද ච්හ.

වෙළෙඳ, අලෙවි සංවර්ධන , සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මහතා :

ජනාධිපතිතුමා කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත් පසු අපට අහිමිව තිබූ මහපොළොවෙන් තුනෙන් එකක හා මහ මුහුදෙන් තුනෙන් දෙකක කොටසක් යළිත් අපට අයිති වෙලා තිබෙනවා. මේ නිසා සංචාරක , විදේශ , වැනි සියලුම අංශවල පිබිදීමක් ඇති වී තිබෙනවා.

එමෙන්ම ආගමික අංශයේත් විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා. මීට වර්ෂයකට පෙර මඩු වන්දනාවේ හෝ අනුරාධපුර පොළොන්නරු වදින්න යන්නවත් ජනතාවට පුලුවන් කමක් තිබුණෙ නැහැ. යුද්ධය අවසන් වූ පසු මේ ආගමික සිද්ධස්ථානවලට බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙනවා. මේ නිසා මේ පිරිසට අවශ්‍ය ලෙස ආගමික ස්ථානවල ඉඩ පහසුකම් සැළසිය යුතු වෙනවා.

ඒ අනුව සියලුම ආගමික ස්ථානවල අද ඉදිකිරීම් කටයුතු සිදු වෙනවා. ඒ සිද්ධස්ථානවලින් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන්ට සහනයක් ලබා දෙන ලෙසට ඒ අනුව ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව සමග එකතුව ප්‍රමිතියෙන් උසස් ගුණාත්මකභාවයෙන් ඉහළ සිමෙන්ති අඩු මිලට ලබා දෙන්නට අපි තීරණය කළා.

මේ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් අපට ලැබුණා. මේ සද්කාර්යයට පෞද්ගලික අංශයේ දායකත්වය ඉල්ලා සිටියත් එය සාර්ථක වුණේ නැහැ. එහෙත් රජය ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ ආදර්ශයට ගෙන පෞද්ගලික සමාගම් ද ඊට එක් වනු ඇතැයි විශ්වාස කරනවා.

කොළඹ ගංගාරාමාධිපති ගලබඩ ඥාණීස්සර හිමියෝ සහ ආචාර්ය එම්. එෆ්. කුරුකුලසූරිය පියනම මෙහි දී අදහස් දැක් වූහ.

වටිනා පහ සෝමානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය , එම්. සුෆියර් මෞලවිතුමා , ශිව ශශ්‍රී දිනේෂ් ශර්මා කුරුක්කල්තුමා සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ආර්. ද . සිල්වා , ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති සිරිනිමල් විතාන , පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්ලුක් මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා