වන සංරක්ෂණයට අදාළ නව පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා

වන සංරක්ෂණයට අදාළ නව පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා

- ඇමැති පාඨලී චම්පික රණවක

වන ආඥා පනත වන සංරක්ෂක ආඥා පනත වශයෙන් ඉදිරි සති කීපය තුළදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බවත්, වන සංරක්ෂණය සඳහා පියවර රැසක් ඊට ඇතුළත් වන බවත්, පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළකෙළේ නව අඩවි වන නිලධාරීන් 30 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම හා චෙක්රෝල් කම්කරුවන් 30 දෙනෙකු ගේ සේවය ස්ථිර කිරීමේ ලිපි ලබා දීම නිමිත්තෙන් බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ ඊයේ (28) පැවැති උත්සවයේ දීය.

රටේ ජල සම්පත් ප්‍රධාන ජලපෝෂක ස්ථානවන කදුකරයේ වන සංරක්ෂණය හා වනය අලුතින් ස්ථාපිත කිරීම සඳහා පිවිතුරු සෙවන නමින් නව වැඩසටහන් ඉදිරි වසරේ අරඹන බවත්, එහි ප්‍රථම අදියර වශයෙන් ඉදිරි අයවැයෙන් පසු හෙක්ටයාර් 150ක ප්‍රදේශයක වන වගා කරන බවත් ඇමැතිවරයා කීය.

‘පිවිතුරු සෙවන’ වැඩ සටහන යටතේ ප්‍රථමයෙන් හෙක්ටයාර් 2500ක ප්‍රදේශයක් තෝරාගෙන එහි වන සංරක්ෂණය හා නැවත වගා කිරීම සිදු කරන බවද, ලංකාවේ ගංගා 103ම ආරම්භ වන්නේ මේ කදුකර ප්‍රදේශ වලින් නිසා එම කදුකර ප්‍රදේශ රැකගත යුතු බවද ඇමැතිවරයා කීය.

විදේශ ආක්‍රමණ නිසා මේ ප්‍රදේශ අද මුඩුබිම් බවට පත්ව ඇති අතර එහි අහිතකර ප්‍රතිඵල දැනටමත් භුක්ති විදීමට සිදුව ඇති බවත් , රජරට ශිෂ්ටචාරය නැවත ඇති කරන බවත්, ඇමැතිවරයා කීය.

කදුකර ප්‍රදේශවල ජනාවාස පිහිටුවීම, අලවගාව ඉවත් කළ යුතු බවද ඇමැතිවරයා කීය.

පයිනස් වගා ක්‍රමයෙන් ඉවත්කර ඒ වෙනුවට දේශීය ශාක සිටුවිය යුතු බවද, ඇමැතිවරයා කීය.

මේ අඩවි වන නිලධාරීන් බඳවා ගෙන ඇත්තේ වසර 11 කට පසු එනම් 1998 න් පසුව වන අතර ඔවුන් බඳවා ගැනීමේ දී දේශපාලන හෝ වෙනත් කිසිදු හේතුවන් සැලකිල්ලට නොගත් බවත්, තරග විභාගයකින් ලකුණු 137ට වඩා ලබාගත් අය පමණක් බඳවා ගත් බවත්, ඇමැතිවරයා නිසා නව පත්විම්ලාභින් දේශපාලනයට ගැති නොවී වංචා , දූෂණ , අල්ලස්ගැනීමේ ආදියේ තොරව තමන්ට පැවරී ඇති වගකීම හරියාකාරව ඉටුකළ යුතු බවත් , උද්ඝෝෂණ , පෝස්ටර් සටන් පාඨ පරිසර අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල සිදුකළ නොහැකි බවත් , ඕනෑම ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඉඩ කඩ තිබෙන බවත්, ඇමැතිවරයා කීය.

දෙමළ කතා කරන සේවකයන්ගේ හිගයක් තිබෙන බව පැවසූ ඇමැතිවරයා කැබිනට් අනුමැතිය ලබාගෙන එවැනි අය 20 දෙනෙක් ඉදිරියේ දී බඳවා ගන්නා බවත්, ඇමැතිවරයා කීය.

දේශගුණික විපර්යාස නිසා වියලි ප්‍රදේශ ඉදිරියේ දී තව තවත් වියලි තත්ත්වයට පත්වන බවත් , මේ නිසා ශාඛ හා සත්ත්ව විශේෂ 160ක් පමණ වඳවී යාමටත් 49ක් පමණ ආක්‍රමණික ශාඛ තත්ත්වයටත් පත්ව ඇති බවද ඇමැතිවරයා කීය.

වන සංරක්ෂණ ජනරාල් සරත් ප්‍රනාන්දු මහතා නව පත්වීම්ලාභීන් මතු පරපුර වෙනුවෙන් තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකළ යුතු බවත්, වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා මේ නිලධාරීන්ගෙන් විශාල සේවාවක් සිදුවන බවත් කීවේය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය විමලධර්ම අබේවික්‍රම, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද විජේසූරිය , වන සංරක්ෂණ සහකාර පිරිස් පාලන ඩබ්ලිව්. ඒ. එස්. බී. අමරතුංග මහත්වරුද මෙහි දී කථා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා