එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පිළිබඳව රාජ්‍ය සේවකයාගේ ලොකු විශ්වාසයක් තිබෙනවා

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පිළිබඳව රාජ්‍ය සේවකයාගේ ලොකු විශ්වාසයක් තිබෙනවා

- ඇමැති අතාවුද සෙනවිරත්න

වත්මන් රජය වැඩකරන ජනතාවට සහන රැසක් සළසා ඇති බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය කෙරෙහි දැඩි විශ්වාසයක් රාජ්‍ය සේවකයා සතුව පවතින බව කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනවිරත්න මහතා පවසයි.

රාජ්‍ය සේවය ලක්ෂ නවයේ සිට ලක්ෂ දොළහ දක්වා වැඩි කිරීම, ජීවන වියදම් දීමනාව වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, එක්සත් ජාතික පක්ෂ රජය විසින් කප්පාදු කළ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත ඇති කිරීම ආදි සහන රැසක් වත්මන් රජය රාජ්‍ය සේවකයාට ලබා දී ඇති බවත් ඇමැතිවරයා සිහිපත් කෙළේය.

රාජ්‍ය සේවකයාට සහන සැළසීම, ත්‍රස්තවාදය පරාජය කිරීම, රජයේ සංවර්ධන වැඩසටහන් ආදිය කෙරෙහි වැඩකරන ජනතාව ප්‍රසාදයට පත් වී ඇති බැවින් දකුණු පළාත් සභා ඡන්දයේදීත් සිය තැපැල් ඡන්දය එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ලබාදෙන බව තමන්ට විශ්වාස බවත් ඇමැතිවරයා “දිනමිණ” ට පැවසීය.

එක්සත් ජාතික පක්ෂ රජය සමයේ දී “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රාජ්‍ය සේවක අයිතීන් රැසක් කප්පාදු කළ අතර රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ හය දක්වා අඩු කිරීමට උත්සාහ කළ ආකාරයද ඇමැතිවරයා සිහිපත් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා