අනවසර වෙළෙඳුන්ගෙන් පහර කෑ දුම්රිය ආරක්ෂක නිලධාරි රෝහලේ

අනවසර වෙළෙඳුන්ගෙන් පහර කෑ දුම්රිය ආරක්ෂක නිලධාරි රෝහලේ

දුම්රියේ දී අනවසර වෙළෙඳුන් දෙදෙනෙකුගේ පහරදීමෙන් තුවාල ලැබූ දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරියා ප්‍රතිකාර සඳහා පොල්ගහවෙල මූලික රෝහලට ඇතුළත් කොට ඇත.

සිද්ධිය වී ඇත්තේ වවුනියාව සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේදීය.

කුරුණෑගල දුම්රිය ස්ථානයේදී අනවසර වෙළෙඳුන් දෙදෙනෙකු දුම්රියට ගොඩවී ඇත.

ආරක්ෂක හමුදා නිලධාරියකු මේ වෙළෙදුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බැස තිබේ. ඒ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ අනවසර වෙළෙඳුන් දෙදෙනා දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරියාගේ මුහුණට යා යටිබඩ ප්‍රදේශයට පහර දී පැන යාමට සූදානම් වූ විට සිද්ධිය දුටු පොල්ගහවෙල දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරින් සැකකාර වෙළෙඳුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන් එච්. පී. ඒ. කීර්තිසේන මහතා පොල්ගහවෙල මූලික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබයි.

සැකකාර වෙළෙඳුන් දෙදෙනා පොල්ගහවෙල පොලිසියට බාරදී ඇත.

දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරී ගුණරත්න අතපත්තු මහතාගේ උපදෙස් මත, පොල්ගහවෙල දුම්රිය ආරක්ෂක හමුදාවේ ස්ථානාධිපති ගාමිණී අමරතුංග මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා