‘මහින්ද චින්තනයෙන්’ මේ රටට ලබා දුන් පොරොන්දු අකුරක් නෑර ඉටුකර තිබෙනවා

‘මහින්ද චින්තනයෙන්’ මේ රටට ලබා දුන් පොරොන්දු අකුරක් නෑර ඉටුකර තිබෙනවා

‘රන්බිම’ ඔප්පු ප්‍රදානෝත්සවයේ දී ජනපති කියයි

දේශපාලන පොරොන්දු පිළිබඳ ජනතාවට විශ්වාසයක් නොතිබූ යුගය අවසන් කොට දේශපාලනය පිළිබඳව ජනතා විශ්වාසය ගොඩනැගීමට හැකි වූ බවද, ඒ මහතා අවධාරණය කෙළේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සංවිධානය කළ ‘රන්බිම’ ඔප්පු ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉඩම් හිමිකම්ලාභීන් අමතන අයුරු.

ඡායාරූප:– සුදත් සිල්වා

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති “රන්බිම” ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මාතලේ, රත්නපුර, හම්බන්තොට, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල පදිංචි ඉඩම් ඔප්පු නොමැතිව සිටි පුද්ගලයන් 2000 කට මෙහිදී ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරිණි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය. “මහින්ද චින්තනයෙන්” අපේ රටට ලබාදුන් පොරොන්දු අකුරක් නෑර ඉටු කරන බව අද ඔබට පේනවා. මේ ඔප්පු ප්‍රදානය යනු “මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් එක් පිටුවක් පමණයි. දේශපාලන සදාචාරය කෙළෙසෙන යුග කීපයක් අවසන්කර මීට අවුරුදු 4 කට ඉහත දී මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා.

මේ රටේ ජනතාවට දේශපාලන පොරොන්දු පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. මැතිවරණ පොරොන්දු සිහිනයක් හා විහිළුවක් වුණා. ඒවා සැබැවින්ම පුස්සක් වුණා. අද මේ සියල්ල කණපිට හරවා තිබෙනවා. දේශපාලනය ප්‍රතිපත්ති හෝ පොරොන්දුවලට පමණක් සීමා වුණා නම් අද ඔබට ඔප්පු ලැබෙන්නේ නෑ.

අද”මහින්ද චින්තනය” ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙනවා. ඒ අයට පොරොන්දු දීලා ගැලවෙන්න බෑ. අපි මැතිවරණ කාලයට ගොස් පැලවෙන මුල්ගල් තියන්නේ නැහැ. වෙනදා මහියංගණයේ සිට ඇඹිලිපිටිය යාමට පැය 6 ක් පමණ ගත වෙනවා. නමුත් අද යන්නේ පැය තුනක් පමණයි.

ඇතැමුන් අද අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගත් ණය මුදලට මොකද ? වුණේ කියා. සමහරු ජී. එස්. පී. සහනය ගැන කතා කරනවා. අපිට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ණයක් ලබාගන්න බැහැ. ලබාගත් ණය මුදල වියදම් කරන ආකාරය ගැන වර්ෂය අවසානයේ මහ බැංකු වාර්තාවක් ඉදිරිපත් කරනවා.

අපි ලබාගත් ණය මුදල වියදම් කළ ආකාරය රටේ සංවර්ධන කටයුතු දෙස බැලීමේදී තේරුම් ගන්න පුළුවන්. රට වටේටම යාමට නොහැකි නම් කොළඹ වරාය ඉදිකෙරෙන ආකාරය ගාලු මුවදොර පිටියට ගොස් බලා ගන්නට හැකි වෙනවා. එවිට මේ මුදල්වලට සිදු වී තිබෙන්නේ කුමක්ද යන්න හිතා ගන්න පුළුවන්.

අරලියගහ මන්දිරයේ බණ, පිරිත් කියන විට ඇතැමුන්ට ඉවසන්න බැහැ. මෙසේ පිරිත් බණ කියන නිසා රහත් වෙනවා යනුවෙන් සමහර දේශපාලඥයන් මත ඉදිරිපත් කරනවා. රහත් වෙනවා කියන්නේ කෙළෙසුන්ගෙන් ඉවත් වී නිවන් මඟට යාමයි.

පසුගිය ජනපති වරණයට පෙර හෙල්පින් හම්බන්තොට පිළිබඳ චෝදනා කරමින් මට මඩ ගැසුවා.

ජනතාවගේ ආරක්ෂාවට තිබූ ආයුධ වලට, සාම ගිවිසුම් කාලේ ගෙන ආ සන්නිවේදන උපකරණ, අත්සන් කරන ලද හොර ඔප්පු ආදිය පිළිබඳව අපි කතා කරන්නේ නැහැ ඒවා මේ රටට වැදගත් ප්‍රශ්න. නමුත් අද මේ රට සමෘද්ධිය කරා රැගෙන යනවා.

මේ රටේ අක්කර දහස් ගණනක අයිතිය හිමිවුණේ මේ රටේ බලවත් සමාගම් කීපයකටයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉඩම් ප්‍රතිසංස්කරණ පනත පාර්ලිමේන්තුවට රැගෙන ආවා. අපිත් ඒ සඳහා සහයෝගය ලබා දුන්නා.

එවකට පාර්ලිමේන්තුªවේ සිටි ලාබාල මන්ත්‍රීවරයා හැටියට මමත් ඊට සහාය වුණා. මේ රටේ ජනතාවගේ සුබ සිද්ධියට අත ඔසවන එක අලුතින් හුරු කළයුතු නැහැ.

එදා ඒ පනතට අත් එසවූ මගේ අතින් ඔබේ ඉඩම් ඔප්පු ලබාදීමට හැකිවීම ගැන සතුටු වෙනවා. අපි අයිතිය හැමදාම ගත්තේ් සටන් කරලයි. 2005 දී මහින්ද චින්තන දිනවා ජනතාව බලාපොරොත්තු වුණේ ඒ අරගලය ජය ගන්නයි. ඔබට ලබාදෙන ඉඩම් ඔප්පු ආපසු උදුරා ගන්නට ඉඩ දෙන්නේ නැහැ.

ඇතැම් අයට මිනිස් ජීවිතවල වටිනාකම තේරෙන්නේ නෑ. අපි රට ගැන සිතමු. අපේ භූමිය පිළිබඳව අලුතින් හිතන්න ඕන. එයින් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු වෙනවා. හෙක්ටයාර 730000 ක් වගා කළ හැකි ඉඩම් තිබුණත් උපරිම වශයෙන් අපි වගා කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත්තේ හෙක්ටයාර 120000 ක් පමණයි.

අතිරේක භෝග වගා කරන්නේ හෙක්ටයාර 40000 ක පමණ වෙනවා. මේවා වෙනස් කරන්න අපි කටයුතු කළයුතු වෙනවා. ඒ නිසාම තවත් වසර කීපයකින් හොඳ ප්‍රතිඵල ලැබේවි කියා විශ්වාස කරනවා. අපේ රට සංවර්ධනය කරන්නට ඔබත් දායක විය යුතු වෙනවා. අපේ රට විවිධ සම්පත් වලින් සමන්විත භූමියක්.

අපේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන්නට මේ ලැබූ දායාදය ප්‍රයෝජනයට ගතයුතු වෙනවා. ඒ නිසාම රට ගැන සිතා කටයුතු කළයුතු වෙනවා.

සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා -

1973 සිට තම ඉඩම පරිහරණය කළත් අයිතියක් නොමැතිව සිටි ජනතාවට අද එම ඉඩම්වල අයිතිය ලබා දෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණය කොමිසම මේ අයගෙන් විවිධ අය කිරීම් කළා. මේ කටයුත්ත අද වනවිට අවසන් කිරීම ගැන සතුටු වෙනවා.

ඉඩම් සම්පත සීමා සහිතයි. අපේ රට වටේට මුහුද තිබුණද ඉඩම් සම්පත වර්ධනය වන්නේ නැහැ. තමාට හිමි ඉඩමෙන් උපරිම ඵල නෙලා ගැනීම ජාතිය සතු වගකීමක් වෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වූයේ මේ රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් උපයා දෙන වගා බිම් වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අක්කර 60000ක් පමණ තවමත් කිසිම ප්‍රයෝජනයකට ගෙන නැහැ.

මේ ඉඩම් මේ රටේ ජනතාව සතු ඉඩම්. ඒ අයට ඉඩම් දී තිබෙන්නේ බදු අයකරගෙනයි. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ රටේ ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතුයි කියා.

ආදායම් ලබන්න තිබෙන ඉඩම් නඩත්තු කිරීම වෙනුවෙන් මාසයකට රුපියල් මිලියන 5000ක් වැය කරන්නට රජයට සිදුවුණා. ඒ නිසාම එවැනි ඉඩම් වැවිලි සමාගම්වලට ලබා දුන්නා.

අද සමහර තැන්වල සතුටුදායක ආකාරයට කටයුතු කළත් ඇතැම් තැන්වල එවැනි අන්දමින් කටයුතු සිදුවන්නේ නෑ. තවත් ඉඩම් ප්‍රමාණයක් ළදු කැලෑවලට ගොස් තිබෙනවා.

මේ නීතිය තිබෙන තාක් අපේ රටේ ඉදිරි කටයුතු කරන්න අපහසුයි. මේ ඉඩම්ලාභීන්ට ලැබෙන්නේ මීට වසර විස්සකට, තිහකට පෙර ලැබිය යුතු දේවල් වෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ කටයුත්ත ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කඩිනමින් සිදුකළා.

ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සළකා බැලිය යුතු වෙනවා. වගා ඉඩම් එලෙසම තිබිය යුතු වෙනවා. කැබැලි කිරීම සුදුසු නෑ. එසේ නොමැතිනම් කෘෂිකර්ම රටක් හැටියට අපි බරපතල අර්බුදයකට ලක් වෙනවා.

ආර්ථික වශයෙන් ලෝක ආර්ථික අර්බුද හමුවේ අපේ රට රැකී තිබෙන්නේ කෘෂිකාර්මික රටක් නිසයි. අපේ රටේ ජනතාව වගා කටයුතු වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා.

කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා,

අපේ රටට නිදහස දිනා ගත්තද ඉංග්‍රීසි කොඩිය පහත දාන්න බැරිවුණා. අපිට අවශ්‍ය විදියට රට පාලනය කිරීමේ අයිතිය නැතිවුණා. අපි කොළ කෑල්ලෙන් නිදහස ලබා ගත්ත රටක්. 1956 දී මේ රටේ විප්ලවයක් සිදුවුණා. වසර 75ක් රාජපක්ෂවරු මේ රටේ උරුමය වෙනුවෙන් කටයුතු කළා. එවකට සිටි අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට ශක්තියක් වෙමින් ඩී. ඒ. රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටයුතු කළා. සමහර කාලවලදී ඩී. ඒ. රාජපක්ෂ මහතා ගැන කථා කෙළේ නෑ.

අපේ ලංකා සිතියමේ අවිනිශ්චිත තැන් තිබුණා. අවුරුදු 30ක් එය එක තැන නැවැතී තිබුණා. එක්තරා අවස්ථාවක කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසින් ප්‍රභාකරන් කොටු කරගත් විට විදේශ බලවේග කියා සිටියේ ඔහුව නිදහස් කරන ලෙසයි. වගකීම ඔවුන් භාරගන්නවා කීවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ගමන ලේසියෙන් ගියේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ කොටින් සබ්මැරීන, හෙලිකොප්ටර්, බර අවි රැගෙන ඒමට දොර විවෘත කළා. නමුත් අද වනවිට සියලු කුමන්ත්‍රණ මැද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කොට තිබෙනවා.

කුමක් හෝ කරන්නට අපිට උරුමයක් තිබෙන්න ඕන. විවිධ ආගම් තිබුණත් ඒ ආගමට ගෞරවයක් තිබිය යුතු වෙනවා. මේ රටේ ඝාතන අද නතර වී තිබෙනවා. මීට පෙර සෑම ප්‍රදේශයකම බෝම්බ පිපිරුණ අද එවැන්නක් නෑ.

දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය -

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය මගින් ආරම්භ කළා.

ඊට පෙර අපේ රටේ ජනතාවට අයිතිව තිබූ ඉඩම් බ්‍රිතාන්‍යයන් අත්පත් කර ගත්තත් පසුව රජයට පවරා ගත්තා. 1944 න් පස්සේ උඩරට ගැමි කොමිසම සභාව ආරම්භ කළත් 1977 බලයට පත් වූ රජය එය අහෝසි කළා.

විදේශීය රටවල සමාගම්වලට අපේ ඉඩම් අයිතිව තිබූ නිසා ගොවි ජනතාව විශාල ගැටලුවලට මුහුණ දුන්නා. 1970 – 1973 කාලයේ ගොවීන් ලක්ෂ ගණනක් අරගල කළ නිසා මෙවැනිම තත්ත්වයක් තිබූ වියට්නාමයේ ඉඩම් එරට ගොවි ජනතාව අත්පත් කර ගත්තා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම ඉතාම වැදගත් වෙනවා.

වර්තමාන රජය ඉඩම් ඔප්පු විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. පළාත් සභාව මගින් 27000 කට ඉඩම් හිමිකම් ලබාදීමට දකුණු පළාත් සභාව සමත්වී තිබෙනවා. රණවිරු පවුල්වල විශාල පිරිසකට ඔප්පු ලබා දී තිබෙනවා. අද රණවිරු අධිකාරිය මෙහෙයවන්නේ රණවිරුවන්. අපේ රණවිරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට එයින් සමත්වී තිබෙනවා.

ඔබට ලබාදෙන ඉඩම්වල සංවර්ධන කටයුතු සිදුවන්නේ බොහෝ සෙයින් අවම ප්‍රමාණයකින්. ඒ නිසා අපේ රට සංවර්ධනය කිරීමට නම් අපගේ ඉඩම සංවර්ධනය ඛ්ලම වැදගත් වෙනවා. කිසියම් හෝ භෝගයක් වගා කිරීම වැදගත් වෙනවා. ජනතාවගේ සහයෝගය තුළින් එවැන්නක් සිදු කිරීමට හැකිවෙනවා.

මේ කොමිසන් සභාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ මනා කළමනාකරණයකින් පවත්වාගෙන යනවා. මේ රටේ සියලු සම්පත් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා සමත්වී තිබෙනවා. ඒ නිසා අපි ආර්ථික වශයෙන් ජයග්‍රහණය කිරීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වෙනවා.

පාරිභෝගික කටයුතු ඇමැති එච්. ආර්. මිත්‍රපාල මහතා

අද ඔබේ ජීවිතයට ඓතිහාසික දිනයක්. කාලයක් පුරා අපේ රටේ ඉඩම්වල අයිතිය ගැන කථා කළා. අපිට නැතිවීමට ගිය උරුමය නැවතත් ලැබී තිබෙනවා. 1970 මේ රටේ බලයට පත්වූ රජය ගැන අපි ආඩම්බරයෙන් කථා කරනවා. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණය ආරම්භ කළා. ඒ සමගින් මේ රටේ ජනතාවට ඉඩම්වල භුක්තිය විඳීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඔබට සින්නක්කර ඔප්පුවක් ලැබෙනවා. ‘මහින්ද චින්තනයේ’ මේ ගැන ලියා තිබෙනවා. ඉඩමක ඔප්පුවක් නොමැති සෑම දෙනාටම ඔප්පුවක් ලබාදීමට රජය කටයුතු කරනවා. ඔබට ලැබෙන ඉඩම සශ්‍රීක කළ යුතුයි. අපේ රටේ වාර්ෂික ආදායම කෝටි 75000යි. නමුත් මෙය දෙගුණ කළ යුතු ආකාරය ගැන කල්පනා කළ යුතු වෙනවා. අපි ඒ පිළිබඳව අනෙකුත් රටවල් දෙස අවධානය යොමු කළ යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරදිග බලා කටයුතු කරනවා. අපේ රටේ වී නිෂ්පාදනය වර්ධනය වී තිබෙනවා. පසුගිය වසරේදී එක හාල් ඇටයක් හෝ විදේශ රටින් ආනයනය කෙළේ නෑ. රජය විශාල වියදමක් සිදු කොට සිදු කළ ආයෝජනය තුළින් සහල් නිෂ්පාදනයෙන් අපේ රට ඉදිරියට ඇවිත් තිබෙනවා.

අපේ ඉඩමේ මිරිස් පැලයක් හෝ සිටුවන්නේ නම් විදේශ රටවලට ඇදී යන මුදල් ඉතිරි කර ගන්න පුළුවන්. 1977 අපේ රටේ විවෘත ආර්ථිකය ඇතිකිරීමත් සමඟ අද අපි කෝටි ගණනක විදේශ ණය ගෙවනවා. අද ඉදිරි ගමනක් යන හොඳ නායකත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ රටේ කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. සෑම අංශයකම දියුණුවක් ලබා තිබෙනවා.

නිවාස සංවර්ධන ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා

‘මහින්ද චින්තන’ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යමින් අද ඔබට ඔප්පු ප්‍රදානය කරනවා. ජනාධිපතිතුමා අතින් ලබාදෙන මේ ඔප්පුවලට බලාපොරොත්තු නොවූ වටිනාකමක් අද ලැබී තිබෙනවා. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවන් මේ ඔප්පුවේ අයිතිය ලබා ගන්නට උත්සාහ කළා. එසේ වූ වර්ග සැතපුම් 25000ක බිමක් මුදා ගැනීමට හැකි වුණා.

අපේ උරුමය යළිත් අපිටම බාරදීමේ ඓතිහාසික දිනය හැටියට සළකන්න පුළුවන්. මේ ඉඩම් සඳහා ලබාදෙන ඔප්පුවේ වටිනාකම කියා නිම කළ නොහැකියි. එය ඔබට ලබා දෙන්නේ නීතිමය වරමක් සේම විකිණිය හැකි ලෙසයි.

රණවිරුවන් ජීවිත පරදුවට තබා දිනා දුන් භූමියට ඔබ අද හිමිකම් කියනවා. ඔබට මේ භූමිය දිනා දුන් නායකයා අතින් එහි අයිතිය ලබා ගන්නවා. සැමට ඒ අයිතිය හිමි වෙනවා. රුහුණේ ජනතාවට අද මෙය ඓතිහාසික අවස්ථාවක් වෙනවා. සියයට 50 කට වැඩි ප්‍රමාණයකට ඔප්පු ලබාදී තිබෙනවා.

ඌව වෙල්ලස්ස කැරැල්ලේදී අපේ අයට ඉඩම් අහිමි වුණා. ඒ ජනතාවගේ ඉඩම්වලට ගිනි තබා එලවා දැම්මා. ඔවුන් කඳුකර ප්‍රදේශවල ආරක්ෂාව කරා යොමු වුණා. තමන් කරපු වැරැදි වසා ගන්නට අද බ්‍රිතාන්‍ය කටයුතු කරනවා. රාජකීය කොමිසන් සභාවේ වාර්තාව අච්චු ගසා ඉංගී‍්‍රසීන්ට පුද කිරීම මෙහිදී සඳහන් කරන්නට පුළුවන්.

1948 වන විට ඇතිවූ නිදහස් අරඟලය තුළ අද අපිට ඉඩමක අයිතිය සමඟ නිදහස ලැබී තිබෙනවා. එදා සිටි නායකයන් විසින් එකතු කළ නායකත්වය තුළින් 1956 දී මේ රට නව මාවතකට යොමු කළා. අපිට අහිමිව තිබූ කොළොන්තොට වරාය ද අපිට අල්ලා ගැනීමට හැකි වුණා. අපේ නිදහස තවත් ශක්තිමත් කරන වරායක් බවට හම්බන්තොට වරාය පත් වෙනවා.

1956 දී දූපතකට අර්ථයක් ලබාදෙමින් ත්‍රිකුණාමල වරාය කටුනායක ගුවන්තොටුපළ අත්පත් කර ගැනීමට අපිට හැකි වුණා. මේ රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ සියලු විරුවන්ට අපේ ප්‍රණාමය පිරිනමනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති අධිනීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා -

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිඥා දුන්නා 100000 කට ඉඩම් අයිතිය ලබා දෙනවා කියලා. ඉඩම් අමාත්‍යාංශය වෙනම ඉඩම් ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනවා. නමුත් අපිට හැකි වී තිබෙනවා මේ වනවිට ඔප්පු 15000 ක් පමණ ලබා දෙන්න. මුඩු බිම් වශයෙන් අතැර දමා තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කරගෙන යනවා.

රණවිරුවන් සඳහා ඉඩම් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙනවා. අද 5 වැනි රන්බිම ඔප්පු ප්‍රදානය කරනවා.

අපි මේ වසර අවසන් වන විට ඉඩම් ලේඛණයක් සකස් කරන්නට බලාපොරොත්තු වෙනවා.

අද අපි යාපනය, මන්නාරම ප්‍රදේශවලද ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. අද ඔබට ලබා දෙන ඉඩමෙන් නිසි ප්‍රයෝජන ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්ක ඉටු කරමින් ඒවායේ උපරිමය කරා ගමන් කරනවා, යනුවෙන් කියා සිටියේය.

මෙය ‘රන්බිම’ ඔප්පු ප්‍රදානය කිරීමේ පස්වැනි අවස්ථාව වන අතර මේ දක්වා 15000 කට පමණ ඔප්පු ප්‍රදානය කර ඇත.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා