ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරව රට පෙරට ගෙන යන්න සහාය වෙමු

ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරව රට පෙරට ගෙන යන්න සහාය වෙමු

- අග රදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණෝ

නොමග ගිය පිරිසකගේ ආකල්ප නිසා දශක ගණනාවක් දෙකඩ වී තිබූ අපේ රට, ජනාධිපතිතුමාගේ හා වීරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම් මත නැවත එක්සේසත් කිරීමට හැකි වූ බව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් මේ රට ඉදිරියට ගෙනයාමට ආත්මාර්ථය නොව පරාර්ථය පෙරටුකරගෙන ක්‍රියාකිරීමට සියලු දෙනා ම ඉටා ගත යුතු බව ද මැල්කම් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිමාව ඇතුළු දේව ප්‍රතිමා මඩු දේවස්ථානයට ගෙනයාම සඳහා, කොළඹ අගරදගුරු නිවෙසේ ඊයේ (28) පැවති උත්සවයක දී අගරදගුරු හිමියෝ මෙසේ කීහ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ අප සියලු දෙනාම රට වෙනුවෙන් සිතා වැඩකිරීම සඳහා දැන් කාලය එළැඹ තිබෙන බවත් තමාට වැඩකරගන්නවාට වඩා මුළු රටවෙනුවෙන් සිතා වැඩකිරීමෙන් මේ රට අභිවෘද්ධිය කරා ගෙනයා හැකි බවත් පැවසූහ. උන්වහන්සේ මෙසේ ද කීහ.

‘අද මඩු දේවස්ථානයට ප්‍රතිමා රැගෙනයාමට අපට පුළුවන් වෙලා තිබෙනවා. ඒ සඳහා දේවස්ථානය සංවර්ධනය කිරීම හා මඟ සකසාදීම සම්බන්ධයෙන් අප රජයට ස්තූතිවන්ත වෙනවා. නොමගගිය පිරිසකගේ ආකල්ප නිසා කාලයක් මඩු දේවස්ථානයට යාමට පවා නොහැකි තත්ත්වයක් තිබුණා. දැන් සියල්ල හොඳ අතට හැරී තිබෙනවා. ඒ සම්බන්ධව රජයට කතෝලික සභාව වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.

මෙහි දී අදහස් දැක් වූ කෝට්ටේ නාගවිහාරාධිපති ආචාර්ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ මෙසේ පැවසූහ.

අද ත්‍රස්තවාදය නැති ඒකීය ශ්‍රී ලංකාවක් බිහිවෙලා තිබෙනවා. අද අපි එක මවකගෙ දරුවන් වශයෙන් රට ගොඩනැගීමට දායක විය යුතුයි.

රටක ජාති, ආගම්, පක්ෂ තිබෙන්න පුළුවන්. නමුත් රටේ සංවර්ධනයේ දී මේ ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව වැඩකළ යුතුයි. අතීතයේ කළ වැරදිවල විපාක අප අද තවම විඳීනවා. අපි ඒ අතීතයේ වැරද්ද නැවත අනාගත පරපුරට භාර නොදීමට වගබලාගත යුතුයි. සහෝදර සහෝදරියන් ලෙස මේ රට සමෘද්ධිමත් කිරීමට පෙළගැසිය යුතුයි.

උතුරු වසන්තය ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා

අද ශ්‍රී ලංකාවට ම වැදගත් දවසක්. සියලුම ආගම් එකතු වී රට සංවර්ධනය කිරීමට මේ මොහොතේ කැපවිය යුතුයි. දශක තුනක් පුරාවට ක්‍රිස්තියානි අයට මරඳමඩු දේවස්ථානය වැඳපුදා ගැනීමට හැකියාව තිබුණෙ නැහැ.

නමුත් ජනාධිපතිතුමාගේ හා වීරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම මත මේ රට මුදාගෙන තිබෙනවා. අද මඩු දේවස්ථානයට ජනතාවට යාමට හොඳ තත්ත්වයක් රජය නිර්මාණය කරලා දීලා තිබෙනවා. අද මඩු දේවස්ථානයට ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිමා වඩම්මනවා. සියලු ආගම් එකතු වී මේ රට ගොඩනැගිය යුතුයි.

ජාති ආගම් භේදයක් නොමැතිව රට ගොඩනැගීමට අප සියලු දෙනා දායකත්වය සැපයිය යුතුයි.මේ තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිතුමා විශාල වැඩකොටසක් කළා. අද මා මේ උත්සවයට සහභාගිවෙන්නේ ජනාධිපතිතුමාගේ හා සමස්ථ රජයේ ම ආශිර්වාදය අරගෙනයි.

මේ අවස්ථාවට වතිකානුවේ තානාපති ජෝශප් ස්පෙටර් හිමිපාණෝ අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, මිල්රෝයි ප්‍රනාන්දු, නියෝමාල් පෙරේරා, රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී තිලංග සුමතිපාල, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තිස්ස අත්තනායක, රවි කරුණානායක, ජෝන් අමරතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දොස්තර ජයලත් ජයවර්ධන, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, සර්වෝදය අධිපති ඒ. ටී. ආරියරත්න මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා