පරිපාලනයේ පුරප්පාඩුවලට තරග විභාග ප්‍රතිඵල අනුව

පරිපාලනයේ පුරප්පාඩුවලට තරග විභාග ප්‍රතිඵල අනුව

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පවතින පුරප්පාඩුවලින් 30%ක් සීමිත තරග විභාගයේ හා 70%ක් විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීමටත් තීරණය කෙරේ.

සීමිත තරග විභාගයට පෙනී සිටීමේ වාර ගණන 02 සිට 05 දක්වා වැඩි කිරීමටත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා එකඟත්වය පළ කර තිබේ.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ මෙතෙක් නොවිසඳුනු ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකදී සාර්ථක විසඳුම් ලබා දීමට ඇමැතිවරයා මෙසේ එකඟත්වය පළ කර ඇත.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය 1 පන්තියේ හා අධිපන්තියේ වැටුප් විසමතා ඉවත් කිරීමට කඩිනම් පියවර ගැනීමටත් 2007 ජූලි 01 වෙනි දිනට පෙර සේවයට බඳවා ගන්නා ලද නිලධාරීන් 07 / 2007 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ දෙවැනි භාෂාව සමත්වීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමටත් මේ අනුව පියවර ගනු ඇත.

දීප ව්‍යාප්ත සේවාවන්වල හා කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් වසර 05 කට වරක් අනිවාර්ය ස්ථාන මාරු කිරීම් හා අවම වශයෙන් විෂයානුබද්ධ ස්ථාන මාරු කිරීම පිළිබඳවද ඇමැතිවරයාගේ අවධානය යොමු වී ඇත.

මෙම ගැටලු සම්බන්ධයෙන් යථාවබෝධයෙන් හා ධනාත්මකව සලකා බලා සතුටු දායක විසඳුම් ලබා දීමට ඉදිරිපත්වීම පිළිබඳව ඇමැතිවරයා වෙත සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් තම ප්‍රසාදය පළ කරන බව සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. ජී. මුතුබණ්ඩා මහතා ප්‍රකාශ කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා