පොලිසියට එක් වන්න යාපනෙන් හය දාහක්

පොලිසියට එක් වන්න යාපනෙන් හය දාහක්

යාපනය දිස්ත්‍රික්කයේ වෙසෙන තරුණ තරුණියන් 6000ක් පමණ දෙනා ශශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වීම සඳහා වූ සම්මුඛ පරීක්‍ෂණවලට ඉදිරිපත් වීමට ඊයේ (28) පැමිණ තිබේ.

උතුරේ තරුණ තරුණියන්ට පොලිස් සේවයේ දොර විවර කරමින් රජය කළ ඉල්ලීමට එම ප්‍රදේශවල වැසියන් දැක්වූ ඉහළම ප්‍රතිචාරයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළ යටතේ ද්‍රවිඩ තරුණ තරුණියන් පොලිස් සේවයට බඳවා ගැනීම සඳහා ඊයේ සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ බව පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ‘දිනමිණ”ට පැවැසීය. වසර තිහකට පසු යාපනයේ ද්‍රවිඩ තරුණියන් පොලිස් සේවයට බඳවාගන්නා ප්‍රථම අවස්ථාව මෙයයි.

ද්‍රවිඩ තරුණ තරුණියන් මෙතරම් විශාල සංඛ්‍යාවක් රජය කෙරෙහි සහ පොලිසිය කෙරෙහි විශ්වාසය තබා පොලිසියට බැදීමට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙය වෙයි. යාපනය පොලිසිය ඉදිරිපිට ඇති දොරේ අප්පා ක්‍රීඩාංගණය කයිට් දූපත්, චාවකච්චේරි ඇතුළු ඒ ස්ථාන හතරකදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වේ.

දින දෙකක් පුරා එම සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන අතර පොලිස් කොස්තාපල් කාන්තා පොලිස් කොස්තාපල්, පොලිස් රියදුරන් වශයෙන් බඳවා ගැනීමට නියමිතය.

පොලිස්පතිවරයා විශේෂයෙන් සඳහන් කරන්නේ කිසිදු මාධ්‍ය ප්‍රචාරයක් නොමැතිව පොලිසි වලින් එම ප්‍රදේශපුරා කරගෙන ගිය ප්‍රචාරයෙන් පමණක් මෙතරම් විශාල පිරිසක් සම්මුඛ පරීක්‍ෂණවලට පැමිණීම සුවිශේෂී කරුනක් බවයි. නියෝජ්‍ය පොලිස්පති එච්. කේ. එස්. ජිනදාස අධ්‍යක්‍ෂ බඳවා ගැනීම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයකොඩි මහතා ඇතුළු නිලධාරීහු පනහකට ආසන්න පිරිසක් එම සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමේ දී කටයුතු මෙහෙයවති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා