මැතිවරණ නීති කැඩූ 23ක් අත්අඩංගුවට

මැතිවරණ නීති කැඩූ 23ක් අත්අඩංගුවට

‘බරපතළ සිද්ධි කිසිවක් නෑ’

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 23 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පවසයි.

දකුණු ප්‍රදේශයේ පළාත් සභා මැතිවරණ කටයුතු ඇරඹීමත් සමඟ ම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 48ක් ලැබී ඇති බව ද ඒවා දරුණු ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි නොවන බව ද පොලිස් පරීක්ෂණ මඟින් හෙළිව ඇත. මෙසේ ලැබී ඇති පැමිණිලිවලින් 25ක් මැතිවරණ කාර්යාල ඉදිරිපිට තිබූ සැරසිලි කඩා දැමීම,

නීත්‍යානුකූල නොවන ලෙස තැනූ කාර්යාල කඩා දැමීම හා නීත්‍යානුකූ®ල නොවන බැනර්, කටවුට් හා පෝස්ටර් ආදිය ඉරා දැමීම වැනි හේතු නිසා ලද පැමිණිලි බව සොයා බැලීමේ දී හෙළිව ඇතැයි මැදිවක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

තවත් පැමිණිලි ගණනාවක් ම මනාප පොරය හේ්තුවෙන් එකම පාර්ශ්වයක අපේක්ෂකයන් අතර ඇති වූ ගැටුම් වන බව ද එවැනි ගැටුම් පිළිබඳ ලැබෙන පැමිණිලි අධිකරණය වෙත යාමට පෙර පොලිසියේ දී සමාදාන වී සමථයකට පත්වූ බව ද හෙළිව තිබේ.

මේ අනුව මිනීමැරුම්, තුවාලවීම් වැනි දරුණු ගැටුම් දකුණේ මැතිවරණයට සුදානම් වන මේ අවස්ථාවේ දී වාර්තා වී නැති බව නිමල් මැදිවක මහතා අවධාරණය කරයි. පොලිසියට ලැබී ඇති සියලු පැමිණිලි පිළිබඳ විධිමත් පරීක්ෂණ පවත්වා අවශ්‍ය අවස්ථාවලදී අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

සමස්ථයක් ලෙස අනෙක් ප්‍රදේශවල මෙතෙක් පැවැත් වූ මැතිවරණ අවස්ථාවලදී ලැබුණ පැමිණිලි තරම් දරුණු පැමිණිලි කිසිවක් දකුණේ මෙවර පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ලැබී නැතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කෙළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා