පොලිසියේ විමර්ශන පිළිබඳව මට කිසි විශ්වාසයක් නෑ

පොලිසියේ විමර්ශන පිළිබඳව මට කිසි විශ්වාසයක් නෑ

මුතුහෙට්ටිගම අධිකරණයේ දී කියයි

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම නීති විරෝධී පෙළපාළි පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පොලිසියේ විමර්ශන කටයුතු පිළිබඳ තමාට කිසිදු විශ්වාසයක් නැතැයි කීය.

සැකකාර මුතුහෙට්ටිගම මහතාට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති පැමිණිලි තුන ඊයේ (28) ගාල්ල මහේස්ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් එසේ කී සැකකාර මුතුහෙට්ටිගම මහතා තමන් සමඟ තරග කරන අනෙක් අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබා දෙන පොලිසිය තමන්ට මරණීය තර්ජන එල්ල කරන බවට පැමිණිලි කෙළේය. තමාට කිසිවකු විශ්වාස නැතැයි කී ඔහු ජනාධිපතිතුමා හා ආරක්ෂක ලේකම් තුමා පමණක් විශ්වාස බව මුතුහෙට්ටිගම මහතා කීය.

ඇප කොන්දේසිවලට අනුව අස්සන් කිරීම සඳහා ගාල්ල පොලිසියට හා වරාය පොලිසියට නොගියේ මන්දැයි කළ විමසීමට පිළිතුරු දුන් සැකකරු ඇප නියම කළ පසු කලබල ඇති කිරීමේ සූදානමක් තිබූ නිසා කොළඹ ගිය බවත් ඇප ලබා ආහාර ගැනීමට ගෙදර ගිය විට වරාය පොලිසිය ත්‍රස්තවාදීන් සමඟ එකතු වී තමාට පහර දුන් බව කී මුතුහෙට්ටිගම මහතා ත්‍රස්තවාදීන් කවුදැයි විමසූ විට පොලිසිය නොවන පොලිසියේ අය යැයි කීය.

මේ පිළිබඳව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට වාර්තා කළා දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් සැකකරු මේ ඔක්කොම මට එරෙහිව කටයුතු කරන අය යැයි කීය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ ගාල්ල පොලිසිය, ගාල්ල වරාය පොලිසිය හා රහස් පොලිසිය සැකකරු ඇප ලබා ගැනීමෙන් පසු ඇප කොන්දේසි කඩ කර පොලිසිවලට හෝ රහස් පොලිසියට වාර්තා කැර නොමැති අතර කටඋත්තර ලබා දී නොමැති බවත් කීය.

නමුත් පොලිසිවලට කට උත්තර දිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත් තෙන්නකෝන් මහතා ඒ සඳහා ආරක්ෂාව අවශ්‍ය නිසා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමඟ ගොස් අවශ්‍ය කටඋත්තර ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කෙළේය.

අනතුරුව ගාල්ල හා ගාල්ල වරාය පොලිසියේ පැමිණිලි දෙක නොවැම්බර් 6 වැනි දිනත් රහස් පොලිසියේ පැමිණිල්ල ජනවාරි මස 16 වැනි දිනත් යළි කැඳවන ලෙස නියම කළ මහේස්ත්‍රාත් තෙන්නකෝන් මහතා එම දින වලට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කෙළේය. එදිනට විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසිවලට නියම කෙළේය.

නීති විරෝධී පෙළපාළි යාම සම්බන්ධයෙන් ගාල්ල පොලිසියද අපේක්ෂිකා අනර්කලී ආකර්ෂා මෙනවියට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසියද තමන් හොඳින් හෝ නරකින් මහ ඇමැති වන බව කියා පොලිසියට හානිදායක ප්‍රකාශ කිරීම පිළිබඳව රහස් පොලිසිය මගින්ද මේ පැමිණිලි ගොනු කැර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා