ගාමිණී කොරයාගේ බූදලය ඉල්ලා ඥාති දියණියක් අධිකරණය හමුවේ

ලලිත් කොතලාවල ගේ භාරකාරත්වයේ ඇති

ගාමිණී කොරයාගේ බූදලය ඉල්ලා ඥාති දියණියක් අධිකරණය හමුවේ

ආචාර්ය ගාමිණි කොරයා මහතාගේ භාරකාරත්වය සහ දෙස් විදෙස් දේපළවල කළමනාකාරීත්වය, රිමාන්ඩ් භාරයේ සිටින ලලිත් කොතලාවල මහතාගෙන් ඉවත් කර තමන්ට පවරන්නැයි ඒ මහතාගේ ඥාති දියණියක් මෝසමක් යොමුකරමින් කොළඹ දිසා අධිකරණයෙන් ඊයේ (28) ඉල්ලා සිටියාය.

අසනීප තත්ත්වයේ පසුවන ගාමිණී කොරයා මහතාගේ දේපල වල භාරකාරත්වය හා මුල්‍ය කළමනාකරණය කිරීමේ බලය 2004 ජනවාරි 08 දින සිට අධිකරණ නියෝගයක් මගින් ලලිත් භූපේන්ද්‍ර කොතලාවල මහතාට පවරා තිබූ අතර එම වගකීම්වලින් කොතලාවල මහතා නිදහස් කරන ලෙස මෝසම මගින් ඉල්ලා තිබිණි.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ලෆාර් තාහීර් මහතා ඉදිරියේ ඊයේ (28) විභාග කෙළේය. කොතලාවල මහතාගේ ඥාති සහෝදරයකුගේ දියණියක් වූ කොළඹ 07 චාන්දනී අනෝමා ගුණවර්ධන මහත්මිය ඉදිරිපත් කළ මෙම පැමිණිල්ලේ කරුණු සළකා බැලූ විනිසුරුවරයා කොරයා මහතාගේ වර්තමාන භාරකාරීත්වය දරණ කොතලාවල මහතාට නෛසයි ආඥාවක් නිකුත් කරන ලෙසත්, එය බන්ධනාගාර අධිකාරී මගින් භාරදී වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.

එම පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ. ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වූ ආචාර්ය ගාමිනි කොරයා මහතා සිහි මඳ තත්වයෙන් හා සිය කටයුතු තනිවම කැරගෙන යාමේ අපහසුතාවයෙන් පසුවූ බැවින් ඔහුගේ භාරකාරීත්වය හා දෙස් විදෙස් දේපලවල කළමණාකාරීත්වය 2004 ජනවාරි 08 දින කොළඹ දිසා අධිකරණය නිකුත් කළ නියෝගයක් මගින් ලලිත් කොතලාවල මහතාට පැවරීය.

කොතලාවල මහතා ගොණු කළ පැමිණිල්ලක් අනුව වෛද්‍ය වාර්තා කැඳවීමෙන් පසුව දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. එම නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කිරීම අපහසු බව කොතලාවල මහතා පසුගිය 14 දින බන්ධනාගාරයේ සිට ලිපියක් නිකුත් කැරමින් සඳහන් කැර ඇත.

කොතලාවල මහතා බන්ධනාගාර ගතවූ දින සිට කොරයා මහතාගේ වගකීම් ඉටු කිරීමේ කාර්ය ඥාතියෙකු ලෙස සද්භාවයෙන් තමන් ඉටුකළ බවත්, වෛද්‍ය ප්‍රතිකාර වලදී ගෙවිය යුතු මුල්‍ය ගනුදෙනු වලදී අපහසුතා ඇතිවන බවත් ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.

කොරයා මහතාගේ දේපලවල කළමනාකාරීත්ව ජේසි ට්‍රස්ට් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට භාර දීමට තමන් අදහස් කරන බවද පැමිණිලිකාරිය දන්වා සිටියාය.

කොරයා මහතාට අයත් විදේශීය වත්කම් සොයා ගැනීම, එම වත්කම් හඳුනාගැනීම, වත්කම් මුදල් කිරීම, කළමනාකරණය හෝ යෝග්‍ය පියවර ගැනීම එම සමාගමට පැවරීමට අදහස් කරන බවද පැමිණිලිකාරිය සඳහන් කළාය.

ජේසි ට්‍රස්ට් ආයතනයට ද නෛසයි ආඥාව නිකුත් කරන ලෙස නියෝග කළ දිසා විනිසුරුවරයා නඩු විභාගය ඔක්තෝම්බර් 12 දිනට කල්තැබීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා