ශ්‍රී ලංකා පිලේ ඉරණම තීන්දු කෙරෙන එංගලන්ත නවසීලන්ත තරගය අද

ශ්‍රී ලංකා පිලේ ඉරණම තීන්දු කෙරෙන එංගලන්ත නවසීලන්ත තරගය අද

වර්නන් ගුණසේකර දකුණු අපි‍්‍රකාවේ සිට

2009 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ වාසනාව උදාකර ගැනීමට නම් අද වොන්ඩරර්ස් ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රියේ පැවැත්වෙන එංගලන්ත – නවසීලන්ත තරගයෙන් නවසීලන්තය පරදිනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් පසුවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

දකුණු අපි‍්‍රකාව සමඟ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව ඉන්පසුව පැවැති ‘බී’ කොටසේ මූලික තරග දෙකෙන්ම එංගලන්තයට හා නවසීලන්තයට පරාජය විය.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හා දකුණු අපි‍්‍රකාව පරදවා දැන් අවසන් පූර්ව වටයට පිවිස සිටී.

උවෙයිස් ෂා

ඊයේ සෙන්චූරියන්හි පැවැති දකුණු අපි‍්‍රකාව හා එංගලන්තය අතර තරගයේ එංගලන්තය කඩුලු 8 ට ලබාගත් ලකුණු 323 ට පිළිතුරු වශයෙන් දකුණු අපි‍්‍රකාවට රැස්කර ගත හැකි වූයේ කඩුලු 9 ට ලකුණු 301 ක් පමණි.

දකුණ අපි‍්‍රකාවට මේ තරගයේදී දැවැන්ත අභියෝගයක් තිබිණි. එනම්, ශ්‍රී‍්‍ර ලංකාවට වඩා සමස්ත තරගාවලියේ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉහළින් සිටීමට නම් ඔවුන් ඊයේ තරගයේදී ලකුණු 313 ක් රැස්කර ගත යුතුව තිබුණි. එම කාර්යයේදී අසමත් වූ දකුණු අපි‍්‍රකානුවෝ තරගාවලියෙන් ඉවතට විසිවූහ.

අද තරගයේදී එංගලන්තය වැඩි ලකුණු පරතරයක ජයග්‍රහණයක් ලබා ගත්තොත් අවසන් පූර්ව වටයට පිවිසීමේ නොසිතූ අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදාවීමට ඉඩ තිබේ.

ගණිත ක්‍රමය අමුතුම දෙයක් යැයි පරාජිත ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පවසයි.

ඒත් මොන කණ්ඩායමද පරදින්නේ කියලත් ලකුණු ලබා ගැනීමේ වේගය කොහොම වේවිද කියලත් යන කාරණා මත යැපීම හොඳ දෙයක් නොවෙයි.

අපි නවසීලන්තය සමඟ තරගය දිනන්න තිබුණා. නමුත් අපිට බැරිවුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංගයකින්ම අපි දුර්වල වුණා. සංගක්කාර අවසානයේ කියා සිටියේය.

එංගලන්තය අවසන් පූර්ව වටයට

අයි.සී.සී. චැම්පියන් කුසලාන තරගාවලියේ දකුණු අපි‍්‍රකාවට තීරණාත්මක වූ තරගය ලකුණු 22 කින් ජයගනිමින් අවසන් පූර්ණ වටයට පිවිසීමට එංගලන්ත පිලට ඉවහල් වූයේ උවෙයිස් ෂා ගේ (98) සුපිරි පිතිහරඹයයි.

සිය ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් කළ උවෙයිස් කොලින්වුඩ් (82) සමඟ එක්වී තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 163 ක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩනැංවීමට සමත් වූවේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගවලදී තුන්වැනි කඩුල්ල සඳහා මීට පෙර පැවැති හොඳම සම්බන්ධතාවය වූයේ 2003 වසරේදී මාකස් ත්‍රෙස්කොතික් සහ ඇන්තනි මැග්‍රාත් මැන්චෙස්ටර් හිදී ගොඩ නැඟූ ලකුණු 114 ය.

“මං ආසයි හැමදාම මේ වගේ තණතීරුවල ක්‍රීඩා කරන්න. මේක පිති හරඹයට කියාපු තණතීරුවක්” උවෙයිස් ෂා පැවසුවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා