සෙලායාට රැකවරණ දුන්නැයි බ්‍රසීල තානාපති කාර්යාලයට තර්ජන

සෙලායාට රැකවරණ දුන්නැයි බ්‍රසීල තානාපති කාර්යාලයට තර්ජන

හොන්ඩියුරාස්හි බලයෙන් නෙරැපුනු ජනාධිපති මනුවෙල් සෙලායාට රැකවරණය ලබා දී ඇති බ්‍රසීල තානාපති කාර්යාලය වසා දමන බවට තර්ජනය කරන පවත්නා රජය, පාලන බලය අත්හැරීමට කරන අන්තර්ජාතික ඉල්ලීම් නොතකමින් සිවිල් නිදහස මත තහංචි පනවා රජයට එරෙහි විරෝධතා මැඩලීමට පියවරගෙන තිබේ.

හොන්ඩියුරාස් හි බලයෙන් නෙරැපුණු ජනාධිපති මැනුවෙල් සෙලායා බ්‍රසීල තානාපති කාර්යාලයේදී සිය බිරිය සියෝමාරා කැස්ත්‍රෝ වැළඳගෙන සතුට පළ කළ අයුරු.

ඒ. එෆ්. පී.

ඉකුත් ජුනි 28 දා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් රජය එපමණකින් නොනැවතී අර්බුදය විසඳීමේ මැදිහත්කරුවන් ලෙස හොන්ඩියුරාස් දේශයට ළඟාවීමට නියමිතව සිටි අමෙරිකානු රාජ්‍ය සංවිධාන නියෝජිතයින්ට රටට ඇතුල්වීම තහනම් කැර ඇත.

හොන්ඩියුරාස් රජයේ ක්‍රියාමාර්ගයන්ගෙන් පිළිබිඹු වන්නේ ඔවුන් කිසිම හේතුවක් නිසා හෝ සෙලායා යළි බලයේ පිහිටුවීමට ඉඩ නොදෙන බවය. එහෙත් ඔවුන්ගේ ක්‍රියාමාර්ග අන්තර් ජාතික ප්‍රජාවේ දැඩි පිළිකුලට හේතු වී ඇත.

එරට බ්‍රසීල තානාපති කාර්යාලයට හොර රහසේ ම පැමිණ එහි රැඳී සිටින හිටපු ජනාධිපති මැනුවෙල් සෙලායා සම්බන්ධයෙන් දින 10 කදි නිශ්චයකට නොඑළඹුනහොත් බ්‍රසීල තානාපති කාර්යාලය වසාදමන බවට හොන්ඩියුරාස් රජය තර්ජනය කැර ඇතිමුත් බ්‍රසීල ජනාධිපති ලුයී ඉනාසියෝ ලූලා ද සිල්වා එම තර්ජනය පිළිකෙව් කැර තිබේ.

කුමන්ත්‍රණකාරීන්ගේ රජයකින් නිකුත් අවසන් නිවේදනයකට අනුගතවීමට සූදානම් නැතැයි ලූලා ද සිල්වා කියා ඇත. එපමණක්නොව තර්ජන නිවේදනය නිකුත් කළ හොන්ඩියුරාස් නායක රොබෙටෝ මිෂෙලෙටි තුමාගෙන් සමාවගත යුතු බව ද ලූලා කියා ඇත.

සෙලායා නිදහස් කැර යළි බලයේ පිහිටුවන ලෙස ඉල්ලා දිනපතා ජනතා උද්ඝෝෂණ පවතිද්දී සෙලායා රැඳී සිටින බ්‍රසීල තානාපති කාර්යාලය හොන්ඩියුරාස් හමුදාව හා අරගල මර්දන පොලීසිය විසින් වට කැර තිබේ.

සෙලායාට බ්‍රසීල තානාපති කාර්යාලයේ කැමති කාලයක් රැඳී සිටීමට ඉඩ තිබෙන බව බ්‍රසීල ජනාධිපතිවරයා කීව ද මිෂෙලටි පවසා ඇත්තේ සෙලායාට බ්‍රසීලයේ රැකවරණය දීම හෝ ඔහුට නඩු පැවරීම සඳහා හොන්ඩියුරාස් රජයට බාරදීම හෝ දින 10 කදී සිදු කළ යුතු බවය. නොඑසේ වුවහොත් අතිරේක පියවර ගනු ලබන බවට ද ඔහු අනතුරු අඟවා ඇත.

එහෙත් බ්‍රසීල තානාපති කාර්යාලයේ ස්වෛරීත්වයට ගරු කරන බව හා එම පරිශ්‍රය ආක්‍රමණය කිරීමට අදහසක් නැති බව ප්‍රකාශ කරන මිෂෙලටි හොන්ඩියුරාස් අර්බුදය උත්සන්න කරන බවට බ්‍රසීලයට චෝදනා කැර ඇත.

ඒ සමඟම රාජ්‍ය විරෝධතා මැඩලනු පිණිස නිදහසේ අදහස් ප්‍රකාශනය හා විරෝධතා තහනම් කැර ඇති රජය සාමයට බාධා කරන්නේ යැයි මාධ්‍ය වාරණයන් ද පණවා තිබේ.

තවද නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් හොන්ඩියුරාස් අර්බුදය විසඳෙනු ඇති බව ද රජය කියා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා