දකුණ ජයගන්නේ කවුද

දකුණ ජයගන්නේ කවුද

මේ දිනවල ශ්‍රී ලංකාවේ මුළුමහත් ජනතාවගේම ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ දකුණය. එයට හේතුව වී ඇත්තේ හරියටම තව දින තුනකින් (ඔක්තෝබර් මස 10 වැනිදා) පැවැත්වෙන හයවැනි දකුණු පළාත් සභා මැතිවරණය නිසාවෙනි.

මෙයට ප්‍රථම 1988 වර්ෂයේ දී එහි ප්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්විණි. ඉන් පසුව 1993, 1994, 1999 සහ 2004 වර්ෂවල පළාත් සභා මැතිවරණ පැවැත්විය. 1994 වර්ෂයේ දී දකුණු පළාත් සභාවට අතුරු මැතිවරණයක් පැවැත්විය. එය මෙරට දේශපාලන ඉතිහාසයේ ආන්දෝලනයට ලක්වූ මැතිවරණයක් විය. එයට හේතුවූයේ සුප්‍රසිද්ධ ‘ප්‍රැැන්සිස්කු කරණ’යයි.

දකුණ පුරාණ රජ කාලේ පටන් ශ්‍රී ලංකාවට අතිශය වැදගත් පළාතක් විය. දකුණු පළාතට ‘රුහුණු පුරවරය’ යන්න පැරැණි කාලයේ පටන් ප්‍රචලිත වූ, පළාත හැඳින්වූ නාමය වේ. මේ හේතුව නිසා ම රුහුණු රාජ මහා වංශයට ලක් ඉතිහාසයේ රාජවංශ අතර සුවිශේෂී තැනක් හිමිවූ බව ඉතිහාසය සාක්ෂි දරනු ඇත.

ශ්‍රී ලංකාවේ රාජාවලිය තුළ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ දේවානම්පියතිස්ස රජු තමාගේ මලණු කෙනෙකු වන මහානාග කුමාරයා යුවරජ තනතුරට පත්කරගෙන රාජ්‍ය පාලනය ගෙන ගියේය.

දේවානම්පියතිස්ස රජුගේ ඇවෑමෙන් මහ රජකම තම පුත්‍රයාට නොදී මහානාග යුවරජ රජකම පැහැර ගනීවි යැයි සැක සිතූ දේවානම්පියතිස්ස රජුගේ බිසවක වූ අනුලා කිසියම් උපක්‍රමයකින් මහානාග යුවරජ මරණයට පත් කළ යුතු යැයි හිතුවාය. ඒ සඳහා අවස්ථාවක් බලමින් සිටි බිසවට ඒ සඳහා හොඳම අවස්ථාවක් උදාවිය.

මහානාග රජු, දේවානම්පියතිස්ස රජුගේ අනුමැතියෙන් ‘වලස්වැව‘හි පිළිසකර කටයුතුවල රටවැසියන් සමඟ නිරතව සිටි අවස්ථාවක විෂ යෙදූ අඹ ගෙඩියක්, තවත් අඹ පිරවූ කූඩයක් සමඟ මහානාග යුවරජ වෙත අනුභවය සඳහා යැවීය.

ඒ අවස්ථාවේ තම සුළු පියා වන මහානාග යුවරජු සමඟ සිටි අනුලා බිසවගේ පුත් කුමාරයා සිය සුළු පියාට සේවකයකු අත එවන ලද අඹ කූඩය දැක එහි උඩින්ම තිබූ විශාල වූ විෂ යෙදූ අඹ ගෙඩිය නොදැන ගෙන අනුභව කොට එවේලේම මරණයට පත්විය.

මේ සිදුවීමෙන් මහානාග යුවරජ තමාව මැරීමට රජවාසල තුළින්ම කුමන්ත්‍රණයක් දියත් වන බව තේරුම් ගෙන, තම දිවි රැක ගැනීම සඳහා තමා සමඟ සිටි බල සේනා සහ පිරිසද සමඟ දේවානම්පියතිස්ස රජුට නොදන්වා වහාම රජරටෙන් රුහුණට පළා ආවේය. එසේ දකුණට පැමිණි මහානාග යුවරජ මාගම රාජධානිය කරගෙන රුහුණු රට පාලනය කිරීමට පටන් ගත්තේය.

රුහුණු රාජ මහා වංශය ඇරැඹෙන්නේ මහානාග රජුගෙන් පසුව සිටය. දැනට රුහුණේ ප්‍රසිද්ධ තිස්සමහාරාමයේ පිහිටි ‘තිස්ස වැව‘ මහානාග රජුගේ විශිෂ්ට වාරි කර්මාන්තයකි.

මහානාග රජුගෙන් පසු ඇරැඹුණු රුහුණු රාජ වංශය තුළ මහානාග රජුගේ පුත් ‘යටාල තිස්ස’ රජුද, යටාල තිස්ස රජුගේ පුත් අභය ද අනතුරුව අභය රජුගේ පුත් ගෝඨාභය ද, පසුව ගෝඨාභය රජුගේ පුත් කාවන්තිස්ස ද රුහුණු රාජ වංශය ඉදිරියටම ගෙන ගිය නරපතියෝ වූහ.

කාවන්තිස්ස රජු කැලණි තිස්ස රජුගේ දියණිය වූ විහාර මහා දේවිය සරණ පාවා ගැනීමෙන් පසු ඔවුනට ලැබුණු වැඩිමහල් කුමරු වන ගැමුණු කුමරු ශ්‍රී ලංකාවේ රාජාවලිය සේම රජරට ඉතිහාසය වෙනස් කරවන මහා තීරණාත්මක සාධකයද වන්නේය. ‘දුටුගැමුණු චරිතය’ ශ්‍රී ලංකාවෙ රාජාවලිය තුළ ශ්‍රේෂ්ඨතම නරපතියා වන්නේ රුහුණු රාජවංශයෙන් ලත් උරුමයත් සමඟය.

නිදහස ලැබීමෙන් පසු අපට හිමිවන සර්වජන ඡන්ද බලය තුළ දේශපාලන කරළියේ පෙරැළි රැසක් ඡන්දයේ බලයෙන් කිරීමට දකුණේ ජනතාව කටයුතු කර ඇත. විශේෂයෙන් 1956 සමාජ පෙරළියට මූලිකත්වය දෙනු ලැබූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සමඟ එකට සිටිමින් කටයුතු කළ ඩී. එම්. රාජපක්ෂ, ඩී. ඒ. රාජපක්ෂ සොයුරන් රුහුණු ගිරුවාය ඒකාලෝක කළ ජනතා නායකයන් දෙදෙනෙකි.

ඒ මඟ යමින් ඉදිරියටම ආ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අනභිභවනීය රාජ්‍ය නායකයා වන වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රී ලාංකීය දේශපාලනයට දායාද කෙළේ රුහුණු ගිරුවායෙනි. වසර 30 ක් කිසිඳු රාජ්‍ය නායකයකුට විසඳාලිය නොහැකිවූ, ලෝකය මවිත කළ, ලෝකයේ බලගතුම ත්‍රස්ත සංවිධානය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සහ එහි නායකයා ප්‍රභාකරන් සහමුලින්ම තුරන් කිරීමට හැකිවූයේ රුහුණේ අතිජාත පුත්‍රරත්නය වූ මහින්ද රාජපක්ෂ නම් වර්තමාන ජනාධිපතිවරයාටය.

රුහුණ, ශ්‍රී ලංකා මාතාවට දායාද කළ එවැනි ශ්‍රේෂ්ඨ චරිත අතර හිටපු අගමැතිවරයකු වූ ආචාර්ය විජයානන්ද දහනායක, නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂයේ නිර්මාතෘ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, බී. වයි. තුඩාව, කම්කරු නායකයකු වූ එම්. ජී. මෙන්ඩිස් යන මහත්වරු විශේෂ තැනක් ගනී.

මෙරට වමේ ව්‍යාපාරයට අලුත් මඟක් පෙන්වූ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර මහතාද දකුණේ බිහි කළ දේශපාලන නායකයෙකි. එසේම 1948 වර්ෂයේදී බද්දේගම ආසනයට ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාද දකුණේ පුත්‍රයෙකි. මෙයට අමතරව දකුණ නියෝජනය කරමින් විවිධ දේශපාලන පක්ෂ තුළින් තවත් නායක නායිකාවන් රැසක් ශ්‍රී ලාංකීය දේශපාලන කරළියට පැමිණ ඇත.

ප්‍රථම වරට ජනතා නියෝජිතයෙක් ලෙස භික්ෂුන් වහන්සේ නමක් මැතිවරණයට තරග කරන්නේද දකුණු පළාතේ කරන්දෙණිය ආසනයට ය. ඒ පිනිකහනේ ශ්‍රී සද්ධාතිස්ස හිමියන්ය. එසේම පාර්ලිමේන්තුවට සපැමිණෙන ප්‍රථම භික්ෂුන් වහන්සේ නම වූ බද්දේගම සමිත හිමි 2001 මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට එන්නේ දකුණේ ඡන්දයෙනි.

දකුණේ පවත්වන 6 වන පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ ඔක්තෝබර් මස 10 වැනිදාය. මෙම පළාතේ පවත්වනු ලැබූ පළමු පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබූයේද 10 වැනිදා දිනකය. ඒ 1988 වර්ෂයේ ජුනි මස 10 වැනිදාය. දකුණු පළාතේ ප්‍රථම ආණ්ඩුකාරයා වූයේ හිටපු කතානායක බාකිර් ඒ. මාකර් මහතාය. එහි ප්‍රථම මහ ඇමැතිවරයා වූයේ හිනිදුම හිටපු මන්ත්‍රී ඇම්. ඇස්. අමරසිරි මහතාය.

1988 වර්ෂයේ සිට එජාපයට බලය හිමිව තිබූ දකුණු පළාත දකුණ වමට හරවන තීරණාත්මක වර්ෂය වූයේ 1993 යි. 1993 වර්ෂයේ මැයි මාසයේ දී පවත්වන ලද දකුණු පළාත් සභා ඡන්දයෙන් එජාපයට බෝනස් මන්ත්‍රී ධුර දෙකද සමඟ මන්ත්‍රී ධුර 27 ක්ද, පොදුජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ධුර 22 ක්ද, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 06 ක්ද හිමිවිය. ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ධුර 27 ක්ද විපක්ෂයට මන්ත්‍රී ධුර 28 ක්ද හිමි විය. පළාත් සභාවේ බලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පළාත තුළ සේම රටේද මහා උද්ඝෝෂණයක් ඇතිවිය.

ආණ්ඩුකාර බාකීර් ඒ. මාකර් මහතා අතුරුදන් විය. පොදු පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ප්‍රැන්සිස්කු මහතාවද කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබිණ. සුප්‍රසිද්ධ ප්‍රැන්සිස්කු කරණය ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයට එකතු වන්නේ එදා සිට ය.

බලය අස්ථිරව සහ විවිධ විරෝධතා උද්ඝෝෂණ හේතුවෙන් දකුණු පළාත් සභාව ගෙනයාමට එජාපයට නොහැකි වීමත් සමඟ මධ්‍යම ආණ්ඩුව දකුණු පළාත් සභාව විසිරුවා හැරිය අතර 1994 මාර්තු මාසයේදී දකුණට යළි අතුරු මැතිවරණයක් පැවැත්වීය. ඒ මැතිවරණයෙන් එතෙක් එජාපයට බලය හිමිව තිබූ දකුණ වමට හැරවිණ.

ඒ ඡන්දයෙන් පොදුජන එක්සත් පෙරමුණට දකුණු පළාත් සභාවේ බලය හිමිවූ අතර දකුණේ ජනපි‍්‍රය, ප්‍රවීණ දේශපාලනඥයකු වූ අමරසිරි දොඩංගොඩ මහතා මහ ඇමැති ධුරයට පත් විය. එදා මෙදා තුර වසර 15ට අධික කාලයක් දකුණේ බලය නොකඩවා රැක ගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

තව දින තුනකින් පවත්වනු ලබන, ‘රුහුණ දිනන සටන’ වෙනත් පළාත් සභා මැතිවරණයකට වඩා වෙනස් මුහුණුවරක් මේ වනවිට ගනු ලැබ ඇත. මන්ද වසර 30 ක් පුරාවට පැවැති කොටි ත්‍රස්තවාදය අවසන් කර පවත්වනු ලබන ප්‍රථම මැතිවරණය දකුණු පළාත් සභා මැතිවරණය වේ.

දකුණේ බිහිවූ ශ්‍රී ලාංකීය දේශපාලනයේ විශිෂ්ටතම රාජ්‍ය නායකයාගේ ආණ්ඩුවට දකුණේ තමන්ගේ ජනතාව දක්වන ප්‍රතිචාරය මෙම මැතිවරණයෙන් බලා ගැනීමට මුළුමහත් රටේත්, ලෝකයේත් ජනතාව පුල පුලා බලා සිටිනු ඇත.

එසේම විවිධ චෝදනා නඟමින් පරාජිත දේශපාලන බලවේග සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන රටේ රාජ්‍ය නායකයා සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමට වලිකන අවස්ථාවක පවත්වන මැතිවරණයෙන් එවැනි අවස්ථාවාදීන්ට ජනතාව දෙන පිළිතුර බලාගැනීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇත.

එසේම 2010 වර්ෂයේ ජනවාරි මුල් සතියේ දී පවත්වනු ලබන ජනාධිපතිවරණයට සහ මාර්තු මස පැවැත්වෙන මහ මැතිවරණයට හොඳ ප්‍රවේශයක් ලබා ගැනීම විපක්ෂයට මෙම දකුණු පළාත් සභා ඡන්දයෙන් අවස්ථාවක් ලැබෙනු ඇති බවට විපක්ෂය විශ්වාස කරයි.

ඒ නිසා දකුණු පළාත් සභා මැතිවරණය තවත් එක් පළාත් සභාවක මැතිවරණයක් පමණක් නොවනු ඇත. එය රටේ ඉදිරි දේශපාලන තීන්දු තීරණ රැසකට මුල පුරණ මැතිවරණයක් වී ඇත. ඒ නිසාම මේ වනවිට දකුණ හොඳට රත් වී ඇත, රත් වූ දකුණු පළාතේ ජනයා බුද්ධිමත්ව ගනු ලබන තීරණයෙන් දකුණට මේ වනවිට ගලාඑමින් පවතින සංවර්ධනයේ ඉදිරි පැවැත්ම තීරණය වනු ඇත.
 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා