අලුත් සන්ධානයට ගල් ඉබ්බා නරකද?

අලුත් සන්ධානයට ගල් ඉබ්බා නරකද?

පෙරමුණු ඔස්සේ පිල් බෙදීම අපේ රටේ කවදත් දක්නට ලැබුණු දේශපාලන ප්‍රවනතාවක්. මෙහි එක් පිළක් ප්‍රධාන වශයෙන්ම යූ. ඇන්.පී., අනෙක යූ.ඇන්.පී. විරෝධියි. ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග දෙක වන එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය පක්ෂවල තනි අයිතියට වෙන් වූ ආණ්ඩු දැන් නිර්මාණය වන්නේ නැහැ. මේ නිසා මෙම ප්‍රධාන දේශපාලන ධාරාවන්වල නායකත්වයෙන් කුඩා පක්ෂ හා සුළු ජාතික පක්ෂ බලය උරගා බලනවා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් සියලුම ප්‍රගතිශීලී හා වාමාංශික කොටස් යූ.ඇන්.පී. විරෝධී පෙරමුණ වටා කවදත් ආකර්ශනය වෙනවා. ඒක යූ.ඇන්.පී විරෝධී පිළ, එක්සත් ජාතික පක්ෂය වටා විශේෂයෙන්ම සුළු ජාතික කොටස් ආකර්ෂණයවීමේ ප්‍රවනතාවක් තමයි පසුගිය සමයේ දක්නට ලැබුණේ. විශේෂයෙන්ම ද්‍රවිඩ වතුකම්කරු කොටස් තොන්ඩමන් මහතා නායකත්වය දරන ලංකා වතු කම්කරු කොංග්‍රසය මෙහිදී ප්‍රධානයි.

එහෙත් පසුගිය සමයේ මේ පෙරමුණු දේශපාලනයේ වඩාත් වාසිය නෙලා ගනු ලැබුවේ යූ.ඇන්.පී විරෝධී පෙරමුණු, පොදු ජන එක්සත් පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය දශක දෙක තුළ පෙරමුණු දේශපාලනයේ ඉදිරියෙන් සිටියා. ඊට හේතුව විවිධ මතධාරී යූ.ඇන්.පී. විරෝධී සියල්ලට එකතුවිය හැකි දේශපාලන කුඩයක් නිර්මාණය කරලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවීම. පොදු ජන එක්සත් පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් එම පෙරමුණු රාජ්‍ය බලය ලබාගත්තා.

මේ නිසාම සමස්තයක් වශයෙන් 1994 සිටම එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ පරාජය. මේ පරාජයෙන් ගොඩ ඒම සඳහා එක්සත් ජාතික පක්ෂය විවිධ දේශපාලන උපක්‍රම ඔස්සේ තම දේශපාලන ගමන යෑමට උත්සාහ කළා. එහෙත් අවසානේ උරුම වුණේ පරාජයක්. යූ.ඇන්.පී. විරෝධීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් බිහි වූ පෙරමුණු ඉදිරියෙන් සිටියා.

එය වෙනස් වුණේ ශ්‍රීලනිප හිටපු මහලේකම් එස්.බී. දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීම නිසයි. එස්.බී. එකතු වුණේ ප්‍රබල ශ්‍රී ලංකාකාරයන් සමඟයි.

මේ නිසා ක්ෂණිකව යූ.ඇන්.පී. විරෝධී පිල දුර්වල වුණා. මේ නිසා 2001 මහා මැතිවරණයට අදාළ වටපිටාව සැකසුනේ එක්සත් ජාතික පෙරමුණ හා පොදු ජන එක්සත් පෙරමුණ ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ සිටියේ මේ ජාලයෙන් පිට වෙනම පක්ෂයක් විදියට. එදා එස්.බී. ඇතුළු කණ්ඩායම පැමිණියේ වෙනම කණ්ඩායමක් ලෙස. ඒත් ඔවුන්ට යූ.ඇන්.පී. හෝ අලියා ලකුණ පිළිබඳව ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔවුන් ආවේම අලියාගෙන් තරග කරන්න. ක්ෂණිකව පැමිණි නිසා ඔවුන් වෙනම කණ්ඩායමක් ලෙස ටික කලක් දේශපාලනය කිරීමේ අදහසින්.

එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණක් ලෙස ස්ථාපිත කරණු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය පුළුල් පෙරමුණකට පරිවර්තනය කරගත්තා. එහිදී ද ඇති වූ අවබෝධය අලියා හා එක්සත් ජාතික පක්ෂය නොවෙනස්ව තබා ගැනීම එදා කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය ඇරඹි එස්.බී.ටත් ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනය පටන්ගත් මහින්ද විජේසේකරටත්, මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනය පටන්ගත් බන්දුල ගුණවර්ධනටත් අලියා හෝ එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්නයක් වුණේ නැහැ.

ඊට හේතුව යූ.ඇන්.පී. අනන්‍යතාව සුරැකකෙන ඡන්ද පදනම ආරක්ෂා කරගෙන මධ්‍යස්ථ ඡන්ද ආකර්ශනය කර ගැනීමට ඔවුන් කටයුතු කළ නිසායි. මේ දේශපාලන උපක්‍රමය ඔවුන්ගේ පැත්තෙන් නිවැරදි බව 2001 රජයක් ලබා ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ වුණා.

මෙදා යූ.ඇන්.පී.ය. සූදානම් වෙන්නේ අලියා හා පක්ෂය අමතක කර යන ගමනක. ගමේ යූ.ඇන්.පී. කාරයන්ට හුරු පුරුදු වූ අලියා මංගල සමරවීර නිසා ඉවත්කර ගැනීමට මෙතෙක් යූ.ඇන්.පී.ය. හා එක් වූ හැම පක්ෂයක්ම අලියාගේ අනන්‍යතාව පිළිගත්තා. ලංකා වතු කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුණ, මනෝගනේෂන් ගේ පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය අලියාගේ අනන්‍යතාව පිළිගත්තා. ඒ කාටවත් නොවූ ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයෙක් ව සිටි එස්.බී. දිසානායකට නොතිබුණ ප්‍රශ්නයක් (ම) පක්ෂයේ නායකයාට ඇතිවෙලා. මේ සඳහා යූ.ඇන්.පී. අනන්‍යතාව වුවද වෙනස් කිරීමට නායකයා සූදානම්.

යූ.ඇන්.පී. විරෝධී පෙරමුණුවලට තිබෙන අනන්‍යතාව යූ.ඇන්.පී. විරෝධී බව එම පෙරමුණුවල දේශපාලන ධාරාවන් වෙනස් වෙන්නේ යූ.ඇන්.පීයට විරුද්ධව, මේ නිසා ඔවුන්ට වෙනස් වන ඡන්ද ලකුණු හා වෙනස්වන පෙරමුණු සොයාගත හැකියි. ඔවුන් පුටුවෙන් ආවත්, බුලත් කොළයෙන් ආවත් එන්නේ යූ.ඇන්.පී. යට විරුද්ධව. ඒත් යූ.ඇන්.පී.ය දිගටම නොවෙනස්ව පැවතියා. දැන් දිගින් දිගටම පරදින යූ.ඇන්.පී. නායකත්වය බලන්නේ යූ.ඇන්.පී. අනන්‍යතාව වෙනස් කර ගන්න.

ඊට හේතුව දේශපාලනයේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න පැත්තක තබා මහින්ද විරෝධය ඉස්මතු කර ගැනීමයි. මංගලට ඇත්තේ මහින්ද විරෝධයක්. හේතුවක් ඇතුව හෝ නැතුව ඔහු මහින්දට විරුද්ධව සටන් පාඨ නිර්මාණය කර ගැනීමට පෙළඹිලා.

මේ නිසා යූ.ඇන්.පී. හා යූ.ඇන්.පී. විරෝධීන් අතර පැවැති ප්‍රතිපත්තිමය දේශපාලන ගැටුම වෙනස් කර මහින්ද රාජපක්ෂ විරෝධයකට යූ.ඇන්.පී. දේශපාලන ලඝු කිරීම (මා) නායකයාගේ උපක්‍රම වෙලා. ඊට යූ.ඇන්.පී. නායකයා ඇතුළු කණ්ඩායමක් එකඟ වීම නිසා යූ.ඇන්.පී. ය ඇතුලේ ගැටුමක් නිර්මාණය වෙලා.

රනිල්ට අවශ්‍ය කෙසේ හෝ දිනන්න. අලියා වෙනුවට ගල් ඉබ්බෙක් වුණත් ඔහුට ප්‍රශ්නයක් නැහැ වගෙයි. දේශපාලන පක්ෂයක් ප්‍රතිපත්ති පැත්තකින් තබා පුද්ගලයෙකුට විරුද්ධව ඒකරාශී වීමත්, ඒ වෙනුවෙන් පක්ෂ අනන්‍යතාවය බිල්ලට දීම එම පක්ෂයට විරුද්ධ ප්‍රතිවිරුද්ධ පක්ෂවලට වාසියක්. ඒත් එම පක්ෂයට ප්‍රශ්නයක්. අද යූ.ඇන්. පී. යේ අභ්‍යන්තර අරගලයට මේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නය හේතු වෙලා.

තොප්පිගලින් කට වරද්දාගත් නායකයා යුද ජයග්‍රහණයේ ජාතික වගකීමෙන් තමන්ට හිමි විය යුතු කොටස එක්සත් ජාතික පක්ෂයට නැති කළා. එහි සම්පූර්ණ අයිතිය ආණ්ඩුව සතු කළා. යූ.ඇන්.පී. කාරයෝ කියන්නේ එහෙමයි. දැන් පක්ෂයත් අලියාත් (මා) නායකයාගේ තනි වුවමනාවට බිල්ලට දීමට පෙරමුණක් හැදීමට උත්සාහ ගැනීම පක්ෂයේ අනාගත නායකයෙකුට ඇති ඉඩකඩ වුව ද අහුරා දැමීමක් වගෙයි ඔවුන් කල්පනා කරන්නේ.

චන්ද්‍රිකාට රැවටී ලැබුණු ආණ්ඩුව නැති කරගත් රනිල් මෙදා මංගලට රැවටී පක්ෂයත් නැති කර පෙරමුණක් අටවා ගැනීමේ උත්සාහයක නිරත වන බව කැරළිකාර කණ්ඩායමේ මතයයි.

ඒත් මහින්ද විරෝධී දේශපාලනයෙන් යූ.ඇන්.පියට හෝ රනිල්ට අත්වන විශේෂ වාසියක් නෑ. මහින්ද විරෝධයට යූ.ඇන්.පී.ය. තල්ලු කිරීම නිසා සිදු වන්නේ මහින්දට සන්ධානයේ පමණක් නොව යූ.ඇන්.පී. කාරයන්ගේ පවා අනුකම්පාව දිනා දීමයි. ඊට හේතුව රට බේරාගත් නායකයා ලෙස මහින්ද පොදුවේ ජනතාව අතර තහවුරු වීමයි. වෛර දේශපාලනයක් පක්ෂයක් අගාදයට දමන හැටි දැක ගැනීමට නම් මේ දිනවල යූ.ඇන්.පී.යේ අභ්‍යන්තර දේශපාලන අරගලය අධ්‍යයනය කිරීම වැදගත්.

මේ නිසා ඔවුන්ට වැදගත් වන්නේ මහින්ද විරෝධී පෙරමුණක් නොව ආණ්ඩුවට එරෙහිව ප්‍රතිපත්ති මත පදනම් වූ යූ.ඇන්.පී. පෙරමුණක්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා