තරුණ විරැකියාව විසඳන වැඩපිළිවෙළක් මාතරට ගේනවා

තරුණ විරැකියාව විසඳන වැඩපිළිවෙළක් මාතරට ගේනවා

මාතර දිස්ත්‍රික් එජනිස අපේක්‍ෂක කංචන විජේසේකර

රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ මහින්ද විජේසේකර මහතාගේ පුත් කංචන විජේසේකර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දකුණු පළාත් සභා මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටී. කංචන විජේසේකර මහතා මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර, ඇමරිකාවේ ශාන්ත මොනිකා, ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලවලින් වානිජ්‍ය, ව්‍යාපාර හා ආර්ථික විද්‍යා උපාධි පාඨමාලා හදාරා ඇත. දෙවිනුවර උත්පලවන්න ශශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධූරයට පසුගිය වසරේ ලාබාලම බස්නායක නිලමේවරයා ලෙස පත්වූ කංචන විජේස්කර මහතා දකුණු පළාත් සංවර්ධනය හා ඉදිරි දැක්ම පිළිබඳ දිනමිණ සමඟ කළ කථාබහකි මේ.

ඔබ මෙවර පළාත් සභාවට තරගකිරීමට සිතුවේ ඇයි?

ඉපදුන දවසේ සිටම මට දැනුණේ දේශපාලනය. මගේ පියා තරුණයකුව සිටියදීයි දේශපාලනය ආරම්භ කර තිබුණේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ඔහු එදා දේශපාලනය කළා. අකුරැස්ස ගොඩපිටිය සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු තාවකාලිකව මගේ පියාට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවුණා.

එහිදී පක්‍ෂයේ අප සමඟ සිටි පාක්‍ෂිකයින් සහ ඉහළ නායකත්වයෙන් ලැබුනු ආරාධනාව සමඟ මට දේශපාලනයට පිවිසීමට සිදුවුණා.

නවකයෙක් ලෙස ඔබ කොහොමද දේශපාලනය දකින්නේ.

මාතර දිස්ත්‍රික්කයේ තරුණයන්ට ඇති ප්‍රධානතම ගැටළුව විරැකියාවයි. එම ගැටළුවට පිළිතුරු ලබාදීමත්, ඔවුන් රැකියා සඳහා පුහුණු කරවීමත් කළ යුතුයි. මගේම පියාත් තරුණ තරුණියන්ට විශාල සේවයක් සිදු කළ අයෙක්.

භීෂණ සමයේ මගේ පියා විශාල තරුණ කොටසකගේ ජීවිත බේරාගත්තා. ඔවුන් වෙනුවෙන් නොමිලේ නඩුවලට පෙනී සිටියා. පියා ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම මගේ බලාපොරොත්තුවයි.

ක්‍රීඩා සඳහා හා පාඨමාලා සඳහා තරුණ තරුණියන්ට අවශ්‍ය අඩුපාඩු හදුනාගෙන ඒවාට දැනටමත් අවශ්‍ය කටයුතු ශක්ති පදනම මගින් සිදුකරනවා. මෙම තරුණ තරුණියන්ට නිවැරැදි නායකත්වයක් ලබාදෙමින් ඔවුන්ගේ ගැටළුවලට නිසි පිළිතුරක් ලබාදීම මගේ අපේක්‍ෂාවයි.

මහ ඇමැති තනතුරට තිබෙන තරගය කෙසේද? ඔබ කොහාමද එය දකින්නේ.

මහ ඇමැති අපේක්‍ෂකයකු තවම නම් කර නැහැ. කණ්ඩායම් නායකයින් පමණයි පත් කර තිබෙන්නේ. මැතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පළාත සංවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම බුද්ධිය තිබෙන නිවැරැදි අයකු මහඇමැති ලෙස පත්කරාවි.

සන්ධානය දකුණු පළාතේත් 80% වඩා ප්‍රතිශතයක් ගන්නා බවට සමීක්‍ෂණ වාර්තා පවසනවා. ඒ පිළිබඳ ඔබ මොනවද කියන්නේ.

මෙවැනි ප්‍රතිශතයක් ගතහැකි බවට සමීක්‍ෂණ මගින් හෙළිවී තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද සටනේ සිටින බවක් අපට පෙනෙන්නේ නැහැ. වෙන මැතිවරණවලදී විපක්‍ෂයේ තිබූ තියුණු බව නැති වී ඇල්මැරුණු ස්වභාවයක් දකුණේ තියෙන්නේ. දෙපක්‍ෂයේම ක්‍රියාකාරුවන් රොක් වී සිටින්නේ සන්ධානය වටායි. දකුණ ද සංවර්ධනය කළ හැක්කේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බව ජනතාව හදුනාගෙන තිබෙනවා. එය මෙයට පෙර පැවති පළාත් මැතිවරණ ලබාගත් විශිෂ්ඨ ප්‍රතිඵල තහවුරු කර තිබෙනවා.

මනාප පොරය කොහොමද? මනාප පොරයේ ඔබත් සිටිනවාද?

මනාප පොරයේ සිටීමට මට අවශ්‍යතාවයක් නැහැ. මගේ පියා දිගු දේශපාලන ගමනක් පැමිණි අයෙක්. දකුණේ ජනතාවගේ නොමද විශ්වාසය එතුමා කෙරෙහි තිබෙනවා.

විපක්‍ෂයේ 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ එතුමා ආණ්ඩු පක්‍ෂයට ගියේ ජනාධිපතිතුමාගේ නිවැරදි ගමන්මගට සහය දීමටයි. අද එය ඉටුවී තිබෙනවා. ජනතාව මේ තීන්දු තීරණ දෙස කාලයක් පුරා බලා සිටිනවා.

පියා තරුණයින්ට විශාල වැඩ කොටසක් කළා. විරැකියාව යම් ප්‍රමාණයකින් නැති කළා. අප සමඟ සිටින පාක්‍ෂිකයන් වෙනස්වන අය නොවෙයි. ඒ නිසා මට මනාප පොරයට වැටීමට අවශ්‍ය නැහැ. මට මනාප තරගවල උණුසුම් ස්වභාවයක් පෙනෙන්නේ නැහැ. සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට 80% කට වඩා විශිෂ්ට ජයක් ලබාදී ජනාධිපතිතුමා රට වෙනුවෙන් කළ කාර්යභාරයට කළගුණ සැළකීමට දකුණේ අපි සූදානම්ව සිටිනවා.

ඔබ තේරී පත්වුවහොත් ඉදිරි වැඩපිළිවෙළ කුමක්ද?

මගේ් පියා රැකියා ලක්‍ෂ ගණන් ලබාදී තිබෙනවා. මාහටද ඇති සබඳතා අනුව තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට උත්සාහ කරනවා.

ඩී. එෆ්. සී. සී. බැංකුව, වෙස්ටන් යුනියන් ආයතනය, තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ කර තැපැල් දෙපාර්තමේන්තුව පාඩු නොලබන ලෙස ක්‍රියා කිරීමට මගේ පියාට හැකි වුණා. එම අභාසය මටත් තියෙනවා. පරිගණක අංශය සඳහා තරුණ තරුණියන් යොමු කරවීමට වැඩපිළිවෙළක් දැනටමත් මම ගොඩනංවා තිබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තරුණ ගැටළු හොඳින් හදුනාගත් අයෙක්. මහින්ද චින්තනය උපයෝගී කොටගෙන තරුණ ගැටළුවලට විසැඳුම් ලබාදීමට මා කැපවෙනවා. අලුත් තරුණ පිරිස් ඒකරාශී කරගනිමින් නව දේශපාලන වැඩසටහනක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ලාබාලතම අපේක්‍ෂකයකු ලෙස සහ නවකයකු ලෙස ඔබේ ඉදිරි ගමන ගැන කතා කළොත්

ජනාධිපතිතුමා දකුණෙන් බිහිවූ නායකයෙක්. මගේ පියාගේ විශ්වවිද්‍යාල මිතුරෙක්. එතුමාගේ දේශපාලන ගමන ආරම්භයේදී මගේ් පියා ශිෂ්‍ය කථිකයකු ලෙස කටයුතු කර තිබෙනවා. මගේ පියාගේ වසර ගණනක මිතුරකු වන ජනාධිපතිතුමාගේ අදහස් හා සිතුම් මමත් හොඳින් හදුනාගෙන සිටිනවා. එතුමා නිවැරැදි ගමන් මඟක ගමන් කරනවා. එතුමාගේ වැඩ පිළිවෙළට සහය දීමට ලැබීම භාග්‍යයක් ලෙස මම දකිනවා.

නොසිතූ වෙලාවක ආරම්භ කළ මගේ ගමන් මඟ දකුණේ තරුණ තරුණියන්ට ශක්තියක් වෙමින් රට සංවර්ධනාත්මක ගමන් මඟක ගෙනයන මහින්ද රාජපක්‍ෂ මහතාට තරුණ ශක්තියක් හා ජවයක් ලබාදීමට මා අපේක්‍ෂා කරනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා