දකුණේ මැතිවරණ ප්‍රතිඵලය විපක්ෂයට අකුණු සැරයක් වෙයි

දකුණේ මැතිවරණ ප්‍රතිඵලය විපක්ෂයට අකුණු සැරයක් වෙයි

මාතර දිස්ත්‍රික් එජනිස අපේක්ෂක ක්‍රිෂාලි මුතුකුමාරණ

දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ක්‍රිෂාලි මුතුකුමාරණ මහතා මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ්ක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටී. 1997 පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය ලබා මාතර දිස්ත්‍රික්කයේ ලාබාලතම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස දේශපාලනයට පිවිසි ඔහු වෘත්තියෙන් රජයේ විද්‍යා හා ගණිත ගුරුවරයෙක් ද විය. මහින්ද චින්තනය බලගන්වමින් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තම අනාගත වැඩපිළිවෙළ ඔහු මෙසේ පැහැදිලි කළේය.

ඔබේ දේශපාලන ගමන් මගේ මතක සටහන් අවදි කළහොත් ?

මා දේශපාලන භූමියට ප්‍රවේශ වූයේ 1997 දී ගුරු සේවයේ් යෙදෙන අතර තුර පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසයි. ඒ අවස්ථාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය ලබා මාතර දිස්ත්‍රික්කයේ ලාබාලතම සභාපතිවරයා ලෙස මා පත් වුණා. එතැන් සිට මේ දක්වා සෑම පළාත් පාලන මැතිවරණයකදීම ප්‍රදේශයේ වැඩිම මනාපය ලබා ගනිමින් අඛණ්ඩව සභාව නියෝජනය කරන අතර සභාපති විපක්ෂනායක ආදී තනතුරු තුළ දික්වැල්ල ජනතාවගේ පූර්ණ සහාය ලබා ගනිමින් සේවයේ නියැලී සිටිනවා.

වත්මන් සභාපතිවරයා ලෙස ප්‍ර‍්‍රාදේශීය සභාවේ පාලනය භාර ගැනීමේදී ඔබ මුහුණ දුන් විශාලතම අභියෝග මොනවාද ?

වත්මන් සභාපතිවරයා ලෙස මට භාර ගැනීමට තිබුණේ ඒ වන විට සුනාමියෙන් මුළුමනින්ම විනාශයට පත්ව තිබූ දික්වැල්ල නගරය පුනරුත්ථාපනය කිරීමේ වගකීමයි. ඒ වගේම ඊට කලින් එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ සැලසුමකින් තොරව ගෙන ගිය පාලනය නිසා විසැඳුමකින් තොර මහජන ප්‍රශ්න රාශියක වගකීම භාර ගන්නට සිදු වී තිබුණා. විශේෂයෙන්ම ප්‍රදේශයේ කැලි කසළ ප්‍රශ්නය හා තදාසන්න උප නගර සංවර්ධනය නොසලකා හැර තිබුණා.

මේ නිසා මා විධිමත් සැලසුමක් මත නගරය යළි ගොඩ නැගීම මෙන්ම ඊට සමගාමීව ප්‍රදේශයේ වෙනත් ජනතා ප්‍රශ්නවලට විසැඳුම් සකස් කර මේ වන විට ප්‍රාදේශීය සභා සංකීර්ණය, පුස්තකාලය, සති පොළ ඇතුළු අත්‍යාවශ්‍ය ආයතනවල ඉදිකිරීම් අවසන් කරමින් පවතිනවා. ගරු ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ දේශපාලන නායකත්වය හා උපදෙස් සහ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගම නැගුම සංකල්පය අප සභාවටත් ජනතාවටත් යෝධ ශක්තියක් වෙලා. මේ නිසා සභාපතිවරයා ලෙස භාරගත් අභියෝගවලින් සියයට 90 ක් පමණ ජයග්‍රහණය කර තිබෙනවා.

මෙවර පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය ලද හොත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් මොනවාද ?

මම පළාත් සභා දේශපාලනයට පා තැබීමේ අපේක්ෂාවෙන් සිටි අයෙක් නොවෙයි. නමුත් සාර්ථක ලෙස දකුණේ ප්‍රාදේශීය සභාවක් මෙහෙයවමින් ජනතාවට උපරිම ලෙස සිදු කරන සේවය ආසන්න නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ලෙස අතිගරු ජනාධිපතිතුමා දැනුවත් වී සිට තිබෙනවා. ඒ අනුව එතුමා ගේ ආශිර්වාදය සහිත ආරාධනය ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා මා වෙත යොමු කිරීමේ ප්‍රතිඵලය තමයි මගේ අපේක්ෂකත්වය හිමි වීම.

1997 සිට මේ දක්වා මා ලැබූ දේශපාලන ජයග්‍රහණයන් හා ඒ තුළ ක්‍රියාත්මක වීමෙන් මා විශාල අත්දැකීම් සම්භාරයක් ලබා තිබෙනවා. ඒ වගේම පරිණත බුද්ධියකින් යුත් ප්‍රදේශයේ විශ්‍රාමිකයින් පිරිසක් හා විවිධ තනතුරු දරන උගත් පිරිසක් මගේ මිත්‍රයින් ලෙස මා සමඟ එක්ව සිටිනවා. ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් විශිෂ්ටයි. වත්මන් ජනතා සේවාවන් සාර්ථක වීමේත් රහස එයයි.

මා හිටපු රාජ්‍ය සේවකයෙක් ලෙසත් පෙර දැක්වූ පිරිසගේ අත්දැකීම්ද එක් කරමින් මහින්ද චින්තනය හරහා රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙන්ම රටේ ජීවනාලිය වන තරුණ පරපුරේත් ශිෂ්‍යයින්ගේත් අභිවෘද්ධිය සඳහා පළාත් සභාව තුළ හඬක් නගනවා. ඒ තුළින් ලබා ගත හැකි සම්පත් හා මධ්‍යම රජයේ වගකිව යුතු අමාත්‍යතුමන්ලා හරහා දකුණේ පොදු ජනතාව වෙත ලබා දිය හැකි උපරිම සේවය ලබා දෙනවා. එහිදී මා දේශපාලන පක්ෂ, පාට, කුල හා පන්ති භේද අමතක කර ජනාධිපතිතුමා විටින් විට තරුණ දේශපාලනඥයින්ට දී ඇති උපදෙස් අනුව යමින් ක්‍රියා කරනවා.

තරගකාරී විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය මෙවර දකුණු පළාත් සභා මැතිවරණ සටන තුළ ක්‍රියාත්මක වන ආකාරය ඔබ කෙසේ තක්සේරුවට ලක් කරනවාද ?

එම පක්ෂ දෙකටම තිබූ ගමේ ඡන්ද පදනම විනාශ වී හමාරයි. අද ජනතාව තුළ කවර කාලයකටත් වඩා ජාතික හැඟීම හදවත් තුළ කිඳා බැහැලා. දැන් ජනතාව බලන්නේ අතීතයේ මැතිවරණ කාලවලදී බැලූ කෝනයෙන් නොවෙයි. ඔවුන් පක්ෂ, පාට හෝ සුන්දර කතාවලට නැඹුරුවක් නෑ. ජාතියටම, රටටම පොදු වසංගතයක් වූ දරුණු ත්‍රස්තවාදයෙන් ජනාධිපතිතුමා ජනතාව මුදා ගත්තා.

මෙය කිසි විටෙක ජනතාව අවතක්සේරුවට ලක් කරන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ හා එහි නායකත්වයේ නොහැකියාවත් ජනතා විමුක්ති පෙරමුණේ දුර්දාන්ත භාවයත් ජනතාව හොඳින්ම දන්නවා. ඒ පක්ෂ දෙකේ බුද්ධිමත් පාක්ෂිකයෝ සිය දහස් ගණනින් ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිගනිමින් සන්ධානය වටා රොක් වෙන්නේ ඒ නිසයි.

ඒ අනුව මෙවර දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය ඔවුන් දෙගොල්ලාටම බක්මහ අකුණක් වේවි !

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා