දකුණු පළාත් සභා මන්ත්‍රීධුර 53න් 40ක්ම සන්ධානයට

දකුණු පළාත් සභා මන්ත්‍රීධුර 53න් 40ක්ම සන්ධානයට

අලුත්ම සමීක්‍ෂණ වාර්තාවක් හෙළි කරයි

දකුණු පළාත් සභාවේ මන්ත්‍රී ධුර 53න් 40ක ජය නියත වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බව සමීක්‍ෂණ වාර්තාවලින් හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

මේ වන විටත් දකුණු පළාත තුළ පාවෙන ඡන්ද 6%ක් තිබෙන බව එම සමීක්‍ෂණ වලින් හෙළි වී ඇති බවත්, ඉදිරි දින තුන තුළ එය දිනා ගනිමින් මන්ත්‍රී ධුර සංඛ්‍යාව තවත් දෙකකින් වැඩිකර ගැනීමට උත්සාහ ගන්නා බවත් හෙතෙම කීය.

’දකුණ සමඟ පෙරට’ තේමාකර ගනිමින් මාතර දිස්ත්‍රික් ප්‍රධාන මෙහෙයුම් මුලස්ථානයේ ඊයේ (7) පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය. මේ අනුව ලංකා මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික මෙන්ම විශිෂ්ටම ජයග්‍රහණය 11 වැනි දින උදේ වන විට දකුණු පළාතෙන් හිමි වන බවද ඒ මහතා සඳහන් කෙළේය.

දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු මැතිවරණ ප්‍රතිඵලය රාත්‍රි 11 පමණ වන විටත් මනාප ප්‍රමාණය උදෑසන 6.00 වෙනකොටත් ලබාදීමට හැකි වනු ඇතැයි ද ප්‍රවාහන ඇමැතිවරයා එහිදී අවධාරණය කෙළේය.

මේ වන විට ඉතා සාමකාමී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පැවැත්වීමට තමන්ට හැකි වී තිබෙන බව ද අලහප්පෙරුම මහතා කීය. කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට විරුද්ධව මඩ පෝස්ටර්, දැන්වීම් පුවරු යොදා ගනිමින් බාල ගණයේ මැතිවරණයකට තමන් නොගිය බවත් කෙසේ හෝ ගන්නවා කියන මතයේ අප නොසිටි බවත් අපට අවශ්‍ය බලය වැදගත් ලෙස ගැනීම පමණක් බවත් ඒ මහතා කීය. ඇමැතිවරයා මෙසේද කීය. අද වන කොට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 16 න් 10ක මන්ත්‍රීවරු අප සමඟ එක් වී සිටිනවා.

ඒ අතර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායකවරු 05 දෙනෙක් ද සිටිනවා. මේ අය එජනිසට එකතු වන්නේ එාජපය ගැන කළකිරිලා නෙවෙයි. එජාපය මේ මොහොතේ දරන මතය රටට අහිතකර නිසයි. කිසිදු මන්ත්‍රීවරයෙක් වරප්‍රසාද තාන්නමාන්න බලාගෙන අප සමඟ එක් වී නැහැ. දශක තුනක පමණ කාලයක් එජාපයේ ප්‍රබල ක්‍රියාකාරීන් ලෙසයි මේ පිරිස කටයුතු කර තිබුණේ. එවැනි පිරිසක් රට ගැන හිතලා අප සමඟ එක්වීම ගැන අප ගරු කරනවා.

අප ලබාගන්නා ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී. ල. නි. ප. සතු ජයග්‍රහණයක් පමණක් නොවෙයි. ශ්‍රී ලාංකිකයන් ලෙස ලබා ගන්නා ජයග්‍රහණයක් ලෙසයි අප එය දකින්නේ. ලෝක ප්‍රජාවම දකුණේ මැතිවරණය දිහා බලාගෙන ඉන්නවා. සමහරු අපගේ රණවිරුවන්ට ගරහමින් ඉන්නවා. චැනල් 4 නාළිකාව කළා සේ ඇතැමුන් බොරු ප්‍රචාර ගෙන යමින් අප රට විනාශ කරන්න හදනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා