කොටි ත්‍රස්තවාදය විනාශ කළ ද යුද්ධයේ සෙවණැලි තාමත් තිබෙනවා

කොටි ත්‍රස්තවාදය විනාශ කළ ද
යුද්ධයේ සෙවණැලි තාමත් තිබෙනවා

- ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ

කොටි ත්‍රස්තවාදය විනාශ කර යුද්ධය අවසන් කළ ද යුද්ධයේ සෙවණැලි තවමත් අවසන් වී නැතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපද්ශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අලුයට තිබෙන ගිනි පුපුරු වගේ වරින් වර යුද සෙවණැලි මතු වෙමින් තිබෙන බවද හෙතෙම කීය.

දකුණු පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පෙරේදා (06) මුලටියන පොදු ක්‍රීඩාංගණයේ පැවැති ජන රැලියකට එක්වෙමින් මන්ත්‍රීවරයා එසේ සඳහන් කෙළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හක්මන ආසනයේ සංවිධායක ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ ජන රැලිය සංවිධානය කර තිබිණි.

යුද්ධය අවසන් කර රටට සාමය ගෙනා සේ ආර්ථික අතින්ද රට සංවර්ධනය කිරීමට නම් ජනාධිපතිතුමාට ශක්තිය අවශ්‍ය යැයි පැවසූ මන්ත්‍රීවරයා මෙවර දකුණු පළාතේ් බලයද එතුමන්ට ලබාදී එතුමන්ගේ දෑත ශක්තිමත් කරන්න යැයිද ඉල්ලා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

දකුණු පළාත් සභා මැතිවරණයේ ජය තහවුරු කිරීමේ රැලියකට මා සහභාගී වූ පළමු වතාව මෙයයි. මෙය අවසාන එකත් විය හැකියි. මට දකුණට එන්න ඉඩක් නැත්තේ ජනාධිපතිතුමා යුද්ධය නිමා වීමත් සමග මට වගකීමක් බාර දුන් නිසායි. ඒ යුද්ධය නිසා සංවර්ධනය නොවුන නැගෙනහිර හා උතුර සංවර්ධන කර දීමයි.

‘නැගෙනහිර නවෝදය’ ‘උතුරු වසන්තය’ වැඩසටහන් යටතේ උතුරු නැගෙනහිර සංවර්ධනය කරමින් සිටිනවා. ධීවර, කෘෂි, සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත මෙම ප්‍රදේශ වල දියුණු වෙමින් තිබෙනවා. පාලම්, බෝක්කු, පාරවල්, රෝහල්, පාසල්, රාජ්‍ය ආයතන ඉදි වෙමින් තිබෙනවා. බොහෝමයක් ඉදි කර අවසන්කර ජනතාවට භාරදී තියෙනවා. පානීය ජලය, විදුලිය, සන්නිවේදන පහසුකම් ලබාදී තිබෙනවා. පසුගිය දින තුනේ් නිවාඩුවට නිලාවේලි, සේරුවාවිලට, කෝනේෂ්වරම් වලට ලක්ෂ ගණනක දකුණේ ජනතාව පැමිණියා.

ඔවුන් ජනාධිපතිතුමාට කියලා තියෙනවා ඒ පැති වල යුද්ධයක් තිබුණාද කියලවත් හිතා ගන්න බැහැ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති ලෙස පත් වෙන කොට එතුමන්ට මුහුදෙන් හා භූමියෙන් 1 / 3 ක බලය ලැබුණේ නැහැ. ඊට හේතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රභාකරන්ට සාම ගිවිසුමක් මගින් භාරදී තිබුණා.

ජනාධිපතිතුමා නිසි වේලාව බලා රණවිරුවන් සමඟ එකතු වී රට සතුරාගෙන් මුදා ගැනීමේ සටන ආරම්භ කළා සේම කෙටි කලකින් අවසන් කරන්නත් සමත් වුණා. දකුණේ අප යුද්ධය නිසා බැට කෑවා. බසයක යන්න බෑ.

පාසල් ගිය දරුවා ගෙදර එනකම් විශ්වාස නැහැ. පාරක බැහැලා යන්න බැහැ. ත්‍රස්තවාදියා බෝම්බයක් පුපුරුවලා දහස් ගණන් බිලි ගන්නවා. ත්‍රස්තවාදියාට වයස් භේදයක් ජාති ආගම් තනතුරු ගරු නම්බුනාම බැලුවේ නැහැ. කවුද හමුවුණේ ඔහු හෝ ඇය මරා දැමුවා. දහස් ගණන්ජීවිත නැති වුණා. දේපළ අහිමි වුණා. අද ඒ තත්ත්වය සහමුලින් වෙනස් වෙලා සතුටෙන් සාමයෙන් ජීවත් වීමට ඉඩ ලැබී තියෙනවා. දෙමළ ජනතාව නිතර මුණ ගැසෙන කතා කරන පුද්ගලයෙක් ලෙස මට ඔවුන් කියන දේ ඇසුවම පුදුම හිතෙනවා. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය නිසා අපිටත් වඩා ඔවුන් බැට කා තිබෙනවා.

උතුරු නැගෙනහිර පාසල් දරුවෝ ඉගෙන ගත්තේ අපේ පාසල් වල. අප ලබා දෙන පොත් වලින්. අප තියෙන විභාග වලටයි මුහුණ දෙන්නේ. එහෙත් ඔවුන් ලංකා සිතියම දැකලා නැහැ. සිතියම අඳින්න කිව්වම ඇන්දේ ඊලාම් සිතියම. හැබැයි ජනාධිපති කවුද කියලා ඇහුවම අපේ ජනාධිපතිතුමාගේ නම කියනවා. ඊට හේතුව ත්‍රස්තවාදීන් ජනාධිපතිතුමා හඳුන්වා දී තිබුණේ දෙමළ මිනිස්සු මරන්න ඔවුන්ගේ රට උදුරගන්න එන පුද්ගලයෙක් ලෙසයි. අද එම පිරිසට සැබෑ තත්ත්වය අවබෝධ වෙමින් තියෙනවා. තවත් වසර 2500 කට නැවත යුද්ධය එන්න ඉඩ දෙන්නේ නැහැ. එය කරන්න නම් දැනට සැඟවී සැඟවී ත්‍රස්තවාදී ක්‍රියා කරන්න උත්සාහ ගන්න පිරිස් සොයා ගන්න ජනතාවගේ සහාය අවශ්‍යයි.

ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා - හක්මන ආසනය ඉතා වාසනාවන්ත ආසනයක් බවට පත්වෙලා තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හක්මනට පැමිණියා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා මුලටියනට පැමිණියා. අපේ පක්ෂයේ නායකයන්ගේ විශේෂ අවධානයක් විශේෂ බැලීමක් මේ ප්‍රදේශයට තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීමක් ගමක පැවැත්වුවා. ඒ ඇඹිලිපිටියේය. මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය නගරයේ තිබුණු සෑමදෙයක්ම ගමට ගෙනාවා.

අද අපි දකුණු පළාත් පුරවැසියන් විධියට නිවැරැදි තීන්දුව ගන්න සූදානම් වෙලා ඉන්නවා. දකුණු පළාත් සභාවට මන්ත්‍රීවරු 53 ක් තෝරා ගන්නවා.

ගාල්ලෙන් 23 ක්, මාතරින් 18 ක් හම්බන්තොටින් 12 ක් වශයෙන්. හැබැයි මේ පනස් තුනෙන් (53) මේ කතාකරන වෙලාව වනවිට හතළිස් එකක් (41) තියෙන්නේ සන්ධානයේ බව මා ප්‍රකාශ කරනවා. ආයෙමත් වෙනස් කරන්න දෙයක් නැහැ.

අපට දේශපාලන පක්ෂ පාට අවශ්‍ය නැහැ. අපට ජීවත්වෙන්න රටක් අවශ්‍යයි. අපේ දරුවන්ට රටක් අවශ්‍යයි. ඒ නිසා මේ අවස්ථාවේ ඉතාමත් බුද්ධිමත්ව සිතා බලා හොඳ තීරණයක් ගන්නා ලෙස මා දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - වසර 30 ක් පුරා මෙරට වෙලාගෙන තිබුණු යුද්ධය සහමුලින් විනාශකර දමන්න ජනාධිපතිතුමාගේ උපදෙස් මත වීරෝදාර රණවිරුවන්ට හැකිවුණා.

එය දකුණු පළාත් ජනතාවට අමතක නැහැ. අමතක කරන්නෙත් නැහැ. එය මතකයේ තබාගෙන මෙවර ඡන්දය භාවිතා කළ යුතුයි. ඒ වගේම අප දකුණේ මැතිවරණයේදී අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම දකුණේ් ශක්තිය පෙන්විය යුතුයි.

දකුණේ ජනතාව ගන්නා තීරණය බුද්ධිමත් ලෙස ගෙන දකුණට ඉහළම ජයග්‍රහණයක් ලබාදෙන්න යැයි ඉල්ලා සිිටිනවා.

ඌව පළාත් සභාවේ මහ ඇමැති ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා - අනෙක් පළාත් සියල්ලේ මැතිවරණ තියා අවසානයි. එම පළාත්වල ජනතාව තම යුතුකම මැනවින් ඉටුකර තියෙනවා. පළාත්සභා මැතිවරණවල අවසාන මැතිවරණය 10 වැනිදා දකුණේ පවත්වනවා.

ජනාධිපතිතුමා මේ මැතිවරණය පවත්වන්න තීරණය කරන්න ඇත්තේ මේ පළාතේ ජීවත්වන ජනතාවගේ දැඩි විශ්වාසයක් තබාගෙනයි. ඒ වගේම මේ පළාතේ ජනතාව කෙරෙහි වැඩි ආදරයක් තියන නිසා වෙන්න ඇති. ඒ නිසා මේ මැතිවරණය ඉතා සුවිශේෂි වූ මැතිවරණයක් හැටියට හඳුන්වන්න පුළුවන්.

ජනාධිපතිතුමා ඕනෑම වගකීමක් භාරගන්න නායකයෙක්. ඒ වගේම එතුමා අකුරටම ඉටු කරන බව ද කිව යුතුයි. දකුණේ් මිනිස්සු වශයෙන් අප එතුමාට අපේ ශක්තිය උපරිම ලෙස ලබාදිය යුතුයි.

දකුණු පළාත් සභා අපේක්‍ෂක සරත් යාපා අබේවර්ධන මහතා - සියයට 80 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙන්න කටයුතු කරන ලෙස අපේ ජනාධිපතිතුමා අපෙන් ඉල්ලා තිබෙනවා. එය ඉටුකරන්න අපි සියලුම කටයුතු මේ වන විට කර හමාරයි.

මාතර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකින්ම අපට වැඩිම ඡන්ද ලැබෙනවා. අපේ ජනාධිපතිතුමා සිටින තාක් කල් විපක්‍ෂයට ඡන්ද කරලා වැඩක් නැහැ. ඒ වගේම එතුමා දේශපාලනයේ සිටිනතුරු අප දිවිහිමියෙන් එතුමා සමඟ වැඩ කරන්න සූදානම්.

දකුණු පළාත් සභා අපේක්‍ෂක මහින්ද ඊශ්වරගේ මහතා - අද අපට විශාල වගකීමක් තියෙනවා. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ඉටුකර දීම ඒ වගකීමයි. දකුණු පළාත් සභාවෙන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වන ඡන්ද ප්‍රතිශතය ලබාගැනීම අපේ අරමුණයි.

එය ඉටුකර දීමට දකුණු පළාතම සූදානම් බව ද කිව යුතුයි.

වරාය සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා, මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය, වයඹ පළාත් ඇමැති අශෝක වඩිගමංගාව, පළාත් සභා අපේක්‍ෂක ඩැනී අබේවික්‍රම මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා