නැවත පදිංචි කිරීම්වලට සහාය නොදී ශ්‍රී ලංකාව විවේචනය කරන්න අයිතියක් නෑ

නැවත පදිංචි කිරීම්වලට සහාය නොදී
ශ්‍රී ලංකාව විවේචනය කරන්න අයිතියක් නෑ

- අගමැති රත්නසිරි වික්‍රමනායක

නැවත පදිංචි කිරීම්වලට සහය නොදී ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නොව ලොව කිසිදු රටකට අයිතියක් නැතැයි අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා අවධාරණය කෙළේය.

අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා මේ අදහස් පළකර සිටියේ හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාරයට අයත් අගලවත්ත යටියන සී.ටී.කේ.ඇපරල් ආයතනය විවෘත කිරීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍ර‍්‍රමනායක මහතා මෙසේද පැවැසීය.

හයිඩ්‍රාමනි ආයතනය ලංකාවට කීර්තියක් ගෙන දෙමින් කර්මාන්ත ශාලා මේ ප්‍රදේශයේ ඉදිකිරීම ගැන ස්තුතිය පළකළ යුතුයි. මේ කර්මාන්ත ශාලාව රැකගැනීම සේවකයන්ගේ යුතුකමක්. සේවකයෝ කර්මාන්තයේ හවුල්කරුවන් ලෙස කටයුතු කළ යුතුයි.

පරිසරයට හිතවත් කර්මාන්ත ශාලා බිහිකිරීම අද යුගයේ අවශ්‍යතාවක්. දියුණු වූ ලෝකය පරිසරය ගැන කල්පනා නොකර කර්මාන්ත යුගයකට ගියා. එයින් පාඩු විඳින්නේ අපියි. කියොටා සම්මුතිය හොඳ දෙයක්. නමුත් ඒක යටතේ ඉදිකරන ලද අරමුදලට අවශ්‍ය මුදල් තැන්පත් කිරීම් දියුණුව කරාගිය රටවල් කෙළේ නැහැ. දැන් නැවත වරක් නිව්යෝර්ක් ගිය වෙලාවේ මම යෝජනා කළා අරමුදලක් ඇතිකරන්න හැබැයි ගෙවන්න ඕනෑ කියලා කිව්වා.

මෙහෙයුම් අවසන් වෙලා ඉන්න වෙලාවේ අපි ආහාරවලින් ස්වයංපෝෂිත වියයුතුයි. ඒ පළවෙනි අභියෝගය, මුං ඇට පවා පිටරටින් ගේන්නේ. අපි ඒ යුගය අවසන් කළ යුතුයි. දෙවැනි එක විදේශීය විනිමය ගෙන එන මේ කර්මාන්තශාලා ඇතිකළ යුතුයි. වතුකරය පවත්වා ගෙන යෑමට බැරි තත්ත්වයක් උදාවෙයි. මෙවැනි කර්මාන්තශාලාවල වැඩිපුර පඩි ගෙවන කොට ඒ අයටත් සිදුවෙයි වැඩිපුර පඩිගෙවන්න. වැඩිපුර ගෙවන තැනට යෑම සාධාරණයි. ඒ නිසා වතු ක්ෂේත්‍රයත් දියුණු කළ යුතුයි. ඉදිරියට කොයි සේවකයත් සැප සම්පත් ඇතිව ජීවත්වෙන්න බලන්නේ. එය මනුෂ්‍ය අභිලාශයයි.

ශ්‍රී ලාංකිකයන් විශාල බලාපොරොත්තුවක් තබා තිබෙනවා ලබාගත් නිදහසේ ඵල වැඩි කලක් යෑමට පෙර ලැබෙයි කියලා. අප රට ඒ කරාගෙන යනවා. නැවත වරක් මේ වගේ ත්‍රස්තවාදය ඇති නොවීමට ඉඩ සැලසීම අපේ අරමුණයි. ඒ ක්‍රියාදාමය ඇති කිරීම අප සතුයි.

එක්සත් ජාතීන්ගේ ලේකම් වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියා ලංකාවේ වෙනදේ සුපරීක්ෂාකාරීව බලා ඉන්නවා කියලා. අපි ඉන්නේ එතරම් සතුටුදායක තත්ත්වයක නොවෙයි කියලත් කිව්වා.

ඊට පස්සේ මම කතා කළා. මම කිව්වා අපි දියුණු වෙන රටක්. අපිට සෑම සම්පතම නැහැ. අපි ලෑස්තියි මේ තාවකාලිකව ඉන්න අය හෙට වුණත් ගෙනියන්න. මොනවාද අපට ඇති බාධා අවහිරතා බිම් බෝම්බ වළලා තිබෙන මේ පොළොව මුළුමනින්ම නිදහස් කළ යුතුයි.

දෙවැනි එක ඒ අයට යන්නට ගෙවල් සෑදිය යුතුයි. ඇස්තමේන්තු කර තිබෙන හතළිස් අටදාස් නවසිය තුනක් ගෙවල් සෑදිය යුතුයි. අඩුම ගානේ ගිහින් මාස හයක් යනකම් බලාගන්න ඕනෑ. කව්ද මේවා කරන්නේ සල්ලි දෙනවානම් මේවා කරන්න පුළුවන් පහුවෙනිදාටම. එසේ කිව්වාහම අපිත් ආර්ථික වශයෙන් ආධාරයට ඉන්නවා කියලා. එක්සත් ජාතීන්ගේ ලේකම් කියනවා මම කිව්වා තමුන්නාන්සේලා මුහුණ දීලා තියෙන තත්ත්වයට තමා අපිත් මුහුණ දීලා තිබෙන්නේ. අවශ්‍යතාව ඕනෑකම තිබෙනවා. ඒත් බාධාවක් තිබෙනවා. නිකන් විවේචනය කරලා විතරක් වැඩක් නැහැ. බාධාවන් ඉවත් කිරීමට කටයුතු කළයුතුයි.

කිසිම රටකට අයිතියක් නැහැ මේ විදිහට ප්‍රසිද්ධියේ අපව විවේචනය කරන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මම කිව්වා. අමෙරිකා ජනාධිපතිතුමා හමු වූ වෙලාවේත් මෙම තත්ත්වය පැහැදිලි කර දුන්නා.

ඒක අපේ යුතුකමක්. බිම් බෝම්බ ඉවත් කරන්න මැෂින් 10 යි තිබෙන්නේ. ඒ දහය මදි. කුලියට හරි අපට අරන් දිය යුතුයි. අපි යන ගමන වේගය අඩුයි ඒ අය කියනවා අපිට අඩුගාණේ සම්පත් දියයුතුයි. ඒ සම්පත් ගන්න මුදල් දියයුතුයි. අපි දුප්පත් රටවල්වලට අයිති රටක්. තත්ත්වය පැහැදිලි කළාම පපුවේ තෙත ගතිය අනුව මුදල් දෙන්න බැරිනම් විවේචනය කිරීම නතර කළ යුතුයි.

වුණමනාවෙන් ම ඇතැම් කොටස් රටේ අභ්‍යන්තරයෙනුත් බාහිරිනුත් රටේ කීර්ති නාමය නැති කරන්න හදනවා. ඒවාට පැළවෙන්න දියයුතු නැහැ ශ්‍රී ලංකාව ඉන්නේ ලෝකයේ. ලෝකයේ සිටින්නේ ලංකාව. ඒ නිසා ජාත්‍යන්තරයේ හැගීම් ගැන අපි දැඩි සැලකිල්ල යොමුකළ යුතුයි. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආත්ම ගෞරවයෙන් ජීවත්වීමට ඉඩසැලසීම අපේ අරමුණයි.

කර්මාන්ත සංවර්ධන ඇමැති කුමාර වෙල්ගම මහතා

මීට අවුරුදු 15 කට පෙර මට මතකයි අක්කර 05ක් විතර මේඉඩම කඩලා මහජනතාවට පදිංචි වෙන්න දෙන්න කියලා මට යෝජනා ආවා. නමුත් එය මම ක්‍රියාත්මක කෙළේ නැහැ. මම දැනගත්තා මේ ඉඩමෙන් ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ප්‍රාදේශීය ලේකම්ට කිව්වා කිසිම දේකට දෙන්න එපා මෙය කර්මාන්ත ශාලාවකට යොදාගත හැකි බව එදා ගත්ත තීරණය නිවැරැදියි.

අපිට ඉතා සන්තෝෂයි මේ ප්‍රදේශයේ දරුවන්ට රැකියා බොහෝමයක් (650ක්) පමණ උදා වී තිබෙනවා. එය එක් දහස් එකසිය දක්වා වැඩිකරන්න කළමනාකාරිත්වය බලාපොරොත්තු වෙනවා.

අපේ පස්දුන් කෝරලයේ කර්මාන්ත ශාලා තිබුණත් මේ කර්මාන්ත ශාලාව ඉන් ප්‍රථම ස්ථානය ගන්නවා. අපිට අවශ්‍ය දේශීය නිෂ්පාදන, මේ රට අපේ නම් අපේ රටේ අය කර්මාන්ත ශාලා කළයුතුයි. ඒක තමා දේශීයත්වය කියන්නේ. දේශීය කර්මාන්තවලට අප උපකාර කළ යුතුයි.

අද උතුරු නැඟෙනහිර විශාල සංවර්ධන කටයුතු කරනවා. නැඟෙනහිර ප්‍රදේශයේ අය ඉල්ලන්නේ එහේ ඉක්මනින්ම කර්මාන්ත පටන්ගන්න යැයි කියලා. හේතුව ලෙස කිව්වේ අවුරුදු 14 – 30 අතර වැන්දඹුවන් 30000 ඉන්නවා. ඔවුන්ට රැකියා දුන්නොත් මහා පුණ්‍යකර්මයක්. ඔවුන් කිව්වේ මේ 30000න් කීප දෙනෙක් එල්.ටී.ටී.ඊ. රැකවරණය ලබපු අය කියලා.

අපේ යුතුකමක් තිබෙනවා මේ පළාත්වල වගේම උතුරු නැඟෙනහිරත් ඒ ප්‍රදේශවල සහෝදර සහෝදරියන්ට රැකියා සලසා දීම. මේ වගේම කර්මාන්තශාලා ඇරේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේක අපේ කර්මාන්ත ශාලාව මගේය. අපේය කියලා ඇහැක් වගේ පරිස්සම් කරගත යුතුයි.

ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා

අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් මේ ආයෝජනය හරහා දී තිබෙනවා. ක්ෂේත්‍රයේ සිටින කිසිම රටක ව්‍යාපරවල දෙවැනි වෙන්නේ නැති ව්‍යාපාරයක් තමා හයිඩ්‍රාමනි ව්‍යාපාරය.

අවුරුදු 3ට පසු නැවත වරක් දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තිබෙනවා. දේශපාලන ස්ථාවරත්වයක් නැතිව ආයෝජකයෝ ලංකාවට එන එක අපට සහතික කරන්න අමාරුයි. ත්‍රස්තවාදය නැති කිරීමත් සමඟ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවර බව හේතුවෙන් විදේශ ආයෝජකයන් දැන් ලංකාවට එන්න පටන්ගෙන තිබෙනවා. විදේශ ආයෝජන එනවා කියන්නේ දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වෙනවා කියන්නේ තවදුරටත් ආයෝජනය රැකී රක්ෂා වැඩි වෙනවා.

ආයෝජන ප්‍රවර්ධන ඇමැති නවීන් දිසානායක මහතා

හයිඩ්‍රාමනි ආයතනයේ මුලාරම්භය 1890 වේදි සිදුවුණා. එදා පටන් ගත්ත වෙළඳ ව්‍යාපාරයේ සාර්ථකත්වය තමා අප අද දකින්නේ. ලක් ඉතිහාසය නිරීක්ෂණය කලොත් මේ ආයතනය ඒ හා අත්වැල් බැඳගන්නවා. අනාගතයේදී රදා පවතින්නේ මෙවැනි පරිසර හිතකාමී කර්මාන්තශාලා පමණයි.

මහින්ද චින්තන වැඩපිළිවෙළේ නිපැයුම් ලංකා වැඩපිළිවෙළ යටතේ බලාපොරොත්තුව බස්නාහිරට සීමා වූ සංවර්ධනය ගමට ගෙන ඒමයි. නුදුරු අනාගතයේදී අප අපගේ ඉලක්ක කරායනවා. කවුරු මොනවා විවේචනය කලත් ඒ අරමුණට අප යනවා. කර්මාන්තශාලා 300 කෙසේ හෝ පිහිටුවනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධම්මික පෙරේරා මහතා

ශ්‍රී ලංකා ආර්ථිකය හොඳ නැහැ කියා කියන්නේ විරුද්ධ පක්ෂය පමණයි. ලෝකේ තිබෙන ආර්ථිකයට මේ රටේ සිටින මිනිසුන් බඩගින්නේ තියන්න බැරිවුණා. මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුව ගමට කර්මාන්ත ගෙනයාම පටන්ගත්තා.

අපේ ආර්ථිකයට මේ වැඩකරන අයගේ සැමදෙනාගේම අත් රත්රන් වගේ වටිනවා.

හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ අනිල් හයිඩ්‍රාමනි මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා