තෙල් ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඇරැඹේ

තෙල් ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඇරැඹේ

දකුණු ආසියා කලාපය ඉක්මවා ආසියා කලාපයේම සවිමත් ආර්ථික හැකියාවක් සහිත යෝධයා බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ සිහිනය සැබෑ කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 765ක වියදමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශි‍්‍රතව තෙල් ගබඩා සංකීර්ණය හා පරිපාලන ගොඩනැඟිල්ල ඉදිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) මුල්ගල තැබුවේය.

අමෙරිකානු ඩොලර් බිලියන 360ක වියදමින් 2008 ජනවාරි 15 වැනි දින ඉදිකිරීම් ඇරඹූ හම්බන්තොට වරායේ පළමු අදියරේ වැඩ 2011 දී නිම කිරීමට ඉලක්ක කෙරිණි. නමුත් ඉලක්ක කළ දිනටත් අවුරුද්දකට කලින් එහි වැඩ නිම කිරීමට හැකිවීම සුවිශේෂ සිද්ධියකි. ජාත්‍යන්තර මට්ටමේ වරාය සේවා සැපැයීමට සමත් මේ වරායේ පළමු අදියරේ ඉදිකිරීම් ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට අවසන් කැරෙනු ඇත.

ඒ සමඟ ම දැනට ලෝකයේ තිබෙන කන්ටේනර් ප්‍රවාහනය කරන විශාලතම නෞකාවට වුව මේ වරායට ඉතා පහසුවෙන් ඇතුළුවීමට හැකි සේ ඉතා ගැඹුරු පර්යන්තයක් ඉදිකැරෙමින් පවතී.

දැනට ලෝකයේ තිබෙන කන්ටේනර් ප්‍රවාහනය කරන ලොකුම නෞකාව පහසුවෙන් වරායකට ඇතුළුවී හැසිරවීමට අවශ්‍ය වන්නේ උස මීටර් 15.5ක පර්යන්තයකි. හම්බන්තොට නව වරායේ ඉදිකරන පර්යන්තයේ උස මීටර් 17කි.

හම්බන්තොට වරායට පැමිණ තෙල් හා අනෙකුත් සේවා ලබාගැනීමට පහසුකම් සැලැසෙන අයුරින් ඉදිකැරෙන තෙල් ගබඩා සංකීර්ණයට ටැංකි 14ක් ඇතුළත්ය. මේ දැවැන්ත ටැංකි 14න් 8ක් නෞකාවලට තෙල් සැපැයීමට ද, 3ක් ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන සැපැයීමට ද, 3ක් එල්. පී. ගෑස් ගබඩා කිරීම සඳහා ද යොදා ගැනේ.

මේ තෙල් ගබඩා සංකීර්ණයේ ඝණ මීටර් 80,000 ධාරිතාවයක ඉන්ධන ගබඩා කැර ගත හැකිය. මෙහි ඉදිකිරීම් චීනයේ හුවාන් කිව් (ඩ්උඑඒව් Qධ්ඍ) ඉංජිනේරු සමාගම විසින් සිදු කරනු ලැබේ.

හම්බන්තොට වරායේ නව පරිපාලන ගොඩනැඟිල්ල මහල් 15කින් සමන්විතය. උස අඩි 200කි. ඉතා දැකුම්කළු අහස සිඹින මාලිගාවක් පරිද්දෙන් මේ ගොඩනැඟිල්ල සැලසුම් කොට ඇත. එය තාන්යා හා සුරේන් වික්‍රමසිංහ ගෘහනිර්මාණ ශිල්පීන් විසින් සැලසුම් කොට තිබේ.

මේ තෙල් ගබඩා සංකීර්ණයේ සහ නව පරිපාලන ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් මාස 18ක් ගතවීමට මත්තෙන් නිම කිරීම තම ඉලක්කය බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති සහ නව වරාය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ආචාර්ය පි‍්‍රයත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදේ පැවැති මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දෙකේ සමාරම්භක අවස්ථාවට වරාය හා ගුවන්සේවා සහ වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති චමල් රාජපක්‍ෂ, අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ඛණිජ තෙල් හා ඛණිජ සම්පත් සංවර්ධන ඇමැති අල්හාජ් ඒ. එච්. එම්. ෆවුසි, ජල සම්පාදන ඇමැති මහින්ද අමරවීර, කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා, ජාතික නිදහස් පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත්, හම්බන්තොට දිස්ත්‍රික් එ. ජ. නි. ස. කණ්ඩායම් නායක වී. කේ. ඉන්දික, දක්‍ෂිණ වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ජානක කුරුකුලසූරිය, වරාය අධිකාරියේ උසස් නිලධාරීහු, ඉදිකිරීම් භාර චීන සමාගම් දෙකේ උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.

බෞද්ධාගමික වතාවත්වලට හා මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ක්‍ධායනා මැද ජනාධිපතිතුමාගේ සුරතින් නව ඉදිකිරීම් ඇරඹිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා