මොනම බලවතකුටවත් මවුබිම පාවා දෙන්නේ නෑ

මොනම බලවතකුටවත් මවුබිම පාවා දෙන්නේ නෑ

- ජනපති

අපි ලෝකයේ කිසිම රටක් සමග තරහා නැහැ. කිසිම රටක් ඉදිරියේ දණ නමන්නේත් නැහැ. මේ ලෝකයේ තිබෙන උතුම්ම රට අප මවුබිමයි. මොනම බලවතෙකුටවත් මවුබිම පාවා දෙන්නේ නැහැ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කෙළේ දකුණු පළාත් සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමේ ජයග්‍රහණය සහතික කිරීමේ අවසාන මහා විජයග්‍රාහී රැළිය ඊයේ (07) සවස හම්බන්තොට, සූරිය වැව මුවන්පැලැස්ස ක්‍රීඩංගණයේ දී පැවැති අවස්ථාවේදීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස සියල්ල නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත ජනකායක් මේ ජන රැළියට එක්ව සිටියහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම නායකයන් ක්‍රියාකාරීන් එක් වූ මේ ජන රැළියේ දී, එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සැම්සන් සිල්වා, ජනාධිපතිවරයාට බුලත් හුරුලුදී සන්ධානයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එකතු විය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ කීය.

නැෙඟනහිර පළාත් සභා මැතිවරණය පැවත්වීමෙන් ඇරඹි, පළාත් සභා ඡන්ද සටනේ අවසාන මැතිවරණය දකුණේ පැවැත්වෙනවා. මේ පළාත් සභාවේ ජය අන් පළාත් සභා ජයට වඩා අති විශිෂ්ට එකක් බවට පත් වන බවට විශ්වාසයි කීය.

අපි මේ රටේ කිසිම ජන වර්ගයකට එරෙහිව මානුෂීය මෙහෙයුම් දියත් කළේ නෑ. අපි මෙහෙයුම් කළේ ත්‍රස්තවාදයට එරෙහිවයි. මිනී මරු ත්‍රස්තවාදය අපි පරාජයට පත් කළා. රට නිදහස් කර ගත්තා. ජනතාවට නිදහස උරුම කර දුන්නා. දැන් අපිට එරෙහිව චෝදනා පත්‍රයක් ඇවිත් තිබෙනවා. ඉකුත් ජනාවාරි මාසයේ සිට යුද්ධය කළ ආකාරය වැරැදියිලු. ඒ ගැන සොයන්න යුරෝපය කොමිටියක් පත් කරලා. ඒවාට තොරතුරු දෙන්නේ ලීඩර් පත්තරේ ගියපුවායි. අනිත් පත්තරවල පළ කළ පට්ටපල් බොරු, රාජ්‍ය නොවන සංවිධාන වලින් සකස් කරන වාර්තාවලිනුයි.

අපේ රටේ ම ඉඳගෙන රට පාවා දෙන, ජනතාවට ද්‍රෝහි වන පිරිසකුත් ඉන්නවා. මෙන්න මේ අය පරාජයට පත් කිරීමට, අපේ වීරෝදාර රණවිරුවෝ සමග මුළු රටටම සිටිනා බව පෙන්වීමේ වගකීම දකුණේ ජනතාවට මෙදා හිමි වී තිබෙනවා. තමුන්නාන්සේලා ඒ යුතුකම හා වගකීම හරියාකාරව ඉටු කරයි කියා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා.

අපි මුළු රටේම ජනතාවට නිදහසේ, බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය ලබා දුන්නා. තහවුරු කළා. අපි මහින්ද චින්තනය වැඩපිළිවෙළින් පොරොන්දු වූ පොරොන්දු දැනටමත් ඉටු කොට හමාරයි.

අද මේ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු කැරෙනවා. උතුරු නැඟෙනහිර දකුණු, බටහිර, වයඹ, සබරගමුව, ඌව, උතුර මැද, මධ්‍යම සැම පළාතකම ඒ වැඩ ක්‍රියාත්මකයි. අපිට සංවර්ධනය උවමනායි. ඒත් සමග ගුණ යහපත් සමාජයක් අපි බිහි කළ යුතුයි. ඒ සඳහාත් අපි වැඩ කටයුතු සිදු කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය යටතේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධනයක් සිදු වී තිබෙනවා.

ගමේ පාරවල් ටික කොන්ක්‍රීට් කරනවා, වැව හදනවා, පාසල්, රෝහල්, හදනවා. ඒ අතරේම ග්‍රාමීය පළාත් වල ජනතාවට පානීය ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.

මේ රටේ අලුත් ප්‍රවේශයක්, සංවර්ධන ගමනක් යෑමට සූදානම් අවස්ථාවක්. අපි මුල් අඩිතාලම දමා ඉවරයි. අපි ලෝකය සමග තරගකාරීව ඉදිරියට යෑමට අපේ ළමා පරපුර සූදානම් කරලා තිබෙන්නේ ගමට තොරතුරු හා පරිගණක තාක්ෂණය ගෙනාවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා