රුපියල් කෝටි 25000ක ආයෝජනයෙන් හම්බන්තොට වරායේ කර්මාන්ත පුරයක්

රුපියල් කෝටි 25000ක ආයෝජනයෙන්
හම්බන්තොට වරායේ කර්මාන්ත පුරයක්

රුපියල් කෝටි 25,000කට අධික මුදලක් ආයෝජනය කොට හම්බන්තොට වරාය භූ®මියේ සිමෙන්ති, පොහොර, යකඩ හා ආහාර සැකසීම ඇතුළු මහා පරිමාණ කර්මාන්ත ඇරැඹීමට සුප්‍රකට විදේශ ආයෝජකයෝ පිරිසක් මෙරටට පැමිණ සිටිති.

හම්බන්තොට වරායේ ඉදිකිරීම්වලට සමගාමීව මේ නව ආයෝජකයන්ට සිය කර්මාන්ත ශාලා ඉදිකැර ගැනීමට අවශ්‍ය ඉඩම් ඉක්මණින් ලබා දෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

මේ කර්මාන්ත ශාලා සමූහයේ ඉදිකිරීම් කටයුතුවලදී සහ පසුව ඒවායේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ විට සැපයෙන ඍජු හා වක්‍ර රැකියා ප්‍රමාණය ලක්ෂ ගණනක් වනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළ කරයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පළමු අදියරේ ඉදිකිරීම් වසර 2010 දී අවසන් කැරෙන අතර දෙවන අදියර 2012 දී නිම කැරේ. වරායේ සම්පූර්ණ ඉදිකිරීම් අදියර 4ක් යටතේ නිම කිරීමට නියමිතය.

මේ කර්මාන්ත ශාලාවලට අමතරව ලෝකයේ මහා පරිමාණ නිෂ්පාදන සමාගම් විසින් නිපදවන ඉදිකිරීම් හා තොරතුරු තාක්ෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනත් රටවලට යැවීමේ තොග මධ්‍යස්ථානයක් ලෙස ද හම්බන්තොට වරාය පරිශ්‍රය යොදා ගැනීමට නියමිතය. හම්බන්තොට වරායේ පළමු අදියර නිම වීමෙන් පසු විශාලතම නෞකා තුනක් පහසුවෙන් හැසිරවිය හැකි වන අතර වරායේ වාණිජ මෙහෙයුම් ඇරඹීමෙන් පසු ලබන වසර අගවන විට ඍජු රැකියා 2000ත් 6000ත් අතර ප්‍රමාණයක් ඇතිවේ.

හම්බන්තොට වරායේ පතුල ඊයේ (07) එහි ගිය මාධ්‍යවේදීන්ට දැක ගත හැකි විය. එහි දී අදහස් දක්වමින් සභාපතිවරයා මේ අදහස් පළ කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා