යුද හමුදා ධජය රටේ එක්සත් බවේ සංකේතයයි

යුද හමුදා ධජය රටේ එක්සත් බවේ සංකේතයයි

- අගරදගුරු

යුද හමුදා ධජය මේ රටේ එක්සත් භාවයේ සංකේතයක් වන බවත් යුද්ධය ජයග්‍රහණය කළ රණවිරුවන් වීරයන් සේ සැළකිය යුතු බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපණෝ පැවැසූහ.

ජාති භේද ආගම් භේද පසෙක ලා අප සියලු දෙනා එක් ව මේ රට සංවර්ධනය කරා ගෙන යාමට කටයුතු කළ යුතු බව ද පියතුමන් අවධාරණය කළහ.

ශ්‍රී ලංකා යුද හමුදාවට වසර හැටක් පිරීම නිමිත්තෙන් යුද හමුදා ධජවලට ආශිර්වාද පැතීම සඳහා ඊයේ (7) සවස කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජීවමාන විමුක්තිදායක ක්‍රිස්තු ආසන දෙව් මැදුරේ පැවැති උත්සවයේ දී කොළඹ අගරදගුරුතුමන් මේ අදහස් ප්‍රකාශ කළහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් සරත් ෆොන්සේකා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය යන මහත්වරු සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූහ.

යුද හමුදා සෙබළුන් යුද්ධයේ දී බොහෝ කැපකිරීම් කළා. ඔවුන්ගේ ජීවිත රට දැය වෙනුවෙන් පූජා කළා. තවත් පිරිසක් යුද්ධයෙන් තුවාල ලබා එක්තැන් වුණා. අප මේ සියලු දෙනා සිහිපත් කළ යුතු යැයි මෙහිදී අගරදගුරුතුමන් සඳහන් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා