මේ රටේ සෑම දරුවෙක්ම උගතෙකු කරන්න නගරයේ පාසල්වල පහසුකම් ගමටත් ලබා දෙනවා

ඉපදුණු භූමියට ආදරය කරන ගමන් හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයි

මේ රටේ සෑම දරුවෙක්ම උගතෙකු කරන්න
නගරයේ පාසල්වල පහසුකම් ගමටත් ලබා දෙනවා

දික්වැල්ල විජිත විද්‍යාලයේ දී ජනපති කියයි

මාතර දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍ය්‍යාලයේ නව ගොඩනැගිලි විවෘත කිරීමට එහි ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිසු දරුවන්ගේ සුවදුක් විමසන අයුරු ඡායාරූපය – කමල් ජයමාන්න

ගමේ දරුවන්ට නගරය ආක්‍රමණය කළ අයුරින් මුළු ලෝකයම ආක්‍රමණය කිරීමේ හැකියාව විදහා පානු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිතුමා මාතර දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දෙමින් කියා සිටියේය.

ජයග්‍රාහී මොහොත

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද පැවසීය.

අද මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. ජාතික විජයග්‍රහණය ලබලා මේ ජයග්‍රාහී මොහොතක ඇවිල්ලා ඔබේ පාසලේ ගොඩනැගිල්ල සහ ක්‍රීඩා පිටිය විවෘත කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා.

විශේෂයෙන්ම මේ විද්‍යාලය සම්භාවනීය පිරිසක් බිහි වූ විද්‍යාලයක්. නිදහස් අධ්‍යාපනයේ පියා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තහවුරු කරන්න පිහිටවූ මුල්ම මධ්‍ය මහා විද්‍යාල වලින් එකක් තමයි මේ දික්වැල්ල විජිත මහා විද්‍යාලය. මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් අද මේ රටේ ඉහළ තනතුරු දරනවා. මේ රටේ විතරක් නෙවේ මුළු ලෝකය පුරාම හොඳ ජීවිත ගත කරන පිරිස් මේ විද්‍යාලයෙන් බිහි වුණා.

අද ගමේ පාසල් වෙත සියලු පහසුකම් ලැබී තිබෙනවා. අපි දැක්කා එක්තරා යුගයක නාගරික පාසල් වලට පමණයි සියලු පහසුකම් ලැබුණේ. ගමේ ඉපදුන දරුවාට අධ්‍යාපනය ලබන්න නගරයට යන්න වුණා. අද නගරයේ තිබුණු තත්ත්වය ගමට ගෙන එන්න මහින්ද චින්තනයෙන් අපට හැකි වෙලා තියෙනවා.

ගුරු ගෞරවය

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් පළමුවෙනියා බිහි වුණේ හම්බන්තොට විජයබා විද්‍යාලයෙන්. දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගෙන පළමුවෙනියා බිහි වුණේ යාපනයෙන්. අපේ ව්‍යායාමය සාර්ථක වුණාය කියන සතුට අපට ලැබෙනවා. අධ්‍යාපනයේ තිබෙන වැදගත්කම අප දන්නවා. අධ්‍යාපනය විතරයි කෙනෙකුගෙන් උදුරගන්න බැරි. ඔබේ උගත්කම සොරකම් කරන්නට කිසිම වෙලාවක කිසිවෙකුට පුළුවන්කමක් නැහැ. දේපළ නැති වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් විනාශ වෙලා යන්න පුළුවන්. නමුත් බුද්ධිය සහ ඉගෙන ගත්තු දෙය වෙන කෙනෙකුට අරගන්න පුළුවන්කමක් නැහැ.

අපේ දරුවන්ට මේ මවු බිම වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම වෙන්නේ තමන් ඉපදුන භූමියට ආදරය කරන ගමන් තමන්ගේ අධ්‍යාපනය වර්ධනය කර ගැනීමයි. එය ඔබගේ යුතුකම හා වගකීම බවට පත් වෙනවා.

කුමාරතුංග මුණිදාස ශ්‍රීමතානන් මේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. එතුමාගේ හෙළ හවුලේ කවියෙන් වතාවක් කිව්වා බකමූණාට දවල් පෙනෙන්නේ නෑ. කපුටාට රෑ පෙනෙන්නේ නෑ. නූගතාට රෑ දවල් දෙකම පේන්නේ නෑ කියලා. අද අපට මේ වග යළිත් සිහිපත් කරනවා. අපේ දරුවා උගතෙකු කිරීම සඳහා අපේ රජය කැප වෙලා ඉන්නවා කියන එක පැහැදිලිව කියනවා. එය අප සියලු දෙනාගේ වගකීමක්.

ගුරු දිනය සැමරුවා. ගුරුවරුන්ට ගෞරව කරන වෙලාවක ඔවුන්ගේ සේවය අගයන වෙලාවක ඒ දිනය වඩාත් අර්ථවත් වෙනවා. ගුරුවරයා හැම කෙනෙකුගෙන්ම වැඳුම් පිදුම් ලබනවා. ආගමික නායකයෙකුට හැර හිස නමා නමස්කාර කරන්නේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ටයි.

මේ සමාජය යහමගට ගෙනියන්නෙ ගුරුවරයායි. ඒ නිසා ගුරුවරයාට විශාල වගකීමක් තිබෙනවා. ඔබ වැටුප් ලබන්නෙකු විය හැකියි. නමුත් සමාජය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඔබට පැවරිලා තියෙනවා. ඔබ දරුවා යහ මගට ගෙනියන්න පුළුවන් ශක්තියක් තියන විනයක් තියන පුද්ගලයකු විය යුතු යැයි මා දැඩි සේ විශ්වාස කරනවා. ඔබේ වගකීම වෙන වෘත්තීන්ට වඩා වැඩි නැඹුරු බවක් තියනවා කියලා ඔබ මතක තබා ගත යුතුයි.

දරුවාට අධ්‍යාපනය ලබා දෙනවා වගේම දරුවා වඩා සෞඛ්‍ය සම්පන්න දරුවෙක් බවට පත් කිරීමේ වගකීම ඔබට තිබෙනවා. සමාජය පිළිබඳ අවබෝධයක් තියෙන ජය පරාජය විඳ ගන්න පුළුවන් දරු පරපුරක් අප බිහි කරන්න ඕන.

ඒ වගේම අපේ දරුවන්ට වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලට අවස්ථාව සලසාදිය යුතුව තිබෙනවා. ක්‍රීඩා සඳහා දරුවන් යොමු කළ යුතුයි. අපි ක්‍රීඩා පාසල් ගොඩ නගලා තියනවා. මේ පාසලෙන් අතීතයේ දක්ෂ ක්‍රීඩකයින් බිහි වුණා. ඒ වගේ අනාගතයේ දී ජාතික හා ජාත්‍යන්තර දක්ෂතා පෙන්වන ක්‍රීඩකයින් බිහි කරන්න මේ පාසල සමත් වෙයි කියලා මම විශ්වාස කරනවා.

ක්‍රීඩාවට වගේම වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලට දරුවා යොද වන්න. පොත්ගුල්ලන් බවට දරුවන් මෙහෙයවන්න දෙමාපියන් කටයුතු නොකළ යුතුයි. දරුවා බාහිර ක්‍රියාකාරකම් වලට යොදවන්න මවුපියන් සූදානම් විය යුතුයි. ඒ වගේම මවුපියන් තමන්ගේ කාලයෙන් ඉඩක් තමන්ගේ දරුවා වෙනුවෙන් ගත කරන්න දරුවන්ගෙ දක්ෂතා අගයන්න ඔබේ කාලයෙන් ඉඩක් වෙන් කරවා ගන්න.

අපට වැඩ තියෙනවා. නොයෙක් රාජකාරී තියනවා කියලා දරුවා ගැන සොයා බලන්නේ නැතිව ඉන්න කිසිම අම්මා කෙනෙකුට කිසිම තාත්තා කෙනෙකුට අයිතියක් නැහැ. දෙමාපියන් කුඩා කාලයේ දී දරුවා පාසලට අරගෙන යනවා පාසල ඇරෙන තුරු බලාගෙන ඉන්නවා.

ඉන් පස්සේ ටිකෙන් ටික දරුවා පිළිබඳ සොයා බැලීම අත් හරිනවා කියලයි මට දැනිලා තියෙන්නේ. දෙමාපියන් තමන්ගේ දරුවා පිළිබඳ වඩා අවධානය යොමු කළ යුතුයි. දරුවාගේ ජයග්‍රහණයේ දී සතුටු වෙන්න.

පරාජයේ දී දරුවන් දිරි ගන්වන්න කටයුතු කිරීම මවුපියන්ගේ යුතුකමයි. විශාල වශයෙන් වාණිජ්‍යකරණය වී ඇති මේ සමාජයේ දරුවා පිළිබඳ සොයා බැලීම සියලු වැඩිහිටියන්ගේ යුතුකම හා වගකීමයි.

පාසල් දියුණු කිරීම පිළිබඳ වගකීම ආදි ශිෂ්‍යයන්ටත් පැවරිලා තිබෙනවා. රජය කරන තුරු බලා නොසිට තම පාසල තමා අධ්‍යාපනය ලබපු ස්ථානය තමන්ට අද සමාජයයේ වැජඹෙන්න උදව් කරපු පාසල පිළිබඳ සොයා බලන්න. ඔබ සමාජයට ඔබෙන් විය යුතු යුතුකම ඉටු කරන්න දායක වෙන්න.

ලොකුම වගකීම

මේ විජයග්‍රාහී මොහොතේ ගමේ දරුවන් අද නගරය ආක්‍රමණය කරනවා වගේම මුළු ලෝකයම ආක්‍රමණය කරන්න ඔබට පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා. අපි මොන තරම් ජයග්‍රහණ ලැබුවත් මේ රට අවුරුදු තිහක ත්‍රස්තවාදයෙන් මුදා ගත්තත්, වරාය, මාර්ග, වාරි මාර්ග, රෝහල් ගොඩ නැගුවත් අපට ගුණවත් හෝ යහපත් සමාජයක් නැති නම් වැඩක් නැහැ.

අපි යහපත් සමාජයක් ගුනවත් සමාජයක් බේදයෙන් තොරව සියල්ලට එකට ජීවත් විය හැකි හොඳ ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න ඕනේ. අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවාට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ගොඩ නැගීම අප සියලු දෙනාගේ යුතුකම හා වගකීමයි.

දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සෙනරත් ජයතිලක දිසානායක මහතා - අද අපේ විදුහලට ජනාධිපතිතුමා සම්ප්‍රාප්ත වීම අප සැමට ගෞරවයක්.

අපේ විද්‍යාලයට රුපියල් කෝටි 200 කට අධික මුදලකින් නව ගොඩනැගිලි ආදිය ලැබුණා. එය මේ දරුවන්ගේ හෙට දවස සුබදායි කිරීමට හේතු වනු නොඅනුමානයි.

මේ පාසලෙන් හෙට දිනයේදී ජාතික තලයේ පමණක් නොව ඔලිම්පික් මට්ටමේ දක්ෂතා දරුවන් බිහි වෙනවා ඇති. රටේ දුෂ්කර පාසල් දියුණු කිරීමට අධ්‍යාපන ඇමැතිතුමා විශාල වෙහෙසක් දරනවා. අපි එය අගය කරනවා.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ, ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම, අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, ජල සම්පාදන ඇමැති මහින්ද අමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා