2050වන විට ඛනිජ තෙල් වෙනුවට විකල්පයක් සොයා ගැනීමට සිදු වෙනවා

2050වන විට ඛනිජ තෙල් වෙනුවට
විකල්පයක් සොයා ගැනීමට සිදු වෙනවා

- ඇමැති පාඨලී චම්පික රණවක

නව දේශගුණික තත්ත්වයන් නිසා ඉදිරියේ දී එන්න එන්නම වියළි කලාපය වියළි වන බවත් තෙත් කලාපයට දිනෙන් දින වර්ෂාව වැඩි වන බවත් මේ තත්ත්වය වෙනස් කළ නොහැකි නිසා ජනතාව මෙය වටහා ගත යුතු බවත් පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ දේශගුණ විපර්යාස අවම කිරීම හා විපර්යාසවලට මුහුණ දීම සඳහා ගත හැකි පියවර පිළිබඳව හෝමාගම සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල මාධ්‍යවේදීන් පරිසරවේදීන් දැනුවත් කිරීම සඳහා හංවැල්ල හොලිඩේ විලාහිදී පැවැති රැස්වීමේ දීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

2008 වසරේ මෙරට ප්‍රධාන ප්‍රශ්න හතරකට මුහුණ දීමට සිදුවුණා. ඒ ආර්ථික, ඉන්ධන ආහාර සහ ජල ප්‍රශ්නයි. මෙය ලෝකයේ සෙසු රටවලටත් බලපා තිබෙනවා. ලෝක ආර්ථිකයෙන් 86%ක් පදනම් වී ඇත්තේ තෙල් මතයි. ඕනෑම දෙයක මිල ඉහළ යන විට විවිධ අර්බුද පැන නගිනවා. විශේෂයෙන් තෙල් මිල ඉහළ යන විට මේ තත්ත්වය ඇති වෙනවා.

තෙල් මිල පහළ බසින විට ලෝකයේ තවත් රටවල් රැසක් විශාල ආර්ථික අර්බුද වලට ලක් වෙනවා.

වසර 2050 වන විට තෙල් සම්පත නොමැති වී යෑම නිසා වෙනත් විකල්ප වලට යෑමට සිදු වෙනවා. වසර විසි පහක් පමණ ගත වන විට තෙල් වල මිල විශාල ලෙස ඉහළ යනවා. එවිට තෙල් භාවිතාව එක්තරා සුපිරි පන්තියකට පමණක් සීමා වීමට ඉඩ තිබෙනවා.

මෙරට වර්තමාන ආහාර නිෂ්පාදනයෙන් 20% ක් පමණ නියඟයෙන් විනාශ වෙන අතර, 15% ක් වර්ෂාව හේතුවෙන් නැති වෙනවා. මෙවැනි විපර්යාසවලට මුහුණ දීමට ජනතාව දැනුවත් විය යුතුයි.

පරිසර අධ්‍යාපන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ රෝහණ රූපසිංහ, පාරිසර නීති නිලධාරී නීතිඥ රුවන් පතිරණ, ලීල් රන්දෙණිය මහත්වරුන් අදහස් දැක් වු අතර ඇමැති චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් අරුණි මුතුමලි මෙනෙවිය ද සහභාගි විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා