නගර සභාවෙන් බව කියා මදුරු තෙල් ඉසින්න මුදල් අයකැරගෙන

නගර සභාවෙන් බව කියා මදුරු තෙල් ඉසින්න මුදල් අයකැරගෙන

ගම්පහ නගර සභාවේ අනුමැතිය ඇතිව මදුරුනාශක තෙල් ඉසීම සිදුකරන බව පවසා ගම්පහ නගර සභා බල ප්‍රදේශයේ නිවාසවලින් රුපියල් 300 බැගින් මුදල් අය කරගෙන තෙල් ඉසීම සිදු කළ පුද්ගලයකු ගම්පහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අල්ලාගෙන ප්‍රශ්න කැර එම පුද්ගලයා නිදහස් කර යවා ඇතැයි පැවසේ.

ගම්පහ නගර සභාව වෙත නිවාස හිමියකු විසින් කළ පැමිණිල්ලක් අනුව පරීක්‍ෂා කර මේ පුද්ගලයාව දාරලුව දුම්රිය පොළ අසලදී අල්ලාගෙන ඇත.

ගම්පහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් ප්‍රකාශ කැර සිටියේ ගම්පහ නගර සභාව විසින් කිසිම පුද්ගලයකුට මුදල් අයකර මදුරු තෙල් ඉසීමට අවසර දී නොමැති බවත්, ගම්පහ නගර සභාව අපකීර්තියට පත්කිරීමට මේ පුද්ගලයා කටයුතු කැර ඇති බවත් රාගම ප්‍රදේශයේ කූට සමාගමක් විසින් නගර සභාවල අවසර ගෙන තෙල් ඉසීම සිදුකරන බවට ජනතාව නොමග යවා මේ පුද්ගලයන්ට තෙල් ඉසීමේ යන්ත්‍ර ලබාදී මුදල් අය කර ගැනීම සිදුකැර ඇති බවයි.

කිසිම නිවෙසකට මුදල් අයකැර මදුරු නාශක තෙල් ඉසීම සිදු නොකරන බවද ගම්පහ නගර සභාව පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා