ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩාවට කළු පැල්ලමක් එක් වෙයි

ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩාවට කළු පැල්ලමක් එක් වෙයි

තහනම් උත්තේජක ගත් බවට චෝදනා ලැබූ
චේතිය විජේරත්නට තරග තහනමක්

තහනම් ශරීර උත්තේජක භාවිතා කර තරග වැදුනේ යැයි චෝදනා ඔප්පුවීමෙන් පිහිනුම් ක්‍රීඩක චේතිය විජේරත්නට මාස 6 ක දෙස් - විදෙස් තරග තහනමක් ඊයේ පැනවිය.

ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට මෙවැනි චෝදනාවක් ඔප්පු වී දඩුවම් ලැබූ ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයකි.

සුගතදාස පිහිනුම් තටාකයේ පසුගියදා පැවැති ජාතික වයස් සීමා පිහිනුම් සූරතාවලියේ මීටර් 50 පසුපස ආර විවෘත තරග ඉසව්වට සහභාගි වූ චේතිය විජේරත්නගෙන් ලබාගත් මූත්‍රා සාම්පලයක ‘ප්‍රෙඩ්නිසොලෝන්’ (ර්‍ථපඥඤදඪඵධතධදඥ) නැමැති ඖෂධයේ සංඝටක තිබූ බවට පරීක්ෂණයකදි තහවුරු විය.

මේ පරීක්ෂණය මෙහෙය වූ ජාතික තහනම් උත්තේජක කමිටුවේ හා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඉදිරියේ දී ඖෂධය ලබාගත් බවට ක්‍රීඩකයා පිළිගත් අතර ඒ අනුව තරගය පැවැති මේ වසරේ ජූලි 11 දා සිට දඩුවම ක්‍රීයාත්මක කිරීමට තීරණය කෙරුණි.

“ප්‍රෙඩ්නිසොලෝන්” (ර්‍ථපඥඤදඪඵධතධදඥ) නැමැති ඖෂධයෙන් ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ඉහළ යන බැවින් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ උපදෙස් නොමැතිව එය භාවිත කිරීම ක්‍රීඩකයන්ට තහනම් කොට ඇත. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික බෙහෙත් ශාලාවකින් මේ ඖෂධය ලබාගත් බවට ක්‍ර‍්‍රීඩකයා පවසා තිබුණද වරදකරු බවට පත් කෙරුණි.

නිමා වූ ජාතික වයස් සීමා පිහිනුම් සූරතාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් මූත්‍රා සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකය පියවර ගෙන තිබුණි. තරග තහනමට ලක්වූ චේතිය විජේරත්න පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළලේ සහය පිහිනුම් ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද සමත් විය. මහනුවර ත්‍රිත්ව විදුහලේ දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙකු වූ ඔහු හමුදා නිලධාරියෙකු ලෙසද සේවය කරයි. මේ දඩුවම හේතුවෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා