අයි. පී. එල්. ක්‍රිකට් අද ඇරැඹේ

 අයි. පී. එල්. ක්‍රිකට් අද ඇරැඹේ

රටවල් 7 ක ප්‍රාන්ත කණ්ඩායම් 12 ක් තරග වදින ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි - 20 ක්‍රිකට් සූරතාවලිය අද (08) ඉන්දියාවේ බැංග්ලෝර් නගරයේදී ආරම්භ වේ.

ජගත් ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයන් රැසක් එක්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන්නේ අන්තර් පළාත් විස්සයි - 20 සූරතාව ජයගත් වයඹ පළාත් කණ්ඩායමය.

ජෙහාන් මුබාරක් ගේ නායකත්වයෙන් යුතුව තරග වදින වයඹ කණ්ඩායමට මහේල ජයවර්ධන, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, පර්වේස් මහරූෆ්, කෞශල්‍ය ලොකු ආරච්චි, ජීවන්ත කුලතුංග, මහිකල් වෙන්ඩෝට්, මහේල උඩවත්ත, ඉෂාර අමරසිංහ, ඉසුරු උදාන, තිසර පෙරේරා, සමීර ද සොයිසා, ශාලික කරුණානායක සහ චානක වෙලගෙදර යන ක්‍රීඩකයන් ඇතුළත්ය.

චමින්ද වාස් සහ තිලකරත්න ඩිල්ෂාන් ඉන්දීය ප්‍රිමියර් විස්සයි - 20 සූරතාවලියට සහභාගි වන්නේ ඉන්දීය ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කරමින්ය. වාස් ඩෙකන් චාර්ජස් පිලට ද, ඩිල්ෂාන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට ද ක්‍රීඩා කිරීමට නියමිතය.

මීට අමතරව නවසීලන්තයෙන් ඔටාගෝ ප්‍රාන්ත කණ්ඩායම, ඕස්ට්‍රේලියාවෙන් නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම්, එංගලන්තයෙන් සසෙක්ස් සහ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම්, කොදෙව් දේශයෙන් ට්‍රිනිඩෑඩ් සහ ටුබැංගෝ පිල සමග දකුණු අප්‍රිකාවෙන් කේප් තෝබ්‍රාස් සහ ඊගල්ස් යන ප්‍රාන්ත කණ්ඩායම් ඉන්දීය ප්‍රිමියර් විස්සයි - 20 සූරතාව සඳහා තර වදිති. ඩෙකන් ජාර්ජස්, දිල්ලි සහ බැංග්ලොර් යන ඉන්දීය ප්‍රාන්ත කණ්ඩායම් ද මේ තරගාවලියට සහභාගි වෙති.

අද තරගයට බැංග්ලෝර් සහ කේප් තෝබ්‍රාස් කණ්ඩායම් සහභාගි වන අතර වයඹ පළාත් කණ්ඩායම 11 දා දිල්ලි ප්‍රාන්ත පිල සමගින්, 13 දා වික්ටෝරියා පිල සමඟින් තරග වැදීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා