කොටි බෝම්බ තොගයක් ඉඊජ් බාරයට

කොටි බෝම්බ තොගයක්   STF බාරයට

ත්‍රස්තවාදීන් විසින් කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ වළ දමා තිබුණු අධි බල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් යොදා සැකසූ විවිධ වර්ගයේ බෝම්බ හා මර උගුල් 148 ක් හා රොකට් ලෝ්න්චර් අවි සමඟ තවත් යුද උපකරණ රැසක් ඊයේ (7) පෙරවරුවේ විශේෂ කාර්ය බළකාය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

කොටි නායකයෙකු වූ ‘ජෙයම්’ නමැත්තා සතුව තිබූ අවසාන පුපුරණ ද්‍රව්‍ය තොගය මෙය බව හෙළිව තිබෙන අතර පසුගිය යුද්ධයේදී හමුදාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මේවා වළ දමා ඇති බවද අනාවරණය වී ඇත.

පසුව පාවිච්චි කිරීම සඳහා ඉතා සුරක්ෂිත ලෙස ආවරණය කැර වළ දමා තිබී ඇති මේ යුද උපකරණ අතර බැන්ගලෝ ටෝපිඩෝ පහක් ද තිබෙන බව විශේෂ කාර්ය බළකාය පැවසීය.

මෙසේ සොයා ගත් බෝම්බ අතර කිලෝ ග්‍රෑම් 35 ක් බර යුද ටැංකි නාශක පීඩන බෝම්බයක්, කිලෝ 20 ක් බර එම බෝම්බ 07 ක්, කිලෝ 20 ක් බර පැති බෝම්බයක්, හා තවත් විවිධ බර ප්‍රමාණයේ පැති බෝම්බ 42 ක් මර උගුල් තොගයක්, විවිධ වර්ගයේ පුද්ගල නාශක බෝම්බ, මෝටර් හා කාලතුවක්කු උණ්ඩ (මර උගුල් ලෙස සකස් කැර) තිබුණු බව ද කීය.

පුද්ගලික ඔත්තුකරුවන් ලබා දුන් තොරතුරු මත වවුනියාව විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. එම්. ජයවීර මහතාගේ උපදෙස් මත කන්නන්කුලම් කඳවුරේ නිලධාරීන් විසින් මේ වැටලීම සිදු කැර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා