ඇෆ්ගනිස්ථානයේ දරුණු ගැටුම් තලෙයිබාන් සටන්කාමීහු 100ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ දරුණු ගැටුම්
තලෙයිබාන් සටන්කාමීහු 100ක් මරුට

ඉකුත් සති අන්තයෙ නැඟෙනහිර ඇඝ්ගනිස්තානයේ කඳුකර ප්‍රදේශවල සිදුවූ දරුණු ගැටුම්වලදී අමෙරිකන් සොල්දාදුවන් 8 දෙනෙකු මියගිය අතර, එහිදී තලෙයිබාන් සටන්කාමීහු 100කට අධික පිරිසක් මරාදැමූ බව නේටෝව ප්‍රකාශ කරයි.

මේ ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇවිලී ගියේ අමෙරිකාව ප්‍රමුඛ හමුදා විසින් දියත්කර ඇති ඇෆ්ගන් මෙහෙයුමේ අටවන සංවත්සරයට පෙර දිනයි. මාරාන්තික ත්‍රස්ත්‍රවාදී අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට ප්‍රතිඥාදී ඇති තලෙයිබානුවන් “අප දිගුකාලීන සටනකට සූදානම්” යනුවෙන් පවසා තිබේ. ඔක්තෝම්බර් 3 වැනිදා හිමිදිරි පාන්දර ආරම්භ වූ මෙම මාරාන්තික ගැටුම් රාත්‍රී කාලය දක්වා අඛණ්ඩව පැවතිණි’

එහිදී පොලිස් භටයන් 13 දෙනෙකු සහ ඇෆ්ගන් මාධ්‍යවේදීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව සටන්කාමීහු පවසති. හිස්බ් – අයි – ඉස්ලාම් යන කල්ලිද මෙම ගැටුමට එක්වූ බව බලධාරීහු පවසති. ඇෆ්ගනිස්තානයේ කලින් සිටි අගමැති හෙක්මට්යා නැමති යුදකාමීයාද ගරිල්ලන්ට හවුල්වී ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයෙන් අනතුරුව, නේටෝ සහ ඇෆ්ගන් හමුදා අන්තවාදී සටන්කාමීන් මුලිනුපුටාදැමීමේ ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ සටන් වැද සිටින විදේශ හමුදාවන්ට මෙම වසර ඉතාම හානිදායක වූ වසර ලෙස සැලකේ. 2009 වසරේදී මියගිය විදේශ හමුදා භටයන් සංඛ්‍යාව 400 කට වැඩිය. ඉදිරියේදී දරුණු ප්‍රහාර කිහිපයක්ම ඇතිවිය හැකි බවට මත පළවේ.

2002 වසරේදී සම්පූර්ණයෙන්ම අතුගා දමුණු ලැබූවද, තලෙයිබානුවන් දැන්, යළිත් ඇෆ්ගනිස්තානයේ 80%ක පමණ ව්‍යාප්ත වී සිටින බවට විශ්වාස කෙරේ. රට සහ ආගම වෙනුවෙන් දිවි පිදීමට ඇෆ්ගන් ජාතිකයන් සූදානම් බව පැවසේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා