පන්ති හයයි එක්සත් රටයි

පන්ති හයයි එක්සත් රටයි
 

“තමන් ගේ ජාතියට, ආගමට හා භාෂාවට

ආදරය නොකරන කෙනකු වේ ද

ඔහු අනෙකුත් ජාතීනට,

භාෂාවනට හා සංස්කෘතීනට

කිසි කලෙකත් ආදරය නොකරනු ඇත”

-සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ජාතික, ආගමික හා සංස්කෘතික උරුමයක් මත නිර්මාණය වූ දේශපාලන ව්‍යාපාරයෙකි. අධිරාජ්‍ය ගැති පාලනයට එරෙහි ව සටන් වැදීමේ නිසග ශක්තියක් ඊට ලැබුණේ එම පසුබිම මත ය. 1951 දී ආරම්භ වී 1956 දී සමාජ - සංස්කෘතික විප්ලවයක් බවට පත්වූයේ එම පසුබිම යටතේ පෙරටුගාමී වූ මතවාදයන් ය.

නිය ම ලාංකේය මිනිසකු හා සදාචාරවත් විශ්ව මිනිසකු බිහිකිරීමේ මූලික වුවමනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබිණි. ඒ අනුව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව සංස්කෘතික දෙපාර්තමේන්තුවක් පිහිටුවා රාජ්‍ය සාහිත්‍ය දිනයක් නම් කළේ ය.

බහුතරයක ගේ මුල් භාෂාව වූ සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කළේ ය. දෙමළ භාෂාවටද පරිපාලන ක්ෂේත්‍රයේ භාෂාවක් ලෙස ප්‍රමුඛ තැනක් ලබා දුන්නේ ය. මෙරට කලාකරුවන් සාහිත්‍යවේදීන් සම්මානනීය පුද්ගලයන් බවට පත් වූයේ එම තීන්දුවෙන් පසුව ය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පත්කිරීම පිළිබඳ විවිධ සංවාද අදත් පවතී. එහෙත් ඒ තීරණය ඉතා නිවැරැදි ය. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය නිය ම සුදුස්සන් පත් වූයේ සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් පසු ය. එහි වාසි ගණනාවක් තිබිණි.

පළමුවැන්න එතෙක් පැවැති පෞද්ගලික පාසල් ආණ්ඩුවට පවරාගැනීම ය. දෙවැන්න එතෙක් උසස් අධ්‍යාපනය අහිමි වූ එහෙත් හැකියාවන් ඇති දුප්පත් පවුල්වල තරුණ පරම්පරාවට ඉදිරියට ඒමට අවකාශ ලැබීම ය. මේ ප්‍රධාන හේතු දෙක නිසා රට තුළ විශාල අධ්‍යාපන ප්‍රබෝධයක් ඇති විය.

මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාදාමය අනුව කාන්තාවට සමාන තැනක් නොලැබිණි. ඇය කුස්සියට හෙවත් මුළුතැන්ගෙට සීමා කර තිබිණි. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, බංගලි දේශයේ, පාකිස්ථානයේ, නේපාලයේ මේ තත්ත්වය හොඳ හැටි දකින්නට ලැබිණි.

පළමුවරට ශශ්‍රීලනිප ආණ්ඩුවක් විසින් එම තත්ත්වය වෙනස් කරන ලදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව හෙවත් අග්‍රාමාත්‍යවරිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට ද පත්වූවා ය. ශ්‍රීලනිප ආණ්ඩු බුදු සමය අනුව යමින් කාන්තාවට නිසි තැන ලබා දී තිබේ.

එකල පැවැති ලෝක ආර්ථික ප්‍රවණතා අනුව ශ්‍රීලනිප ආණ්ඩුව කටයුතු කළේ ය. පෞද්ගලික නිෂ්පාදන හා සේවා ව්‍යාපාර ජනසතු කරමින් පොදු මහජනතාවට ඉහළ ම සේවාවක් ලබාදීමට කටයුතු කළේ ය. ජනසතු ව්‍යාපාර මගින් මහජනතාවට උපරිම සේවාවක් ලැබිණි. එලෙසම රාජ්‍ය ආදායම ද වෙනදාට වඩා ඉහළ ගියේ ය. ඒ මගින් සුබ - සාධන කටයුතු වැඩිපුර ගෙනයාමට හැකි විය. සමතුලිත ජාතික ආර්ථිකයක් ගෙනයෑම ශ්‍රීලනිප ආණ්ඩුවල ප්‍රතිපත්තිය විය. එය මහජනයාට ඉතා සැනසිල්ලක් විය.

1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආර්ථික ක්‍රමය එහෙම පිටින්ම කණපිට පෙරැළුවේ ය. එදා රාජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා කියා සිටියේ ශශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කළ යුතු බව ය. සිංගප්පූරුව යනු දීර්ඝ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන නිදහස් රාජ්‍යයක් නොවේ. එය නගරයෙකි. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් ගේ මතයට අනුව සිංගප්පූරුව යනු සූදු පොළකි. සුපර් මාර්කැට්ටුවෙකි.

ලෝකයේ ඇති සියලු දූෂිතකම් එහි පවතී. සිංගප්පූරුව ආදර්ශයක් ලෙස ගෙන ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමට වෑයම් කිරීම හැම අතකින්ම වැරැදි සහගත සංකල්පයෙකි.

ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් නොවිය යුතු ය. කොරියාවක් නොවි ය යුතුය යන අදහස් තේරුම් ගැනීමට අපේ සමාජය බොහෝ කාලයක් වැය කළේ ය. ඒ තත්ත්වය තේරුම් ගන්නා විට විනාශයන් ගණනාවක් සිදු වී තිබිණි. නිදසුනක් කිවහොත් ත්‍රස්තවාදය උත්සන්න වීමටද ඒ සංකල්පය බලපෑවේ ය.

තරුණ නැගිටීම්, සමාජ විප්ලව මැදින් ගමන් කළ ශශ්‍රී ලාංකේය සමාජය අපේ ම වූ උරුමයක් සහිත සංවර්ධනයක් ඉල්ලා සිටියේ ය. එය තහවුරු වන්නේ 2005 දී ය.

එම වසරේ දී දේශීය උරුමය කරපින්නා ගත් නායකයෙක් ශ්‍රීලනිප දේශපාලන බලවේගය ඔස්සේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වේ. ඔහු මෙතෙක් පැවැති අවුල් - වියවුල් විසඳාගෙන ඉදිරියට යෑමට සමත් වේ. අද අප ජීවත් වන්නේ එම අදියරේ ය.

අධිරාජ්‍යවාදී ගැති පාලන තන්ත්‍රයක් ඉල්ලා සිටින ප්‍රධාන පක්ෂයක් මෙරට පවතී. ඒ එක්සත් ජාතික පක්ෂය යි. ඊට බටහිර බලවත් රාජ්‍යවල සහයෝගය නිතැතින්ම ලැබේ. ආසියාවේ හා අපි‍්‍රකාවේ අධිරාජ්‍ය ගැති ආණ්ඩු බිහිකිරීම එකී බලවේගවල අරමුණ වේ.

එහෙත් ශ්‍රීලනිප වත්මන් නායකයා එම බලවේග හමුවේ නොසැලී තම කාර්යභාරය ඉටුකරන බව පෙනෙන්නට තිබේ.

අපට ශක්තිමත් සමාජ පන්ති හයක් තිබේ. එනම් ; ගොවි, කම්කරු, වෙද, ගුරු, සඟ හා හමුදා යන පන්ති හය යි. මේ පන්ති හය ඔස්සේ රටේ අභියෝග ජයගත හැකි ය. ජාතියේ අභියෝග ජයගත හැකි ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්