රාජ්‍ය සේවය සවිමත් කළේ ශ්‍රීලනිපය යි

රාජ්‍ය සේවය සවිමත් කළේ ශ්‍රීලනිපය යි

ලෙස්ලි දේවේන්ද්‍ර

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ ප්‍රධාන ලේකම්

පි නියෝජනය කරන්නේ අර්ධ රාජ්‍ය සේවය යි. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල සේවකයන් ඊට අයත්. අපි නියෝජනය කරන ඒ ආයතනත් සමඟ සම්බන්ධව තවත් අංශ ගණනාවක් පවතිනවා.

ප්‍රධාන වශයෙන් ම මේ සේවකයන් රජය විසින් පවරන නීති රීති , නීති රෙගුලාසි , රජය විසින් පිහිටවන කොමිෂන් සභා, ඒ කොමිෂන් සභා ගන්නා යම් යම් තීන්දුවලට යටත්ව සේවය කරන පිරිසක්. වැඩ කරන ජනතාවගේ වැඩකටයුතුවල දී ආයතන හාම්පුතුන් සමඟ නිතර නිතර සාකච්ඡා කිරීමට සිදුවෙනවා.

අමතරව මහා භාණ්ඩාගාරයේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ, වැටුප් හා සේවක සංඛ්‍යා ජනාධිපති කොමිෂම සමඟ ගනුදෙනු කිරීමට සිදුවෙනවා. රජයේ ප්‍රතිපත්ති අනුව මේ ආයතනවල පඩි වැඩිවීම්, විශ්‍රාම යෑම්, උසස්වීමේ පටිපාටි තීරණය කෙරෙයි.

එය සිදුවන්නේ ජාතික ප්‍රතිපත්තියක් මත යි. මේ ආයතන සමඟ ගනුදෙනු කැර ප්‍රශ්න විසැඳීමට සිදුවෙනවා. ඒ අනුව තමයි වෘත්තිය සම්බන්ධතා ගොඩනැගී තිබෙන්නේ.

සේවකයන් ආරක්ෂා කිරීම ගැන කතාකිරීමේ දී මූලික පරමාර්ථයක් වන්නේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමයි.

තිබෙන අයිතිවාසිකම් උදුරා ගැනීම වැළැක්වීම සහ සේවකයන්ගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සඳහා කටයුතු කිරීම යි.

මේ කාරණාවලදී ආයතන සමඟ ගැටීම් ඇතිවිය හැකියි. තීන්දුවලට එරෙහිව යාමට සිදුවෙන අවස්ථා ද තිබෙනවා. ඒ නිසා නිරන්තරව ම ප්‍රශ්න තිබෙන ආයතන සහ ආයතන පාලකයන් සමඟ මූලිකව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරනවා. නැතිව අන්තිමට කරන්න තිබෙන වැඩ වර්ජනය ඉදිරියට දැමීම උචිත දෙයක් නොවෙයි.

අපේ සාමාජිකයන් විශාල පිරිසක් 1980 වැඩ වර්ජනයට අසුවුණා. ඒ අයව කිසිම නිදහසට කරුණක්වත් විමසන්නේ නැතිව හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කැර තනතුර අත්හැර ගිය අය ලෙස සේවයෙන් පහ කෙරුණා.

නැවත 1994 පොදු පෙරමුණ රජය බලයට පත්වන තුරු මේ වැඩ වර්ජකයන්ගේ ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් ලැබුණේ නෑ . ඒ නිසා ජුලිවර්ජකයන් වෙනුවෙන් අපි පියවර කීපයක් ගනු ලැබුවා.

ඒ අනුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සමඟ සාකච්ඡා වට කීපයක් පවත්වමින් රාජ්‍ය සේවයේ හිටපු ජුලි වර්ජකයන්ට හිඟ වැටුප් ඇතුළු සේවා ගැටලු විසඳීමට කටයුතු කරනු ලැබුවා. නමුත් අපට පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා රජයට නීතිමය බලපෑමක් කිරීමට නොහැකිවුණ නිසා ඔවුන්ගේ ගැටලු විසැඳීමට හාම්පුතුන් සමඟ සාකච්ඡා කිරීම සිදුවුණා.

දේශපාලන තීන්දුවක් මඟින් නැවත රැකියාවට ගන්න කියා ඉල්ලීම කරනු ලැබුවා . ඒ නිසා පෞද්ගලික අංශයේ තවමත් නොවිසඳුනු ප්‍රශ්න තිබෙනවා. සමහර උදවිය සියදිවි නසා ගත්තා. මීට වසර 5කට කලින් සිදුකළ සංගණනයක් දී සියදිවි හානි කැරගත් උදවිය 106ක් සිටින බව හදුනා ගත්තා. ඊට අමතරව ස්වභාවික මරණ පත් වූ අයත් සිටියා. කිසිදු විසඳුමක් නොලබා ඒ අය මරණයට පත් වුණා. දළ වශයෙන් ලක්ෂයකට ආසන්න පිරිසකට ඒ වකවානුවේ රැකියාවල් අහිමිවුණා.

ප්‍රධාන වශයෙන් වැඩකරන ජනතාවත් සමඟ සංවාදයක යෙදෙන්න සූදානම් රජයක් අද බලයට පත්වී තිබෙන බව කිවයුතුයි. 1977 සිට 1994 කාලය ගත්විට ඒ කාලේ රජය කිසිම වැඩ කරන ජනයා සමඟ සාකච්ඡා හෝ සංවාද කෙළේ නෑ. ඔවුන් පැවසුවේ එ.ජා.ප ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන බවයි. ඊට ප්‍රතිවිරුද්ධව වැඩවර්ජනය කළහොත් සේවයෙන් පහ කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ රජය බලයට පත් වූ පසුව මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වුණා. වැඩකරන ජනතාවගේ ප්‍රශ්න මැති ඇමතිවරුන් සමඟ පමණක් නොව රාජ්‍ය නායකයා සමඟත් සාකච්ඡා කරමින් විසදුම් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රමුඛ මේ ආණ්ඩුවට හැකි වූ බව පැවසිය යුතුමයි.

මෙය දක්ෂිණාංශික රජයකුත් වාංමාෂික රජයකුත් අතර තියන වෙනස ලෙස දැකීය හැකිය. දක්ෂිණාංශික රජය සාමාන්‍යයෙන් වෘත්තිය සමිති සමඟ සාකච්ඡා නොකරයි. මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් ඔවුන් සමඟ කිසියම් කතිකාවතක් ගනු ලබනවා. ඒ නිසා වැඩකරන, ජනතාවගේ බොහෝ ප්‍රශ්න විසඳාගන්න හැකිවුණා.

ඉතිහාසයේ කිසිදිනක නොදුටු වෙනසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ , අද දැකිය හැකියි. ඊට ප්‍රධාන හේතුව ඔහු නිරන්තරයෙන් වෘත්තීය සමිති මුණ ගැසීමයි. මාස 3 කට වරක් අනිවාර්යෙන් ම වෘත්තිය සමිති නායකයන් හැටියට අපි ජනාධිපතිතුමා මුණගැසෙනවා. වසරකට වරක් අයවැයට පෙර සියලු ම වෘත්තීය සමිති කැඳවමින් වැඩකරන ජනතාවගේ හඬට සවන් දෙනවා.

ඒ ජනාධිපතිතුමන්ට හිතවත් උදවිය සමඟ පමණක් නොවේ. රටේ සෑම වෘත්තීය සමිතියක් ම කැඳවමින් ඒ උදවියගේ අදහස් විමසන අය වැය ලේඛනය සකස් කිරීමේ කටයුත්ත ආරම්භ කරනවා. සෑම වසරකට වරක් ම අපි අපේ පොදු ඉල්ලීම් ඉදිරිපත් කරනවා. එවිට එතුමන් අපිව කැඳවමින් සංවාද කරමින් සාධාරණ විසඳුම් ලබා දෙනවා.

මා මෙහිදී සඳහන් කරන්නේ නෑ අපි ඉල්ලන දේ 100%ක් ම ලැබෙනවා කියා. එහෙත් ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. එයට හොඳ ම උදාහරණය තමයි 2005 වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂමේ නිර්දේශ අනුව සැලකියයුතු වැටුප් වැඩිවීමක් සිදු වීම.

රාජ්‍ය සේවකයන්ගේ හා රාජ්‍ය ව්‍යාපාර සඳහා වහාම ලබා දීම. ඊට පසුව 2005, 2006 , 2007 , 2008 කියන වර්ෂ 4 දීම අපි සාකච්ඡා කර ජීවන වියදම් දීමනාව වැඩි කරනු ලැබුවා. මේ වෙනකොට 2005 ලැබුණු වැටුප් වැඩිවීමට අමතරව ජීවන වියදම් දීමනාව වශයෙන් රුපියල් 4500ක මුදලක් රජයත් සමඟ කේවල් කර වැඩකරන ජනතාවට ලබා දීල තිබෙනවා.

ඒ පමණක් නෙමෙයි. ඊට අමතරව පෞද්ගලිත අංශයේ සේවකයන්ටත් රජයේ ගැසට් නිවේදන තුළින් සහ පරිපාලන සභා ක්‍රියාවලිය තුළින් වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා.

මට හිතෙන්නේ ඕනෑම රටක සංවර්ධන ක්‍රියාවලියට අත්‍යවශ සාධකයක් වන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවය කියන එක යි. ඒ මොකද පෞද්ගලික අංශය තමයි සාමාන්‍යයෙන් සංවර්ධනයේ නියමුවා හැටියට සලකන්නේ. එසේ සැලකුවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නැත්නම් විදේශීය ආයෝජකයෙක් හෝ දේශීය ආයෝජකයෙක් හෝ යම්කිසි ව්‍යාපාරයක තම මුදල් ආයෝජනය කරන්න කැමති වෙන්නේ නෑ. ඒ නිසා රටේ සංවර්ධනයට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉතාම වැදගත් සාධකයක්.

රටේ පාරවල් , විදුලිය නියමාකාරයෙන් නොමැතිනම්, ජල සැපයුම විධිමත් විදිහට නැතිනම් , වරායෙන් බඩු පැටවීම හා බෑම හරියට කෙරෙන්නේ නැත්නම් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හරියට සිදු කෙරෙන්නේ නෑ. පෞද්ගලික අංශය කොපමණ කාර්යක්ෂමතාවක් තිබුණත් රාජ්‍ය සේවය ඉතා වැදගත් කොටස් කාර්යභාරයක් සිදුවිය යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයේ නිෂ්පාදනයක් ක්‍රියාවලියක් නොමැති වුවත් ඒ සඳහා සපයන සේවාව රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබෙනවා.

අප සංගමය ලොව විශාලතම ජාත්‍යන්තර වෘත්තීය සමිති මහා සම්මේලනයේ (International Trade Union Confederation) සාමාජිකයෙක් ඊට අමතරව ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනයේත් සාමාජිකත්වය දරනවා. එසේම ජාත්‍යන්තර ලෝහ සේවක සංගමයේ සහ ජාත්‍යන්තර රෙදිපිළි සහ ඇඟලුම් සේවක සංගමයේ සාමාජිකත්වය දරනු ලබනවා. මෙයින් ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සංගමයේ දකුණු ආසියාව නියෝජනය කරන උපසභාපති ලෙස කටයුතු කරනවා.

පෞද්ගලික අංශයේ ආයතන විශාල සංඛ්‍යාවක් අපේ ශාඛාවේ තිබෙනවා. පෞද්ගලික අංශය සමඟ සාමූහික ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. එසේම ආයතන ගණනාවකට ගිවිසුම්වලට එළඹ තිබෙනවා. ඒ ගිවිසුම්වලින් හොඳ වැටුප්, හොඳ සේවා කොන්දේසි, හොඳ සුභසාධක පහසුකම් වගේ දේ වැඩකර ජනතාවට ලැබී තිබෙනවා. ඒ ගිවිසුමෙන් දෙපාර්ශවය යම්කිසි බැඳීමක් ඇතිවෙනවා. මේ විදිහට තමයි වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ.

වෘත්තීය සමිති ඇත්තේ අරගල කර ආයතන වසා දමන තත්ත්වයට පත් කිරීමට නොව සාමූහික සාකච්ඡා මඟින් තම අයිතිවාසිකම් හා සේවාවන් සාධාරණ අයුරින් දිනා ගැනීමට යි. ඒ එවැනි යහපත් පරමාර්ථ ඇතිව ලෝකයේ කිනම් හෝ වෘත්තීය සමිතියක් ක්‍රියාත්මක වන්නේද, එය වැඩකරන ජනතාව වෙනුවෙන් කොයි අයුරින් පෙනී සිටින්නේ ද යන්න අරගල ඇති කරමින් ආයතන මෙන් ම ජනතාව ද අවුලෙන් අවුලට ඇද දමන ඇතැම් වෘත්තීය සමිතිවලට මෙය මහඟු ආදර්ශයකි.


සබැඳි පුවත්