ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් සංසිද්ධීන්

ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් සංසිද්ධීන්
 

හේමකුමාර නානායක්කාර

කෘෂිකර්ම අමාත්‍ය, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක

ධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් යුතු යටත් විජිතවාදී ග්‍රහණයෙන් මිදුණු ශ්‍රී ලංකාව 1948 දී නිදහස ලැබුවේ අනාගතය පිළිබඳ අති විශාල වූ බලාපොරොත්තුවක් ඇතිව ය. නව ශ්‍රී ලංකාවක් බිහි කර ගැනීමේ බලාපොරොත්තුව ජාතිය විසින් බිහිකරන ලද නායකයන් ගේ පෞරුෂත්වයේ අඩුපාඩු නිසා බොඳ වී යන්නට විය.

රටට නව නිදහස ලැබී යන්තම් වසර හතරක් ගතවන්නටත් පෙර එනම් 1951 සැප්තැම්බර් මස 02 වැනි දා වන විට ඒ අති උදාර බලාපොරොත්තු මුල් සිදී ගියසේ පෙනුණු හෙයින් එවකට එක්සත් ජාතික පක්‍ෂ රජයේ සභානායකවරයා සහ පළාත් පාලන අමාත්‍යවරයාව ද සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් තම පිරිවර අනුගාමිකයන් වූ රුහුණේ සිංහයා නමින් පරසිදු ඩී. ඒ. රාජපක්ෂයන් වැනි ජාතිමාමක දේශපාලඥයන් සමඟ එළියට බැස්සේ ඔවුන් විසින් බිහිකළ ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ නව දේශපාලන ගමනක් ඇරැඹීමේ අදිටනින් යුතුව ය.

ශ්‍රී ලංකාවට නිදහස ලබා දෙන ලද නමුත්, එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය යටතේ රට යන දෙස බලා සිටි සමහරු එය සුද්දාගෙන් කලු සුද්දන්ට බලය මාරුවූවක් පමණක් බවට කන් කෙදිරි ගෑහ. පාලක පක්‍ෂයේ තනතුරු දැරූ හා වරප්‍රාද ලැබූ අතලොස්සක් හැර රටේ සෙසු සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය නව රජය ගමන් ගන්නා ගමන් මඟ පිළිබඳව එතරම් සතුටින් සිටි බවක් නොපෙන්විය. රටේ බහුතරය වූ සිංහල බෞද්ධයන් ගේ හද ගැස්ම වෙනුවට යටත් විජිත පාලකයන්ටත් වඩා දරුණු වූ “නව දේශීය බමුණු කුලයක්” විසින් රට ලැබූ නිදහස තමන් ලද වරප්‍රසාදයක් ලෙස සලකා කටයුතු කරන අන්දමත් පෙනෙන්නට විය.

මේ විජාතික චින්තනයේ අග්‍ර ඵලය වූයේ සර් ජෝන් කොතලාවල මහතා අගමැති වීමයි. දේශීය අනන්‍යතාවයත්, දේශීය සංස්කෘතිය හා සදාචාරය අගය කරන පාලකයන් පිරිසක අවශ්‍යතාවය දැඩි වීමෙන් 1956 දී එනම් නිදහස දිනාගෙන වසර දහයක් ගත වන්නටත්පෙර පාලක පන්තිය බලයෙන් පහවී නව ජනතා යුගයක් උදා විය. බණ්ඩාරනායක ශ්‍රීමතුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් පුරවන ලද්දේ ශශ්‍රී ලාංකිකයන් ගේ හදවතේ දේ්ශීයත්වය පිළිබඳ තිබූ රික්තය යි.

රට ගොඩනැගීමට නම් දක්‍ෂිණාංශිකයන් මෙන් ම වාමාංශිකයන් ද එකට එකතුවී සන්ධාන ගත විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩි දෙනාගේ තීරණය විය. ඒ අනුව පිලිප් ගුණවර්ධනයන් හා විලියම් සිල්වා වැනි වාමාංශික නායකයන්ට ද බණ්ඩාරනායක රජයේ වැදගත් වගකීම් හිමි විය. ඒ වෙනසත් සමඟ නියම වශයෙන් ම ජනතා යුගයක් උදා කිරීමේ කාර්ය භාරය ඇරඹිණ.

කාලාන්තරයක් තිස්සේ ධනවතුන් අතලොස්සක ගේ හස්තයට යටවී තිබූ ගමනාගමන සේවයත්, වරාය, මෙන්ම කටුනායක හා ත්‍රිකුණාමලය ආදී කඳවුරු ආදියත් ජනතාව සතු වී ය. දිගු කාලයක් තිස්සේ ම ගොවි, කම්කරුවන් පන්තියක් බවට පත්ව සිටි අඳ ගොවීන්ට තමන් වගා කරන ලද කුඹුරුවල සාධාරණ අයිතිය නීත්‍යානුකූලව ලැබීමේ අවස්ථාව උදාවූ කුඹුරු පනත එළි දැක්විණ.

වසර පන්සියයකට ආසන්න කාලයක් තිස්සේ යටත් විජිතවාදීන් විසින් නිගරුවට ලක්කරමින් පසෙකට ලා තිබූ සඟ, වෙද, ගුරු, ගොවි කම්කරු පංච මහා බලවේග දැන් රටේ නිෂ්පාදන කාර්යය සඳහා එකහිතින්ම සහභාගි වීම ඇරඹුනි. ආක්‍රමණික ජාතීහු ඔවුන් ගේ සංස්කෘතික හා සිරිත් විරිත් අපේ මිනිසුන් පිට බලයෙන් මෙන් පැටවූහ. සියවස් විස්සකටත් වඩා වැඩි ඉපැරැණි ශිෂ්ටාචාරය මේ නිසා සෝදාපාලු වී ගියේ ය. ඒ සියවස් හතරහමාර තිස්සේ ඇතිවූ සංස්කෘතික ගැටුම් පොදු ජනතාව ගේ සහ ජාතික මානසිකත්වයේ බරපතල සිත් වේදනා ඇති කළේ ය.

රටේ පාලනය පැත්තෙන් සිදු වූ වෙනස්කම් නිසා සැබෑ ලෙසින් ම පොදු ජන යුගයක් ආරම්භ වූ බව ජනතාවට දැනෙන්නට විය. කෘෂිකාර්මික රටක් වූ ලංකාවේ ගම්බද පෙදෙස්වල වැඩවසම් ක්‍රමය එතෙක් අභාවයට නොගොස් එසේ ම පැවතුනි. කෘෂිකර්මය තම එක ම ජීවනෝපාය කරගත් ජනතාව සියයට 1% පමණ වූ ඉඩම් හිමියන්ට අයත් මුළු වගා බිම් ප්‍රමාණයෙන් සියයට 37% ක් පමණ කොටසක අඳ ගොවීන් බවට පත්ව දිවි ගෙවූහ.

ජනතාවට සෞභාග්‍යය උදාකර දීම සඳහා සාමකාමී, ලේ වැගිරීමෙන් තොර වමටත් බර නැති, දකුණටත් වැඩි නැති මැද මාවතක ගමන් කිරීමට බණ්ඩාරනායක මහතා සිහින මැවූ නමුත් එම සිහින බොදවන්නට වූයේ වෙඩි උණ්ඩයකිනි. එය ඉතා මැනවින් සිතා මතා සැලසුම් කරන ලද දේශපාලන ඝාතනයක් විය.

බණ්ඩාරනායක මහතා විසින් අරඹන ලද නමුත් නිම නොකල නොනිමි මෙහෙවරට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අත ගැසූ දෙවැනි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ රජය 1960 ජුලි මාසයේ දී බිහි විය. සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේ රජය යටතේ කුඹුරු පනත වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වූ අතර කුඹුරුවලට යොදන රසායනික පොහොර ප්‍රමාණය වැඩි වීමෙන් කුඹුරු ගොවිතැන පිළිබඳ ව ඇති වූ නව ප්‍රබෝදය පැහැදිලි වේ.

සහල් නිෂ්පාදනය රජය විසින් මිලයට ගන්නා බවට සහතික මිලක් නියම කරන ලද අතර, එසේ කොට ලබා ගන්නා වී ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයක් ද පිහිටුවන ලදී. ධීවර කර්මාන්තය පුනරුත්ථාපනය කොට එය යාන්ත්‍රික කිරීමේ කටයුතු අරඹන ලදී. රක්‍ෂණ කටයුතු රජයේ පාලනය යටතට පත් කරනු ලැබූ අතර රට අභ්‍යන්තරයේ සියලු රක්‍ෂණ කටයුතු වෙනුවෙන් ශශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පිහිටුවනු ලැබී ය.

ලංකා බැංකුව ජනසතු කරන ලද අතර, අලුතින් මහජන බැංකුව නමින් පොදු ජනතාව වෙනුවෙන් බැංකු ක්‍රමයක් නිර්මානය විය. 1964 ජනවාරි මාසය වන විට ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය ඛනිජ තෙල් සමාගම් සියල්ල ජනසතු කොට, රටට අවශ්‍ය ඉන්ධන සැපයීමේ දී එතෙක් පැවති ඒකාධිකාරය අවසන් විය. විදේශ ප්‍රතිපත්තිය තුළ මධ්‍යස්ථවාදී හා සාම ලැදි වැඩපිළිවෙළ යටතේ රට නොබැදි මාවතේ ඉතා කැපී පෙනෙන අන්දමින් දුර ගමනක් රැගෙන යාමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමත් වූවාය.

නිදහස ලැබූ දා පටන් කතාවට පමණක් සීමා වී තිබූ උඩරට වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ පුරවැසිභාවය පිළිබඳ නොවිසදුන ගැටලුවට සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම් මගින් ස්ථිරසාර වූත් සාධාරණ වූත් විසඳුමක් ලැබිණි. විදේශ ප්‍රතිපත්තිය තුළ මධ්‍යස්ථවාදී හා සාම ලැදි වැඩපිළිවෙළ යටතේ රට නොබැඳි මාවතේ ඉතා කැපී පෙනෙන අන්දමින් දුර ගමනක් රැගෙන යාමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමත් වූවා ය.

දෙවැනි වරට බලයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය සහ සම සමාජ පක්‍ෂය සමඟ එක් වී ප්‍රගතිශීලී පිලේ ශක්තිය වැඩි කරගත් නමුත්, 1964 දෙසැම්බර් මස 03 වැනි දින නව සභාග රජයේ ප්‍රගතිශීලී වැඩපිළිවෙළ එම රජයේම සිටි මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්‍ෂයට යාමෙන් අවසන් විය.

1970 – 1977 නැවත සමගි පෙරමුණු රජයක් පිහිටුවීමට අවස්ථාව ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව තවත් ශක්තිමත්ව වේගවත් ගමනක් යාමට පටන් ගත්තේ ය. සමගි පෙරමුණ මන්ත්‍රී ආසන 116 ක් දිනා පාලන බලයට පත් වූ අතර, විපක්‍ෂයේ ප්‍රබලත ම පක්‍ෂය ලෙස එජාපයට හිමි වූයේ ආසන 17 ක් පමණකි.

ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මඟින් යටත් විජිතයන් සමඟ තිබූ අවසන් රැහැන් පොටත් කපා දැමීම ඇරඹින. කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ මගින් සෑම ප්‍රධාන නගරයක් ම කෘෂි සේවා මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවමින් එක ම වහලක් යටින් ගොවිතැනට අවශ්‍ය සෑම සියලු පහසුකමක්ම සපයනු ලබන වැඩ පිළිවෙළකට නායකත්වය ලැබිණ.

විදේශ ප්‍රතිපත්තිය පුරුදු පරිදි සාමයට ලැදි දකුණට හෝ වමට වැඩිපුර බර නොවූ නොබැඳුන ප්‍රතිපත්තියක් වූ අතර, එහි ස්වර්ණමය සලකුණක් ලෙසින් නොබැඳී ජාතීන්ගේ මහ සමුළුව 1975 දී ශ්‍රී ලංකාවේ දී පවත්වමින් ශ්‍රී ලංකාව තම යශෝරාවය මුළු ලොවටම පෙන්වූවා ය. ඉන්දියන් සාගරය මුළුමනින්ම පාහේ් සාම කළාපයක් ලෙස පවත්වාගෙන යා යුතු යැයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නැගූ රණ හඬ ජාත්‍යන්තර වශයෙන් රාව ප්‍රතිරාව නැගීය.

1971 ඇතිවූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල විසින් රජයේ ගමන් වේගය සෑහෙන ප්‍රමාණයකින් අඩාල කරනු ලැබූ අතර එනිසා ම වසර කිහිපයකින් නව නිර්මානාත්මක කටයුතුවලින් රජය ඈත් කොට තබන ලදී.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය 1972 වන විට තම නව ව්‍යවස්ථාව සම්පාදනය අවසන් කොට, 1972 මැයි මස 22 වැනි දින පටන් රට සමාජවාදී ජනරජයක් බවට පත් විය. මෙතැන් සිට ලංකාව ශ්‍රී ලංකාව නමින් හඳුන්වන්නට පටන් ගැනුණි. පි‍්‍රවි කවුන්සිලයට ඇපැල් ගැනීමට තිබූ නෛතික බැදීම පවා එසැනින් ඉවත් වී රට වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම නිදහස්, ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත් විය.

1972 කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ පනත මගින් විදේශීය ධන හිමිකම් යටතේ තිබූ ශ්‍රී ලංකාවේ ඉඩම් අක්කර දස දහස් ගණනක් ජනතා සන්තක කොට දෙන ලදී. සෑම වැඩිහිටි සාමාජිකයෙකුට ම අයිතිවාසිකම් කිව හැකි උපරිම ඉඩම් ප්‍රමාණය නීතිය මගින් සීමා කරන ලදී. මේ යටතේ එතෙක් ඉඩම් හිමිව තිබූ ඉඩම් හිමියන් 5000 ක් දෙනා සතුව තිබූ අක්කර 56,0000 ක් පමණ විශාල ප්‍රමාණයක් ඔවුන්ගෙන් රජයට පවරා ගෙන තිබුනි. රජය රටේ විශාලත ම ඉඩම් හිමියා බවට පත් වූ අතර, ඉඩම් බොහොමයක් ඉඩම් අහිමි ජනතාව වෙත බෙදා දෙනු ලැබිණ.

විදේශීය වතු සමාගම් ජනසතු කිරීමේ කෙටුම්පත මගින් 1975 ඔක්තෝබර් මාසය වන විට තවත් අක්කර 400,000 ක් තරම් වූ ප්‍රමාණයක් සහිත තේ, රබර්, පොල් සමාගම් සතු වතු 400 කට අධික ප්‍රමාණයක් රජයට පවරා ගනු ලැබී ය. මෙය රටේ ආර්ථිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් තබන ලද එඩිතර වූත් වැදගත් වූත් ඓතිහාසික පියවරක් විය. රටේ අනාගතය කෘෂිකර්මාන්තය කෙරෙහි ම රඳා නොපවත්වා කාර්මික අංශයෙන් ද රට පෙරට ගත යුතු බවට තීරණයක් ගෙන ඒ අනුව වැඩසටහන් සම්පාදනය විය.

කෙතරම් ප්‍රගතිශීලී පියවරයන් ගත් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 1977 මහා මැතිවරණයේ දී පරාජයට පත් විය. එයට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නායක ධුරය වත් හිමි නොවූ අතර, එය ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ නායකත්වය විසින් දිනා ගන්නා ලදී. ධර්මිෂ්ඨ හා නිදහස් සමාජයක් උදාකිරීම සඳහා ඇප කැප වන බව පැවසූ එක්සත් ජාතික පක්‍ෂය ආසන 168 කින් 140 ක් දිනා බලයට පත් විය.

වසර 35 ක් තිස්සේ වලි කෑ එක්සත් ජාතික පක්‍ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන අවසානයේ මම ගී‍්‍රස් ගහට නැග ගත්තෙමියි, පාරම්බෑවේ ය. ඔහුගේ පී‍්‍රතිය අසීමාන්තික එකක් විය. බලය පිළිබඳ මිත්‍යාව ඔහු වේගයෙන් ආක්‍රමණය කළේය. තමාට එරෙහිව සාර්ථක සටනක් දිය හැකි එසේම ඔහුට සිටි භයන්කර දේශපාලන සතුරාවූ බැවින් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ දේශපාලන අයිතිය හා සිවිල් අයිතීන් පැහැර ගැනිණ.

නායකත්වයේ සිට සාමාන්‍ය පාක්‍ෂිකයා දක්වා දැඩි හා කුරිරු මර්ධනයකට ලක් කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැවත නැගී සිටීමට වර්තමාන ජනාධිපති එවකට මහජන මන්ත්‍රි වරයෙකු ද නොවූ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සංවිධානය කරන ලද පාද යාත්‍රාවන් දියත් වන තුරුම (වසර 17 ක් පුරාම) බලා සිටින්නට සිදු විය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්