අත රජ වූ ලෝකයේ අලියා පරාද වූ හැටි

අත රජ වූ ලෝකයේ අලියා පරාද වූ හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝ ශ්‍රීලනිප මූලිකත්වයෙන් ගොඩනැඟුණු ආණ්ඩුවල විදේශ ප්‍රතිපත්තිය සකස් වූයේ නොබැඳි පිළිවෙත මත පිහිටා සිටිමිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ විදේශ ප්‍රතිපත්තිය තීරණයවූයේ ද එම පදනම මත පිහිටමිනි. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය දෙස බැලිය යුතු වන්නේ, ඔහු බලයට පත් වූ වකවානුවේ ලෝක සන්දර්භය හා රට මුහුණ පා සිටි ප්‍රධාන ප්‍රශ්න ඇසුරු කරගෙනයි.

එසේ විමසා බැලීම වැදගත් වන්නේ රට තුළ විදේශ ප්‍රතිපත්තිය තීරණය වන්නේ ඒවා අනුව වීමයි. අපේ රට පමණක් නොව අප වැනි රටවල් බොහොමයක් 1948 සිට 1991 දක්වාම මුහුණ දුන් ලෝක තත්ත්වය මෙහි දී ප්‍රධාන ය. එම ලෝක සන්තර්භය තුළ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නිරවි යුද්ධයයි.  (Cold war)

ධනවාදය හා සමාජවාදය අතර ඒ වකවානුවේ පැවැති දැඩි තරඟකාරීත්වය හේතුවෙන් සුවිශේෂී යථාර්ථයකට මුහුණදීමට එවක සෑම රාජ්‍ය පාලකයකුට ම සිදු විය. මේ තරඟකාරී පසුබිම මැද එජාප ආණ්ඩු බටහිරට ගැති විදේශ පිළිවෙතක් තෝරා ගනිද්දී ශ්‍රීලනිපය තෝරා ගත්තේ මැද පිළිවෙතයි. මේ ලෝක සන්දර්භය තුළ තවත් වැදගත් කාරණයක් වන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය වූ ආකාරයයි.

එහි දී ද ධනවාදයට නැඹුරු වූ පාලනයන් තෝරාගත්තේ ධනවාදී ආර්ථික පිළිවෙතකි. මේ ලෝක සන්දර්භය 80 දශකය අගභාගය වන විට වෙනස් වන ලකුණු පහළ වෙමින් තිබිණි. 1989 දී බර්ලින් තාප්පය බිඳවැටිණි. 1991 දී සෝවියට් දේශයේ කඩා වැටීම සිදු විය. මේ තත්ත්වය ලෝක දේශපාලන සන්දර්භයේ විශාල වෙනස්කම් ඇතිකරන්නට සමත් විය.

සුපිරි බලවතෙක්

ඒ සමඟ නිර්මාණය වන නව ලෝක රටාව තුළ අපේ වැනි රටවල ආණ්ඩුවට තම ප්‍රතිපත්ති තීරණය කිරීම පෙර පරිදි දුෂ්කර වූයේ නැත. හේතුව බල තරඟයක් නොවූ බැවිනි. තනි සුපිරි බලවතෙක් නිර්මාණය වී තිබූ අතර නව ලිබරල් ධනවාදය දෙසට මේ රටවල ආණ්ඩු අඩු වැඩි වශයෙන් යොමු වූ බව පෙනේ. තව දුරටත් තෝරා ගැනීම සඳහා මාවත් දෙකක් ඔවුන් හමුවේ නොවිණි.

පෙරට යාම සඳහා තිබුණේ එක් මාවතකි. මේ තේරුමෙන් තෝරාගත යුතු මාවත පිළිබඳ ගැටලුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වන විට නොවිණි. ඔහු හමුවේ තිබුණේ අලුතෙන් නිර්මාණය වූ ලෝක රටාව තුළ සිටි ප්‍රධාන ක්‍රියාකාරීන්, අප ජාතික ප්‍රශ්නය යනුවෙන් හඳුනාගත් අපේ ප්‍රධාන අභ්‍යන්තර ප්‍රශ්නය කෙරෙහි දැක් වූ ආකල්පය නිවැරදිව තේරුම් ගැනීමයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීමටත් පෙර සිට ඔහු ජනාධිපතිධූරයට පත්ව ගෙවී ගිය මුල් වකවානුවේ පවා ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය මෙන් ම, මෙරට ඇතැම් ඉංග්‍රීසි මාධ්‍යවලට ලියූ විචාරකයන් ද දරන ලද මතය වූයේ, ඔහුට ජාත්‍යන්තර සබඳතා නිසි ලෙස පවත්වා ගැනීමේ හැකියාවක් නොමැති බවයි.

මැදමුලනෙන් බිහි වී රාජ්‍ය නායකත්වයට පත් මහින්ද රාජපක්ෂ මහතා ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ මේ උදවිය සැක මතු කළේ එම ගැමි මූලය හුවා දක්වමිනි. මෙවැනි මතවාදයන් ද සමඟ ඔහු ඉදිරිපිට තිබුණේ අභියෝගාත්මක මාවත කි.

සාධාරණ හේතූන්

අතළොස්සක ආධිපත්‍යයට නතුව තිබූ ලෝක රටාවක ලෝක බලවතුන් ලෙස හඳුනාගත් රටවල් අපේ රට පිළිබඳ දැක්වූ ආකල්පය හමුවේ තම විදේශ ප්‍රතිපත්තිය තීරණය කළ යුත්තේ කෙසේ ද යන්න ඔහු හමුවේ තිබූ ප්‍රධාන කාරණයකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වන විට රටේ ප්‍රධාන අභ්‍යන්තර ප්‍රශ්නය ලෙස පැවැතියේ එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදයයි. එම ව්‍යාපාරය පැන නැඟීමට ඇතැම් සාධාරණ හේතූ®න් තිබුණා වුව ද පසු කාලීනව තනිකරම එය විකාශනය වූයේ නව ලෝක රටාව හසුරුවමින් සිටි පෙරකී අධිපති රටවල ආශිර්වාදය ලත් ව්‍යාපාරයක් වශයෙනි.

එහිදී එම රටවල උපායමාර්ගය වූයේ අප වැනි රටවල් තවදුරටත් තමන්ට අවනතව තබා ගැනීම සඳහා මෙම අභ්‍යන්තර ප්‍රශ්නය හැසිරවීමයි. චීනය, ඉන්දියාව, රුසියාව වැනි රටවල් සම්බන්ධයෙන් එපරිදි ක්‍රියාකිරීම ඔවුන්ට අපහසු වූ නමුත් අපවැනි රටවල් මත ආධිපත්‍ය පැතිරවීම අපහසු කාරණයක් නොවේ.

රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කර ඉන් පීඩා විඳින රටවල් තම දෙපා මුලට ගෙන්වා ගැනීමට මේ බලවතුන්ට අවශ්‍ය විය. ඒ තේරුමෙන් මෙරට තුළ එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදයේ සාහසිකත්වය දියත්වූයේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියක් වශයෙනි.

සෘජුව හා වක්‍රව අපවැනි රටවල් ආණ්ඩු මට්ටු කිරීම සඳහා මෙවැනි ව්‍යාපාර භාවිත කිරීම හෙවත් බළලුන් ලවා කොස් ඇට බෑවීම මේ බලවතුන්ගේ ජනප්‍රිය උපායක් බවට පත්ව තිබිණි.

අපේ රටේ ප්‍රශ්නය ස්වභාවය පිළිබඳ කිසිදු තැකීමක් නැතිව එල්.ටී.ටී.ඊ,ය සමඟ සාකච්ඡා කරන්න යැයි එක්සත් ජාතීන් ගේ මහලේකම්වරයා පවා අපට බලපෑම් කළේය. අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් ද කීවේ සාකච්ඡා කරන ලෙසය.

කොළඹ දී බෝම්බ පිපිරීමක් සිදුවී ජීවිත විනාශ වූ පසු එය හෙළා දකිමින් නිවේදන නිකුත් කළ මේ උදවිය ඒවා අවසන් කළේ ශ්‍රී ලංකා රජය, එල්.ටී.ටී.ඊ.ය සමඟ සාකච්ඡා කළ යුතු යැයි සඳහන් කරමිනි. ඔවුන් ගේ අපේක්ෂාව වූයේ ශ්‍රී ලංකාව තවදුරටත් තමන්ට අවනතව තබා ගැනීමට නම් එල්.ටී.ටී.ඊ. ය ශක්තිමත්ව පැවැතිය යුතු බවයි.

මෙසේ කියන අතර ම තම රටවල එල්.ටී.ටී.ඊ ය තහනම් කිරීමට ද ඔවුන් පෙළඹිණි. ඉන් අපේක්ෂා කළේ තම රටවල අභ්‍යන්තර ආරක්ෂාව ශක්තිමත්ව තබා ගැනීම බව පැහැදිළි වෙයි. ත්‍රස්තවාදය පිළිබඳ මේ බලවතුන් ගේ පිළිවෙතද දෙබිඩි එකකි. මෙපරිද්දෙන් අපට සෘජු බලපෑම් කරන අතර වක්‍රව ද බලපෑම් ඇති කෙරිණි. එහි දී ඔවුන් තෝරා ගන්නේ සිවිල් සමාජය ලෙස හඳුනාගන්නා පුද්ගල හා සංවිධාන ජාලයයි.

මෙහි දී තමන්ට අවශ්‍ය සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බුද්ධිමතුන් ලෙස හඳුනාගත් ඇතැම් පුද්ගලයන් හා රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් මේ රටවල් මුදල් පොම්ප කළේ විශාල වශයෙනි.

ඇතැම් බටහිර රටවල් මෙවැනි ව්‍යාපෘති සඳහා තම අය වැයෙන් ම මුදල් වෙන් කරන බව සඳහන් කළ යුතු ය. මේ මුදල්වලින් ඉහත කී සිවිල් සමාජය කළේ බටහිර දේශපාලන මතය හා වුවමනාවන් මෙහි ස්ථාපිත කිරීම සඳහා වැඩ කිරීමයි. ඒ ඔස්සේ යමින් රට තුළ සිට මේ පිරිස් ද හඬ නැඟුවේ එල්.ටී.ටී.ඊ.ය සමඟ සාකච්ඡා කළ යුතුය යනුවෙනි.

එල්.ටී.ටී.ඊයට සෘජුව මුහුණ දෙන අතර සෘජු හා වක්‍ර ලෙස නැඟී ආ ජාත්‍යන්තර බලවේගවලට මුහුණ දීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවේ තිබූ ප්‍රධාන ම අභියෝගය බවට පත් විය. එහෙත්, එය දක්ෂ ලෙස කළමනාකරණය කිරීමට ඔහු සමත් විය. බටහිරින් නැඟී ආ ප්‍රතිරෝධය හමුවේ නොසැළී හිඳිමින් ජාත්‍යන්තර සබඳතා ගොඩ නඟා ගැනීමට ඔහු දක්ෂ විය.

බලයට පත් වී මුල් අවුරුදු 1 - 1 1/2 තුළ එල්.ටී.ටී.ඊ, ය සමඟ සාකච්ඡා කිරීමට පවා ඔහු ප්‍රයත්න දැරී ය. එහෙත් සාකච්ඡා සඳහා යොමුවන බවක් පෙන්වමින් එල්.ටී.ටී.ඊ, ය කළේ සිය සාහසිකත්වය මුදා හැරීමයි. දිගින් දිගටම ප්‍රහාරාත්මක පිළිවෙතක සිටිමින් ජනාධිපතිවරයා බිත්තියට ම හේත්තු කළ තැන ඔහු ඉතාමත් නිවැරදි ලෙස හමුදා ක්‍රියාන්විත සඳහා යොමුවිණි.

එහි දී පෙර කී බලවේග දිගින් දිගටම වැපිරූ මතය වූයේ එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවයි. එලෙස පරාජයට පත්වීම වැළැක්වීම සඳහා තමන්ට හැකි උපරිමයෙන් සෘජු හා වක්‍රව ශ්‍රී ලංකා රජයටත් ජනාධිපතිවරයාටත් එරෙහිව ඔවුන් ක්‍රියාත්මක විණි.

බලවත් විශ්වාසයක්

ඇත්තට ම මේ තීරණාත්මක අවස්ථාවේ දී විදේශීය හමුදාමය මැදිහත්වීමක් පවා සිදුවීමේ අවධානමක් තිබිණි. වාසනාවකට එය වැළැකී ගියේ ශ්‍රී ලංකා හමුදාවට කිලිනොච්චියෙන් ඔබ්බට යා නොහැකි බවට එම රටවල් දැරූ බලවත් විශ්වාසය හේතුවෙනි.

එරික් සෝල්හයිම් වැනි උදවිය ප්‍රසිද්ධියේ ඒ මතයේ දැඩිව පිහිටා සිටි අතර මෙරට සිට ක්‍රියාත්මක වූ බටහිර ගැති සංවිධාන ජාලය හා ක්‍රියාකාරිකයන් ද විශ්වාස කළේ එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමට ශ්‍රී ලංකා හමුදාව අසමත් බවයි. මේ ඇතැම් උදවිය ප්‍රසිද්ධියේ කීවේ යුද්ධය බොරුවක් බවයි.

මේ විශ්වාසය නිසා නොවන්නට අමෙරිකන් මැරයින් බලකාය මෙරටට ගොඩ බසින්නට ඉඩ තිබූ අතර කොසෝවෝ වැනි අත්දැකීමක් අපට විඳින්නට සිදුවනවා නිසැක ය. මානව ඛේදවාචකයක්(Humanitarian disaster) වැළැක්වීමේ මුවාවෙන් දියත්වන එබඳු ක්‍රියාන්විතයක සැබෑ අරමුණ වී තිබුණේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගලවා ගැනීමයි. සෙසු රටවලට යුදමය මැදිහත්වීමක් කිරීමට අවශ්‍ය වූ විට මේ ලෝක බලවතුන් මුවා වූ තිරය මානව ඛේදවාචකයයි.

එවැනි ප්‍රයත්නයන්ට මුහුණ දෙන අතර ආණ්ඩුවේ ස්ථාවරභාවය රැකගැනීම ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවේ තිබිණි. 2007 – 2008 වසරවල අය – වැය ලේඛන පිළිබඳ ඡන්ද විමසීම් පරාජයට පත්කර ආණ්ඩුව බිඳ දැමීමේ සැළසුම් පිටුපස පැහැදිළි ලෙස ම මේ ඇතැම් බලවත් රටවල් මෙරට තානාපතිවරු විපක්ෂය සමඟ එක්ව ක්‍රියාකර ඇති බව පසුව අනාවරණ විය.

යම් හෙයකින් ඒ අවස්ථාවේ රජය බිඳවැටුණේ නම් උතුරේ සිදුවූ යුද මෙහෙයුම් අතරමඟ නතරවන අතර එල්.ටී.ටී.ඊ, යේ පැවැත්ම ආරක්ෂා වීම සිදුවෙයි.

මේ කිසිදු ප්‍රයත්නයක් හමුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොසැළෙන විට මේ උදවිය කළේ ඔහු ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟීමයි. මුල් පෙළේ බටහිර මාධ්‍ය මෙරටට එරෙහිව කළ හැකි සෑම සතුරුකමක් ම කරන අතර ජනාධිපතිවරයා අන්තර්ජාතික අපරාධ අධිකරණයක් හමුවේ පැමිණවිය හැකි වන පරිදි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමෙහි ද යෙදිණි.

මේ චෝදනා හමුවේ ද නොසැළී සිටින්නට ජනාධිපතිවරයාට හැකි විය. ඒවා තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ, රට වෙනුවෙන්, රටේ ඒකීයභාවය වෙනුවෙන් ඕනෑම අධිකරණයක් හමුවට යාමට හෝ අවශ්‍ය නම් ජීවිතය දීමට තමා නොපැකිළෙන බවයි.

නූල් සූත්තර

මානුෂීය මෙහෙයුම් ඉදිරියට යන අතර 2008 දී එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය අමතමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළ කතාව ද ඓතිහාසික ය. මේ ගැටුම ඇරැඹි පසු ලංකා ඉතිහාසයේ මුල්වරට රටවල් 192ක රාජ්‍ය නායකයන් හමුවේ ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමේ ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි. දේශපාලන විසඳුමක් ගෙන ආ හැක්කේ ඉන් පසුව බව ඔහු කීවේ ය. මේ ප්‍රකාශය ඓතිහාසික වශයෙන් වැදගත් එකකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සැක පහළ කළ ඉංග්‍රීසි කතාකරන හා ඉංග්‍රීසියෙන් හිතන ඇතැම් විචාරකයන්ට ද එය කදිම පිළිතුරකි.

රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ නිවැරදි මිතුරන් වෙත වඩා සමීප වීමයි. චීනය, රුසියාව, පාකිස්තානය, ඉරානය ආදී නූල් සූත්තර නැති විදේශ මිතුරන් සමඟ ඔහුට අතිශය සමීප සබඳතා ඇතිවිය. එවැනි මිතුරන්ගෙන් අපට බොහෝ උපකාර ලැබිණි. මේ කාරණයේ දී ඉන්දියාව නම් අසල්වාසී සමීපතමයා සමඟ ද විශ්වාසනීය සබඳතාවක් ගොඩනඟා ගැනීමට හැකිවීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලැබූ තවත් ජයග්‍රහණයකි.

මහින්ද රාජපක්ෂ මහතා තමිල්නාඩු පාලනය සමඟ සමීප ලෙස ක්‍රියාකරමින් තමිල්නාඩුව අපට පක්ෂපාතී කෙසේ වෙතත් උදාසීන ස්ථාවරයක පවත්වා ගැනීමට දක්ෂ විය. එහි සාධනීය ප්‍රතිඵල දැන් දකින්නට ඇත. අවතැන් ජනයා ගේ සුබසාධනය වෙනුවෙන් තමිල්නාඩුවෙන් පළවන සහාය හා ශ්‍රී ලංකා රජයේ එම වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන්ට ඇති ප්‍රසාදය එහි ප්‍රතිඵලයකි.

දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් පෙර සිටි ස්ථාවරය වෙනස් වීමට තරම් මේ තත්ත්වය බලපා ඇති බව පෙනෙන්නට ඇත. ඇතැම් අය එය අවස්ථාවාදය ලෙස තේරුම්කරනු ඇතත් ඊට එහා ගිය දේශපාලන ගැඹුරක් ඔවුන්ගේ ප්‍රතිචාරය තුළ තිබේ.

තවත් වැදගත් කාරණයක් නම්, තායිලන්තය, මැලේසියාව ආදී අග්නිදිග ආසියාතික රටවල් සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීමට ජනාධිපතිවරයා ගත් දූරදර්ශී පියවරයි. මේ කලාපය එල්.ටී.ටී.ඊ. අවි සැපයුම් ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබිණි. කේ. පී. අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ද මේ සමීප හා විශ්වාසනීය සබඳතා වල ප්‍රතිඵලයක් ලෙසයි.

මේ දක්වා නාවික මට්ටමේ පැවැති එම කලාපීය සබඳතා අර්ථවත් වූයේ මේ යුගයේ දීය. මෑත දී ජනාධිපතිවරයා වියට්නාමය, මියන්මාරය වැනි රටවල කළ සංචාරයන්ද බෙහෙවින් ම වැදගත් වන්නේ මෙබඳු පසුබිමකයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය පිළිබඳ තවත් ප්‍රබල නිදසුනක් ලෙස මෑතක සිදු වූ රුසියානු විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සැළකිය හැකි ය. පෙර සිදු වූ ඉරාන ජනාධිපතිවරයා ගේ සංචාරය ද එසේ ය.

2009 පෙබරවාරි 12 දා එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමට දරන ලද ප්‍රයත්නය වැළැකුණේ රුසියාව හා චීනය පිහිටා සිටි ස්ථාවරය හේතුවෙනි. යම් හෙයකින් එය සාකච්ඡාවට ලක් වී නම් එහි ප්‍රතිඵල බෙහෙවින් අහිතකර වන්නට ඉඩ තිබිණි.

එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද 47න් 29ක් අපට පක්ෂව භාවිත වූයේ ද ඡන්ද 06 ක් භාවිත නොවූ ඡන්ද ලෙස පැවතුණේ ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වූ දක්ෂ ආකාරය හේතුවෙනි. අපට එරෙහිව ප්‍රකාශ වූයේ ඡන්ද 47න් 12 ක් පමණි. යම් හෙයකින් එම කවුන්සිලයේ දී අපට එරෙහි යෝජනාවක් සම්මත විණි නම් මේ යුද ජයග්‍රහණය 50%කින් වත් අවතක්සේරු කරන්නට එය හේතුවක් වනු ඇත.

සහනදායී ආර්ථිකයක්

සාර්ක් සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන්නේ ද ශ්‍රී ලංකාවයි. සාර්ක් සංවිධානය සහ සෙසු කලාපීය සංවිධාන තුළ ඒවා සංයෝජනය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පළකර ඇති අදහස්, ඉදිරිපත් කර ඇති යෝජනා ද බෙහෙවින් කාලෝචිත ය. තවදුරටත් ආසියාව වත්මන් අධිපතිවාදී ලෝක රටාවට යට වී සිටිය යුතු ද යන ප්‍රශ්නය ඔහු ආසියාකරයෙන් ඇසුවේ නොබෝදා ය.

නව ලිබරල්වාදයේ මහා ගංවතුර ලෝකය වසා ගනිමින් ගලා යද්දී ඒ මහා රළ වේගයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් මුල පටන් පිහිටා සිටි ශුභසාධනවාදී දිළිඳු ජනයාට සහනදායී ආර්ථික පිළිවෙතේ තවමත් යම් ප්‍රමාණයකින් හෝ පිහිටා සිටී. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් නොවූයේ නම් ඉදිරියට දිග හැරෙනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා ඉදිරිපත් කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ නම් රට පාවාදෙන, ජන ජීවිතය පීඩාවේ හෙළන වැඩපිළිවෙළයි.

ලෝක ආර්ථික අර්බුදයක් පවතිද්දී වුව ද මෙරට ආර්ථිකය එහි බලපෑම්වලින් හැකිතාක් දුරස්ව තබාගැනීමට හැකි වීම පිළිබඳ කාරණයේ දී ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුළ ඇති ජාත්‍යන්තර දේශපාලනය නිවැරදිව කියැවීමේ හැකියාව ප්‍රබල සාධකයක් වූ බව ද සඳහන් කළ යුතු ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්