අපේ නායකයා රටටත්, පක්ෂයටත් ආඩම්බරයක්

අපේ නායකයා රටටත්, පක්ෂයටත් ආඩම්බරයක්

කමලා රණතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සභාපති

නාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හතරවෙනි පදවි ප්‍රාප්තිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාර්ෂික සම්මේලනය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරියක් හා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිණියක් වන කමලා රණතුංග මහත්මිය සමඟ සිදුකළ සංවාදයක් ඇසුරින් මේ ලිපිය සැකැසේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වර්ෂයේ දී ජනාධිපතිධූරයේ වැඩ භාර ගනිද්දී එතුමාට භාර ගැනීමට සිදුවූයේ සම්පූර්ණ ශ්‍රී ලංකාවේ බලය නොව රටෙන් භාගයකටත් අඩු බලයක්.

අප එසේ සඳහන් කරන්නේ අතිශයෝක්ති අර්ථයකින් නොව එම යුගයේ තිබූ සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමට යි. 2005 නොවැම්බරය වන විට උතුරු පහත සහ නැගෙනහිර පළාතේ තිබුණේ ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාගේත් ඔහුගේ ත්‍රස්තවාදී කල්ලියේත් පාලනයයි.

එම කාලයේ දී ජනතාවට තබා රටේ ජනාධිපතිවරයාට පවා නිදහසේ ගමන් කිරීමට තත්ත්වයක් නොතිබූ අතර යුද්ධය නිසා මුළුරටම අරාජික වී තිබුණා. එම යුගය වන විට දේශද්‍රෝහී නායකයන් සිදුකළ පාවාදීම් නිසා රණවිරුවන්ට ඔවුන්ගේ උත්තරීතර රාජකාරිය සිදු කිරීමට නොහැකි තත්ත්වයක් තිබිණ.

එම අවාසනාවන්ත තත්ත්වය නිමා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළ ජනාධිපතිතුමාට සුවිශේෂී අවශ්‍යතාවයක් තිබිණ. එතුමාගේ එම බලාපොරොත්තුව ක්‍රියාදාමයක් බවට පත්වීමට විශාල කාලයක් ගත වූයේ නැහැ.

ඔහු ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ රට ගොඩනැගීමේ යුගය ඇරැඹිණ. රට රැකගැනීමේ සටන ඇරැඹීමත් සමඟ එහිදී බොහෝ අය සිතුවේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය දකුණෙන් මහින්දට මෙල්ල කළ නොහැකිය යන අදහසයි.

අවුරුදු තිහක් පුරා රට පුරා මුල්බැස ගත් ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වය සහමුලින්ම පරාජය කළ හැකියැයි කිසිවකු විශ්වාස නොකිරීමද දොස්නැගිය යුතු දෙයක් නොවේ. එහෙත් අවුරුදු තුනක් ගතවීමට මත්තෙන් එම අසීරු ඉලක්කය ජයගැනීමට රුහුණෙන් බිහිවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබිණ. එය ශ්‍රීලනිපයේවත් ජනාධිපතිතුමාගේවත් පුද්ගලික ජයග්‍රහණයක් නොවේ. මුලු රටටම ආඩම්බරවිය හැකි ජයග්‍රහණයක්.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන් අපටද ආඩම්බර විය හැකි කාරණයක්. යුද ජයග්‍රහණයෙන් පසුද ඊට පෙරද ජනාධිපතිතුමා ඇතුලු රජය සංවර්ධනය සඳහාද විශාල සේවයක් සිදුකර තිබේ.

ජනාධිපති තුමා යුද්ධ කරද්දි කිසිම විටෙක ඔහුගේ පුද්ගලිකත්වය හෝ පුද්ගලික ආරක්ෂාව පිළිබඳ කල්පනා කළේ නැහැ. උතුරේ යුද බංකරයකට ප්‍රථම වරට ගොස් රණවිරුවන්ගේ දුක සැප බැලූ විධායක ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ යි.

ජනාධිපතිතුමා බලයට පත්වීමට පෙරත් එතුමාගේ පාලනයේ මුල්කාලයේදීත් රටපුරා තැනෙන් තැන බිහිසුණු සිදුවීම් සිදුවූ අතර උදේ ගෙදරින් පිටත්වන තම දයාබරයා සවස ගෙදරට පැමිණීම ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ තරමටම එදා රට තුළ ගොඩනැගී තිබුණේ අවිනිශ්චිත ආරක්ෂා රහිත පරිසරයක්.

එම අනාරක්ෂිත වාතාවරණය දුරු කිරීමට හැකියාව හා ශක්තිය ලැබුණේ ජනාධිපතිතුමාගේ අපරිමිත කැපවීම නිසා ය.

එතෙක් කල් “හමුදා කාරයන්” ලෙස සමාජයේ නොසැලකිල්ලට භාජනය වී තිබුණු අපේ රට සුරකින සෙබළුන්ට රණවිරුවන් ලෙස සමාජ පිළිගැනීමක් ලබාදීමටත් ඔවුන්ගේ ආත්ම ගරුත්වය ඉහළ යන ආකාරයටත් සංකල්පමය වෙනසක් ඇති කිරීමේ හැකියාව ලැබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණයි.

අප දැන් කළ යුතුව ඇත්තේ කිසිවක් නොව රට එක්ව සමඟි සම්පන්නව ඉදිරියට ගමන් කිරීමයි. අප උපන් දේශය සුරැකීම අප සැමගේ යුතුකමක්. ඒ සඳහා රටට නායකත්වය ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාමත් ප්‍රබල හැකියාවක් තිබේ.

2005 දී ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු එතුමාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරයට පත්කරගත් අතර එම පත් කිරීම මෙරට යුද ඉතිහාසයේ තීරණාත්මක කඩඉමක් බවට පත්විය.

මුලදී සහෝදර සමාගම ලෙස දේශපාලන විරුද්ධවාදීන්ගේ අපහාසයටත් උපහාසයටත් බඳුන් වූ මහින්ද, චමල්, බැසිල්, ගෝඨාභය සුසංයෝගය අදවන විට රට ගොඩනගන පරපුරේ අභිමානවත් සහෝදරත්වය බවට පත්ව තිබේ. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආඩම්බරයක්.

ත්‍රස්තවාදයට යටත්ව තිබූ ශ්‍රී ලංකාව යළි නිදහස් කර ගත්තේ පක්ෂයේ වර්තමාන නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාය. එම කාර්යයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නමද මනා ලෙස ගැලපීම දෛවෝපගත සිදුවීමකි.

යුද ජයග්‍රහණවලින් පමණක් තම ගමන් මඟ නතර නොකළ මහින්ද රාජපක්ෂ මහතා රටේ සංවර්ධනය කෘෂිකර්මාන්ත නවෝදය සඳහාද විශේෂ වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කර තිබේ. මන්දයත් ශ්‍රී ලනිපය ගමේ මිනිහාගේ දේශපාලන පක්ෂයයි.

ගමේ මිනිහාගේ ගෞරවණීය වෘත්තීය වන්නේ ගොවිකමයි. වෙනත් වචනයකින් සඳහන් කරනවානම් කෘෂිකර්මාන්තය යි. ඒ නිසා අදවන විට ශ්‍රීලනිපයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ සංකල්ප මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරමින් සිටිති.

බණ්ඩාරනායක මැතිනිය සිය පණ මෙන් රැකගත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය අද ලංකාවේ ප්‍රමුඛතම ජාතික දේශපාලන පක්ෂය බවට පත්ව තිබේ.

එය සොම්නසට කාරණයකි. 1970 දී ශ්‍රී ලංකාවේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස අබිසේක ලද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 17ක් පරාජිතව පැත්ත පෙරළී තිබූ ශ්‍රීලනිපය යළිත් නගා සිටුවීමටත් පාක්ෂිකයන් දැනුවත් කිරීමට විශාල කාර්යභාරයක් ඉෂ්ඨ කළේය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ නායකත්වයෙන් ජනතා ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රීලනිපයට හැකියාව ලැබිණි. මෙම විශිෂ්ට ජයග්‍රහණය පසුපස සිටි ප්‍රධානම බලවේගය වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ය.

මේ සියල්ල ගෙන බැලූවිට 1994 වර්ෂයෙන් ඇරැඹි ශ්‍රීලනිපයේ විජයග්‍රාහී යුගයේදී ඒ පසු පස සිටි ප්‍රමුඛතම පුද්ගලයෙකු ලෙස රාජපක්ෂ මැතිතුමාගේ නම සඳහන් කිරීම පක්ෂයේ සෙසු ක්‍රියාකාරිකයන්ට සිදුකරනු ලබන අසාධාරණයක් ලෙස මම කල්පනා නොකරමි.

දැන් එළැඹී තිබෙන්නේ බේද භින්න වීමේ අරගල සිදු කිරීමේ මොහොත නොව රට වෙනුවෙන් එක්ව වැඩකළ යුතු නිමේෂයයි.

ඒ සඳහා පිරිපුන් නායකත්වයක් රටටත් අපටත් ලැබී තිබේ. මෙය රටටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ආඩම්බරයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා...!

ජනාධිපතිතුමාට ජයවේවා.....! යන්න මගේ ප්‍රාර්ථනයයි.


සබැඳි පුවත්