ජනතා බලවේගයන් ඒකරාශි කළ එකම පක්ෂය මෙයයි

ජනතා බලවේගයන් ඒකරාශි කළ එකම පක්ෂය මෙයයි

ඇල්ලේ ගුණවංශ හිමි

මේ රටේ ප්‍රථම වතාවට රටේ විවිධ කේෂ්ත්‍රවල නායකයන් නැත්නම් ග්‍රාමීය නායකයන් ඒකරාශී කරමින් ගොඩනැගූ එකම පක්ෂය ශ්‍රීී ලංකා නිදහස් පක්ෂය යි. එමෙන් ම සාමාන්‍ය පන්තියේ ජනතාවට ඉදිරියට ඒමට මඟ පෑදූ පක්ෂය ද සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන් ඒකරාශි කළ පක්ෂය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් 1956 යේදී බිහි වූ සමාජ විප්ලවය නිසා මෙරටේ තැලී පෑගී පොඩි වී කොන්වී ගිය සමාජයට ඉදිරියට ඒමට ද මඟ පෑදුණි.

ඒවගේ ම අපේ භාෂාවට, සංස්කෘතියට, ආගම දහමට, කවියට, නැටුමට තැනක් හිමිවූයේ ද ඒ සමාජ විප්ලවයත් සමඟ යි. කොටින් ම කියතොත් ගොක් කොළයට, කිරිබත් කෑල්ලට, ජයමංගල ගාථාවට, රෙද්දට බැනියමට, කැත්තට උදැල්ලට නිසි තැන ලබා දුන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි.

සමහර අවස්ථාවල සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් කිරීම වැරදි බවට යම් යම් පුද්ගලයන් රට ඉදිරියේ කරුණු දැක්වූවා. එය සම්පූර්ණයෙන් ම වැරදි මතයක්. ඒ සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් කරන්න යැයි උද්ඝෝෂණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි.

එදා සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් කළ නිසා අද සාමාන්‍ය පාසල්වලින් පැමිණි අය පරිපාලන සේවයේ නියුතුව සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සමරන මේ මොහොතේ 1956 සමාජ විප්ලවය සමඟ බිහි වූ දරුවන්ගේ යුගය මේ. එදා ඒ දරුවන් අද රාජ්‍ය සේවයේ විශ්වවිද්‍යාලවල සේවය කරනවා.

මේ අවස්ථාව සාමාන්‍ය ගැමි පන්තියට ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.


මහජනතාවට අප්‍රමාණ සේවාවක් ලබා දුන්නා
 

දේශකීර්ති කීර්ති ශ්‍රී දේශබන්දු අල්හාජ් නියාස් මවුලව්තුමා

ජනාධිපති මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ උපදේශක

ඉහ්සානියා අරාබි විදුහලේ අධ්‍යක්ෂ ජනරාල්

පළමුවෙන් ම මම පී‍්‍රතියට පත්වෙනවා. මම ඉපදීමටත් පෙර උපත ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වයස අවුරුදු 58ක් සපිරීම ගැන. මටත් වඩා අවුරුද්දක් වැඩිමහල්.

එදා සිට අද දක්වා කවදත් මාතෘ භූමිය මාතෘකා කරගෙන ඉමහත් සේවාවක් ඉටු කරමින් 58 වෙනි උපන් දිනය සමරන අවස්ථාවේ වසරකින් බාල මම ආගමික පූජකයෙක් ලෙස සුබ පතන්නට අවස්ථාව ලැබීම පී‍්‍රතියෙන් ඉතා අගය කොට සළකනවා.

තිස් වසරක් ත්‍රස්තවාදයෙන් විනාශ වුණු අපේ ශ්‍රී ලංකා මාතෘ භූමිය ලංකා සිතියමේ අපට අහිමි වීමට තිබුණු උතුරු නැඟෙනහිර ප්‍රදේශ රැකගෙන නැවත ලංකා සිතියමට එකතු කර තිබෙනවා. අද රජය සන්ධානයක් වුවත් එහි ප්‍රමුඛත්වයක් නායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව කවුරුත් දනී. රට ජය ගැනීමේ පළමුවෙනි ලකුණත් පළමුවෙන් වාර්තා වන්නේ පක්ෂයටයි.

පක්ෂ අද බොහෝ තිබෙනවා. පක්ෂවලට නම් පවා තිබෙනවා. සංවත්සර ඉහළින් සමරනවා. එහෙත් දකින අද 58 වෙනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි නිදහස යන වචනයට ම ගැළපෙන නිදහස අප සියලු දෙනාටම (1948 ලැබුණු නිදහසින් පසු ) 2009 මැයි මස ද ලබා දුන් බවයි.

එම පක්ෂයේ මෙතෙක් ඇති වූ නායකයින් කළ සේවා අදටත් අමතක කළ නොහැකියි. ප්‍රවේශය ලබා දුන් පක්ෂයේ පියාණන් මෙන් සැළකෙන දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිදුන් එදා ප්‍රකාශ කළේ ‘ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම’ යනුවෙනි. එසේ නම් අද නායකත්වය දරණ පක්ෂයට මඟ පෙන්වන අපේ පියෙක් මෙන් සැළකෙන ශ්‍රී රෝහණ ජන රංජන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාණන් ඒ වදන ඉටු කළ බවට මා සාක්ෂි වෙමි.

මිනිසාට කළ යුතු යුතුකමින් නිදහස් නිවහල් රාජ්‍යයක්, බයෙන් සැකෙන් තොර ව ජීවත්වන පරිසරයක් ලබාදීමට වඩා යුතුකමක් තවත් වේ ද? අනුන්ගේ ඕපාදූප වැරැදි සොයා බලමින් දේශපාලන හඬ යනුවෙන් එයට නමදීමෙන් කිසිදු ප්‍රයෝජනයක් මිනිස් සමාජයට ඇති නොවෙයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද නායකතුමන් අනුන්ගේ උස්මිටිකම් සොයනවාට වඩා තමන්ගේ වගකීම යුතුකම ඉෂ්ට කිරීමෙන් මිනිසාට සේවාවක් වූවා පමණක් නොව තමන්ගේ පක්ෂයටත් ගෞරව නාමයක් ලබා දුන්නා.

එසේම මේ තාක් කල් කවදත් පක්ෂයේ, තමන්ගේ යුතුකම හරියාකාරව ඉටු කරමින් ඉතිහාසයේ නම්බුව රැක දෙමින් ක්‍රියා කරයි යැයි මම විශ්වාස කරමි. අද සමරන 58 වෙනි සංවත්සරයේ සියලු චින්තන සහ චේතනා පිරිසිදු වේවා සාර්ථක වේවා යැයි මුස්ලිම් ආගමික පූජකයකු වශයෙන් මාගේ පැතුමයි. ප්‍රාර්ථනයයි.


වම හා ශ්‍රීලනිපය ප්‍රගතිශීලී මාවතක යනවා

ඩිව් ගුණසේකර

ප්‍රධාන ලේකම් - ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

2009 නොවැම්බර් 15 වෙනි දිනට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 19 වන ජාතික සම්මේලනය වෙත ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරාත්මක සුබ පැතුම් පිරිනමන්නේ ඉමහත් සතුටිනි.

නිදහස් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ප්‍රගතිශීලී මාවත ඔස්සේ මෙහෙයවීම සඳහා සෙසු ප්‍රගතිශීලී හා වාමාංශික බලවේග සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් නායකත්වය සහ දායකත්වය මේ පී‍්‍රතිමත් අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරමු.

සිය විදේශ ප්‍රතිපත්තිය අධිරාජ්‍ය විරෝධී පිළිවෙතකට යොමු කරමින් ද, සමාජවාදී හා සංවර්ධනය වන රටවල් සමඟ සුවිශේෂී සබඳතාවයන් ගොඩනගමින් ද, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය නගාසිටුවීමට ගත් පුරෝගාමී පියවරයන් මේ අවස්ථාවේදී අපි අගය කරමු.

මහින්ද රාජපක්‍ෂ රජය පිහිටුවීමෙන් පසුව වත්මන් ජාත්‍යන්තර වර්ධනයන් සැලැකිල්ලට ගනිමින් ද, 21 වන සියවස ආසියාවට හිමිවන බව නිවැරදිව තක්සේරු කරමින් ජාත්‍යන්තර සබඳතාවයන් හි මෙතෙක් සිදු කර ඇති පරිවර්තනයන් අපි අගය කරමු.

30 වසරක ත්‍රස්තවාදය සහ 26 වසරක යුද්ධය නිමාවට පත්ව ඇති මේ අවස්ථාවේ දී රට වේගයෙන් සංවර්ධනය කරා ගෙන යෑම සඳහා අර්ථවත් පියවරයන් රැසක් ගෙන තිබේ. රට එක්සත් කිරීමෙන් පසු ජනතාව ද එක්සත් කිරීම සඳහා දරන්නා වූ උත්සාහයන් අපි අගය කරමු.

21 වන සියවසේදී ශ්‍රී ලංකාවට හිමිවිය යුතු නිසි තැන අත්පත් කර ගැනීම සඳහා සියලු ප්‍රගතිශීලි බලවේගයන් එක්සත් කරමින් ද, සියලු ජනවාර්ගික හා ආගමික කොටස් සමගි කරමින් ද, ඉදිරි පියවරයන් නොපසුබටව හා එඩිතරව ගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.


රණවිරුවන්ට ලබා දුන් ශක්තිය ඉතිහාසගත යි

මහාචාර්ය තිස්සවිතාරණ

විද්‍යා හා තාක්ෂණ ඇමැති

මුලින් ම ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එහි සියලු දෙනාට අපේ සුබ පැතුම්.

මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ඉදිරි ප්‍රගතිශීලි ගමනට ලබා දී ඇති දායකත්වය ඉතා වැදගත්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වී ත්‍රස්තවාදය පරාජය කිරීමට රණවිරුවන්ට ලබාදුන් ශක්තිය ඉතිහාස ගත වෙනවා. දැන් බෙදී තිබුණු රට එක්කර හමාරයි. මෙතනින් පසු ජනාධිපතිතුමා කියූ පරිදි ‘අපි එක්වෙමු - රට හදමු’.

රටේ සියලු ජන කොටස් එක් ලාංකික ජාතියක් හැටියට එකමුතු වී රටේ ඉදිරි සංවර්ධනයට දායක විය යුතුයි. ඒ වැදගත් කර්තව්‍ය ඉටු කිරීමට ඉදිරි මැතිවරණ දෙකේ දී ම අතිවිශිෂ්ට ජයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අත්‍යවශ්‍යය යි. සම සමාජ පක්ෂයේ අපි ප්‍රගතිශීලි ආණ්ඩු බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මුල සිට ම එකට අත්වැල් බැඳගෙන හිටියා.

ඉදිරියේ දී ද එසේමයි. මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝායුෂ පතමින් ඉදිරි මැතිවරණ ජය ලැබීමට වාසනාව ලැබේවායි ද ප්‍රාර්ථනය කරනවා.


සබැඳි පුවත්