ජාතිය පුබුදන මහ බල මුළුවයි පොදු ජනතා බලවේගය මේකයි

ජාතිය පුබුදන මහ බල මුළුවයි පොදු ජනතා බලවේගය මේකයි

මල් දලු ලියලා අතු ඉති මත්තේ
නැගී වැඩී නිසි පල හට ගත්තේ
දැක දැක හෙට ලොව ඉදි වන තත්තේ
ජන බල සෙන් පිරිවර කොට හැක්කේ

සියලු සතුරු බල මුළු සුන් කරලයි
අඳුරේ අත පත ගෑ යුග ඉවරයි
නිවහල් යුගයක සුවදෙන සුවඳයි
ජාතිය පුබුදන මහ බල මුළුවයි

අපේ දැයේ දේ උරුමය අපටයි
එතෙරින් ගත යුතු හොඳ දේ පමණයි
ජනතා ගඟ ආපස්සට නොගලයි
පොදු ජනතා බලවේගය මේකයි

සම්පත් කුණු කොල්ලෙට විකුණන්නේ
ජනතා දේපළ පොදි බැඳ ගත්තෝ
අතනින් මෙතැනින් ඔලුව දමන්නෝ
ජන බල දැක රෝදෙට යට වෙන්නෝ

දකුණ නැගෙනහිර උතුරද බටහිර
රජරට ගිනිකොණ වයඹද කඳුකර
නැගී නැගී එයි ජන ගොස පොබකර
මේකය හෙට ලොව නංවන පෙරහර

ජන බලවේගෙට නිසි මග පෙන්වූ
මහින්ද සෙන්පති ජනපතිඳුන් වූ
බල මුළුවයි මේ මිය ගොස් නැන්වූ
හදමු රටක් ජාතිය පණ ගැන්වූ

දයා සෝමසිරි


සිහ නද නගනු මැන

සිවු මහ ගංගා හමුවුණු විලසින් අසමාන
සාගරයක් වන් ජන ගංගාවකි! එක්වුන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ තම අභිමාන
මහජන සමුළුව ලෙළදෙයි! අද හෙළ රජදාන

එක් සේසත් වුණු සිරි ලංකාවක් අසමසම
එකම මිනිස් පවුරක් විලසින් බැඳි නිබදවම
ගම නැගුමෙන් ඇරඹුණු සිවු මංසල මඟනැගුම
බිහිදොර වුණි! හෙට නව මාවතකට පියනැගුම

උතුරු වසන්තයෙ මල් පිබිදීමෙන් සුවඳ දිදී
අවතැන් ඇත්තෝ එක්තැන් වී ඉන් සතුට විඳී
ජාති බේදයේ මුල් සිඳලීමෙන් සිත්හි රැඳී
රටට ආදරේ ඇති පිරිසක් වෙමු! එකට බැඳී

දෙදණින් නොවැටී බලවත් අය අබියසෙහි ලොවේ
විකුමන් පෑ යුරු මතක ඇතේ දිවි තුරුම බවේ
ජනපතිඳුන් පැවසූ මෙබසින් සිත් සතුට මැවේ
භාරකරුම මිස ජනතාවගෙ මා! රජෙකු නොවේ

පාලම් ගුවනේ ඉදිවේ රට තුළ අහස් කුසේ
නෑගම් යති! උතුරත් දකුණත් දැන් සතර දෙසේ
ඊළම් සිහිනය මිලාන වී ඇත! දුටුව ඇසේ
මේනම් ඇරඹුම වේ නව යුගයක මෙසිය වසේ

ගමරට හැමතැන පුරන් කුඹුරු යළි වපුරාලා
සියරට දේ සිරි සැප දෙන යුගයක් මතුවීලා
යුගයට සරිලන යුග පුරුෂයෙකුගෙ බලපාලා
කුමකට දෝ වෙන නායකයෙක් ගැන මතුරාලා

පෙළින් පෙළට නව නිවහන් ඉදිවේ! උතුරුකරේ
නවෝදයේ අසිරිය රමණීයයි! නැගෙනහිරේ
හෝටල් ඉදිවේ අහස සිඹින යුරු මුහුදුතිරේ
ඇස් ඇර නොබලන ඇස් කුමකටදෝ කොළොම්පුරේ

පළමුව පවත්වන මැතිවරණයෙ රහස
දැනගනු රිසින් රට අවදිව ඇති දවස
මහ සමුළුවෙදි නිවුමට ඒ රස පවස
සිහ නද නගනු මැන! ජනපතිදුනි! විගස

ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි


සාමයෙ සතුට

ඉපදී රුහුණෙ හොඳ පෙළපතකට දාව
නිදහස් සටන ගෙන යන්නට මෙහි ආව
සොහොයුරු පිරිස දැක එක හැළියේ කෑව
නොදැනිම ඇද වැටුණි, කවි ලොවකට මාව

ජනපති මිහිඳු මැති රට එක්කළ බෙදුණු
වරමක් වගෙනෙ කඳ සුරිඳුන්ගෙන් ලැබුණු
අගමිණ, වෙච්ච රාජාවලියට ඇමුණු
පෙළපත කෙනෙකු දැයි, නොදනිමි දුටුගැමුණු

හුරු නැති දිවි පෙවෙත කාමරවල සීත
රුහුනේ උපන් ජනපතිඳුන් අති ජාත
සිදුකළ සටන් දැක උතුරේ කළ මෑත
සතුටක් ලැබුවෙ නැත සමහරු අව ජාත

කළවම් වෙලා නැති නම් ලේ දුවන ඇඟේ
වැට හෙයි කෙනෙකු හට රට ජාතියෙහි අගේ
සංකර වෙච්ච අය දඟලන ගැරඬි වගේ
කැබලිත කටු අරන් නටනව නයින් වගේ

ඇති වී හුඹස් බිය කොටියගෙ වියරුවට
අත්පුඩි ගසති සමහරු උගෙ වටේ සිට
බිඳ ඇද හැලෙන විට උන් බැදි පවුරු වැට
දෙකොනින් කතා පවසන අය සිටිති රට
ඊළම ලබා දෙන්නට කොටියට පේවී
“ඩොලරෙට” කහින වුන් දැන් පෝලිමෙ ඒවී
තව තව එන්න මත්තෙන් වියසන බෝවී
යනු මැන සතුරු කැළ උතුරෙන් මක බෑවී

සැම සැප ඇතැර දා ගොවි ගෙදරින් වින්ද
වැසියන් සනසමින් නිති කඳුළැලි බින්ද
මැතිදුන් ඉපදුනෙන් සවිබල ඇති කොන්ද
බළ කොටු බිඳ වැටුණි “කොටි සතුරන්” බැන්ද

රට දැය සමය රැකගෙන පණටත් වැඩිය
සතුරට බියේ නොතැබුව පස්සට අඩිය
සුන්කර දමා උන් තුළ පවතින එඩිය
සතුරගෙ සොහොනෙ ඔසවමු ජාතික කොඩිය

මතුවන මුවපුරා රසවත් සිනාවට
යන එන තැනක රට වැසියන් වුණා වට
සාමය සතුට ගෙන දුන් හැම දෙනා හට
මැතිඳුන් ඉපදුනේ අපෙ වාසනාවට

ධර්මසේන කරුණානායක


අරුණාලෝකය

පුලතිසි නුවර කෙත්වතු රොන් සුණු සුවඳ
සිපඑන සුළඟ මහගල් කණු මතට වැද
මහමෙවුනා පිළිම බඳ තුන්කල් නමැඳ
නිවහල් දැයක අබිමන පෙන්වයි නිබඳ

සම්බුදු පහස ලද මුනිදම් දෙසූ රට
ඇත රැකවරණ දී සිව්මහ සුරන් වට
හෙළබිම සුවඳවත් කළ මිනිසුන් නමට
මල් පිපෙනවා අවුකන බුදු සෙවන යට

මහ සමුළුවක අරුණා ලෝකය පෑවේ
නුබ කුස වසා නිලධර රන් දද යාවේ
ගම්බිම් සනහ සනහා දියුණට යොමුවේ
අත්බැඳ පියනගමු රන් දොරටුව හමුවේ

සිත් තුළ නැගුණ දොම්නස් සිතිවිලි පන්නා
මෙත් සිත් වඩා දැහැමිව තිරසර සිතිනා
සංකා නොදී සිරි ලංකා කිරුළ දිනා
පුබුදමු හැඟුම් තව නව චින්තනය ගෙනා

නන්දි අලුත්ගේ රත්නවීර


චිරං ජයතු

එදා කැලණි සුනාමියෙන් – රුහුණේ මාගම් පුරයේ -
බිහි වූ ‘දුටු ගැමුණු’ කුමරු රට එක්සත් කර ගත් තේ
එදා අපේ රට වැසියෝ දස මහ යෝධයන් සමඟ -
එක් වීලා දිවි පුද දී රට ජාතිය රැක ගත් තේ

මෙදා පැමිණි සුනාමියෙන් රුහුණේ ගිරුවා දේශේ -
මිහිඳු රාජ පක්ෂ කුමරු - රට දැය මුදා ගත් තේ
මෙදා අපේ සෙන් පති වරු හමුදාවේ රණ විරුවන් -
දිවි පුද දී රට ජාතිය – මුදා ගත් තේ

එදා ගැමුණු නර පතිඳු තම සොහොයුරු ‘සද්ධා තිස්’
ගොවිතැන් බත් සරු කරන්න දීඝවාපියට යැව්වා
මෙදා අපේ ‘ජනපතිඳු’ තම සොහොයුරු ‘බැසිල් කුමරු’
රට වැඩුමට පවරා දී යාපා පටුනට යැව්වා

එදා සවැනි ‘පැරකුම්බා’ තම පුතු ‘සපු මල් කුමරා’
උතුරු කරේ ජයගන්නට යාපා පටුනට යැව්වා
මෙදා අපේ ‘නරපතිඳු’ ඝෝඨාභය කුමරු සමඟ
වීර සෙබලු සෙන්පතිවරු යාපා පටුනට යැව්වා

බෙලිඅත්තේ - සිරි කෝරළේ ආරච්චි


ජනපති දැයට කිරුළකි

තුන් සිංහලය එක් සේසත් කළ නිරිඳා
රුපු සෙන් පදවා සිරිලක දිනු රජිඳා
සත්ගිරි පවුරු තරනය වැනි ජය ලදදා
ජනපති මිහිඳු කිරුළකි දිවයිනට සදා

මුර දේවතාවුන් දිවයින රැක දුන්න
සෙන්පති සෙබළු සොයුරනි දිවි පුද දුන්න
ඉතිහාසයේ නව රන් පිටු ගෙන දුන්න
විරුවනි ඔබට ජාතිය ණයගැති මෙන්න

තිස් වසරකින් සාමයෙ හිරු පායනවා
නිදහස් සොම්නසට විහඟුන් රැව් දෙනවා
ජාතික ධජය අභිමානව ලෙළ දෙනවා
සිත්වල සාමයේ තුති මල් සුපිපෙනවා

තල් අරනේ ගම්මානය ඉඳිවේවා
පල වැල සපිරි ගොවිපල යලි සරුවේවා
යාල් දේවියට නව සළු පැලෙඳ්වා
ලක් මෑණියගෙ දරු කැල එකමුතු වේවා

ධර්මදාස එන්. ගමගේ


මැදුම් පිළිවෙතේ අභිමානේ

අඳුරු අහසේ රිදී රේඛා මතුවෙතියි කවුරුන්ද සිතුවේ
කඳුරු ගංගා බවට පත් වී දෙගොඩ තලතියි කවුරු සිතුවේ
පවුරු පදනම් මුලින් ඉදිරී ඇද වැටේයැයි කවුරු සිතුවේ
ඉවුරුවල මල් පිපී හිනැහී සුවඳ හමතියි කවුරු සිතුවේ

විදුදයේ විදුලකර පිරිවෙන් මෙ පින් බිම සරසවි නොවන්නට
ගමේ කොල්ලට ගමේ කෙල්ලට හැකි ද ? මහැදුරු ඇදුරු වෙන්නට
එවන් ජනතා යුගයකින් රට අවදි වෙන්නට පෙරට යන්නට
පටන් ගත් මැද මාවතේ යමු නව ලොවක අරුණලු දකින්නට

මග නැඟුම ගම නැගුම මාවත් තැනුම සලසන රටට ජන සෙත
සිදු කරන්නේ අදත් ගුරු කොට එදා පිළිගත් මැදුම් පිළිවෙත
නැණ නුවණ පතපොතින් මතුවෙයි සුවඳවත් වී සිහල කවිකෙත
මෙරට සුරපුරයකට නො දෙවැනි කෙරෙත් උතුරණ සතුට සම්පත

කුංචනාදය නගන්නට බැරි කමින් ඇත්රජ පසු තැවෙන්නේ
තිරිසනා තිරිසනාමයි නැත යළිත් තිරිසන් ලොව නැෙඟන්නේ
කල් නොයා ජනතා කැමත්තයි උන්ගෙ ලෝකෙට ගිනි තියන්නේ
එ ගින්දරයෙනි නපුරු රදළ වාදය අළු කරන්නේ

ගරාගොඩ ජයරත්න ජයකොඩි


සැරැදේවා දිගුකල්

අපේ අහසත්, අපේ පොළොවත්, අපේ මුහුඳත් දැන් අපේ
ජාති ආගම් කුලය නොතකා කරන්නට ඉදිරිය ඔපේ
දෙකඩ කෙරුමට මෙයින් පසුවත් ඉඩ නොදෙමු අපි මේ කපේ
පවුර විලසින් සමගියෙන් දැන් ගොඩනඟමු දේහය අපේ

නිදහසින් පසු ෙඓතිහාසික දිනය අපි ජයගත් දිනයි
මමත් ඉපදුන මගේ රටනම් මගේ ජීවිතෙ පන සමයි
අපේ දේශය ගොඩනඟන්නට සියලු දෙන දැන් සිත් යොමයි
අභිමානයෙන්, ශ්‍රී ලකට රටවල් ඉදිරි ගමනට අත වනයි

දශක තුනකට කිට්ටු කාලෙක තිබුණ සටනත් නිමවුනා
අනාගතයට උරුමකම් ඇති ළමා ළපැටියො නැතිවුනා
හයක් හතරක් නොතේරෙන බිළිදුන්ද බිල්ලට ලක්වුනා
මව්පියන් නැඟු , දෙස් දෙවොල් මත , ත්‍රස්තවාදීන් සුන්වුනා

ජාති සිංහල බුදුසමය නිති රකිනුවස් තම වෙහෙස දැරුවේ
ගැමුණු පැරකුම් රජුන් අතරට මහින්දගේ නම එකතු වූවේ
වීරකැප්පෙටි ළදරු මද්දුම අතීතයමතකයට ආවේ
සියලු ජාතීන් සැවොම දේශයේ එකම ධජයක් තුළට වූවේ

විශේසෙන් වූ කුළුනු ඉදුමුදු ගුණය නිතරම සැමට පෑවේ
ඔබය සිරිලක රජලෙසින් අද රංකිරුළ මෙහි පැළඳ ආවේ
ඔබට මට මෙන්, උපන් දරුවට සොඳුරු දේශය උදා වූවේ
රජුනි ඔබවෙත පතමි ආයුෂ ඇති තරම් මෙහි චිරං ජීවේ

කොටි ත්‍රස්තයන් පැරදු පින සිතට අරන්
තුනුරුවණේ ගුණ ලැබේවා පැතූ තරන්
දෙවියන්ගේ පිහිට ලැබෙගණ සතර වරන්
සැරදේ රජතුමණි දිගුකල් ජයතු චිරන්

එම්.රේමන් ප්‍රනාන්දු


සෙන්පති ඔබයි

සෙන්පති ඔබයි අප දිවි මග රැක ගත්තූ
භූ®පති ඔබයි නිජ බිම බේරා ගත්තූ
නරපති ඔබයි හැම දන හද බැඳ ගත්තූ
ජනපති ඔබයි හෙළ අභිමන් ජය ගත්තූ

ඔබගේ වදන් සත හද තුළ රැදේවා
ඔබගේ පැතුම් දින තුඩ තුඩ ඇගයේවා
ඔබගේ දැක්ම තුළ මවු බිම දිනේවා
ඔබගේ සිනා කැන් මල් යායක් වේවා

හැකිකම් රැකගන්න නොව කවි පද බැන්දේ
දකුණේ උපන් එඩියයි හද තුල රැන්දේ
සාමය සතුට කැන්දා ජනපති නිරිදේ
උතුරු දකුණු යායම ජය දද බැන්දේ

දිය උතුරා නිල් කෙත් කිරි ඉතිරියන්
තල් පොල් රුක් සෙවනෙ සිසිලස ලැබීයන්
ගොවි දන මනා හදවත් නිති සැනසීයන්
මතු තව කලක් ඔබෙ ශක්තිය ලැබීයන්

එක් අයකු නොව මහ පිරිස් වී ඔබගෙ යටතේ රැදේවා
එක් අණක් නොව පොදු අණක් වී සැමට නිති සෙත සෑදේවා
බිම් දෙකක් නොව එක බිමක් වී තුරු ලතා මල් පිපේවා
එක මලක් නොව මල් වැටක් වී නුඹේ පා යුග පිදේවා

ලීල් ආනන්ද ගජනායක


ආඩම්බරයි

ගොස් පෙරමුණට නූතන දුටුගැමුණු වගේ
දිවි හිමියෙන්ම කැපවී මෙහෙවරට යුගේ
ජනපතිතුමා කළ සේවය කරමු අගේ
එතුමා ණය නොමැත ලක් දිනිතියට මගේ

පෑගෙන තැලෙන අය ගැන හදවතට රිදී
කොතැනද සටන එතනට පන්නරය දිදී
එතුමා දශක ගණනක් වැඩ කරපු විදී
කවි සිය ගණන් ලීවත් මගෙ හිතට මදී

මත අතහැර දමා යල් පැන ගිය ඔටුණු
රට ගොඩනගමු දැන්වත් යුද ගිනි නිවුනු
දිවි හිමියෙන්ම සාමයෙ මුතු ඇට ඇමුනු
රට එක සේසත් කළා නූතන දුටුගැමුණු

රදපසවරුන් කවදත් මගෙ රට රැක්කා
ඒ බව රටේ කවුරුත් හොඳහැටි දැක්කා
කවුරුත් ඇවිත් කීවත් කොතැනදි මක්කා
අපෙ ජනපතිය හැමදා රටටම ලොක්කා

නුපුරුදු නුහුරු කඳුලක් නෙතු අග රන්දා
යෝෂිත පුත් රුවන හමුදාවට බන්දා
ආදුරුසයක් මේ මුළු රටටම දුන්දා
මවුවරු තුටු කඳුළු වගුරා ඉකි බින්දා
ජාතික ආගමික කුලගොත් නොසලකන
සේවය කරන ජනතාවට පුදා පන
බාධක හමුවෙ නොබියව ඉදිරියට යන
ආඩම්බරයි මට රදපස මැතිඳු ගැන

මේ මවු බිමයි ජාතික සමගියේ ජයයි
රැකගනු පිණිස නොබියව ඉදිරියට ගියයි
රණකුරුවලින් හෙට ඉතිහාසයේ ලියයි
නපතිඳුනට මගෙ මුළු ජාතියම ණයයි

ආගම් ජාති කුල බේදය නොසලකන
පාට පක්ෂ ධන නිල නොසල කන
රට ජාතියට ආදරයෙන් වැඩ කරන
අපෙ ජනපතිට සරණයි සම්බුදු සරණ

විදුලිය දිදී පාරෙහි පාලම් බැන්ද
යුද්ධය නිමා කර රට ගොඩ නගමින්ද
ජනපතිතුමා අපගේ ඇති පිටකොන්ද
දිනවන්නට දෙන්න ඔබ සැමගේ ඡන්ද

කමලා රණතුංග

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්