සුවහසක් සිත් එක් සිතක් විය

සුවහසක් සිත් එක් සිතක් විය

ලොව ශක්තිමත් වන්නේ හිරුගේ කිරණින් සහ මව ගේ කිරෙන් යැයි කීවේ මැක්සිම් ගෝර්කි ය.

වැදගත් වන්නේ තුවක්කුව නොව තුවක්කුව පිටුපස සිටින මිනිසා යැයි කීවේ මාඕ සේතුං ය.

මැක්සිම් ගෝර්කි සහ මාඕ සේතුං ඉතිහාසයේ එක් සුවිශේෂ ඉඩ හසරක දී එක් වූහ.

ඒ මහින්ද රාජපක්‍ෂ නම් වූ ජව සම්පන්න සහ සංවේදී මිනිසාගේ චිත්ත සන්තානය තුළදීය.

හිරු කිරණ හරහා ශක්තිය ගලා ගියේය. මව් කිරි හරහා සෙනෙහස ගලා ගියේ ය. ශක්තිය ද සෙනෙහස ද එක්වූ කල්හි එය පරාජය නොවන බලවේගයක් බවට පත්වෙයි. මහින්ද රාජපක්‍ෂ චිත්ත සන්තානය සෙනෙහස පිරි ශක්තිමත් එකක් බැව් ලොවට පෙනෙන්නට පටන්ගත්තේ ය.

“මානුෂික මෙහෙයුම” නම්වූ ඓතිහාසික ක්‍රියාන්විතය දියත් වූයේ ඒ අයුරෙනි. ඒ ක්‍රියාන්විතය පුරාම සුරු විරුකම් මෙන්ම සංවේදී මනුස්සකම් ද ගහණ වීය.

මහින්ද රාජපක්‍ෂ සේනාධිනායකයා ද මාඕ සේතුං මෙන්ම තුවක්කුවට වඩා තුවක්කුව පිටුපස සිටින මිනිසා වැදගත් බව විශ්වාස කෙළේ ය.

සේනාධිනායකයා වශයෙන් එතුමා කෙළේ සියල්ලට ම පළමුව මේ මිනිසා ශක්තිමත් කිරීම ය. තුවක්කු මිලදී ගත හැකිය. එහෙත් ශක්තිමත් සොල්දාදුවකු මිලදී ගත නොහැකිය. ඔහුව නිර්මාණය කළ යුතු වීය.

සොල්දාදුවාගේ ශක්තිය තිබෙන්නේ ඇඟේ පතේ නොව සිතේ ය. සිත ශක්තිමත් කිරීම ඇඟපත ශක්තිමත් කිරීම තරම් පහසු කටයුත්තක් නොවේ.

මේ අපේම සහෝදර සහෝදරියන් ලෙසින්...

සිත තුළ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය, ආත්ම අධිෂ්ඨානය පුරවාලිය යුතුය. ඉලක්කයෙන් බැහැරව නොගොස් ඒ තුළම ඉන්ද්‍රඛීලයක් සේ ස්ථාවර සිටීම සඳහා අවශ්‍ය ශක්තිය පුරවාලිය යුතුය.

දේශයට එරෙහිව සටන් කරන ත්‍රස්තවාදයට නොබියව මුහුණ දීමට නම් සිත දේශාභිමානයෙන් තෙත් කළ යුතුය. ඉපැරණි නර විරුවන් හෙළ බිම රැකගත් අයුරු කියාපාන ඉතිහාසය සමඟ සොල්දාදුවාගේ්සිත බද්ධ කළ යුතු විය.

එසේම අභියෝගය ඉදිරියේ හැඟීම නොව බුද්ධිය පෙරට ගත යුතු නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව සොල්දාදුවා ගේ සිත තුළට කාන්දු කළ යුතු විය.

යුද්ධය හට ගන්නේ සිතෙහි ය. යුද්ධය නිම වන්නේ ද සිතෙහි ය. යුද්ධය ජයග්‍රහණය කරන්නේ ද සිත තුළදීය. යුද්ධය පරාජය වන්නේ ද සිත තුළදීය.

සිත ශක්තිමත් නම් යුද්ධය පරාජය වන්නේ නැත. වියට්නාමයේ සොල්දාදුවෝ මේ සත්‍යය ලෝක ඉතිහාසයට එක් කළහ. දැවැන්ත අමෙරිකානුවන් ඔවුන්ට පරාජය වූයේ ඔවුන් ගේ සිත ශක්තිමත් වූ නිසාම ය.

මහින්ද රාජපක්‍ෂ සේනාධිනායකයා ප්‍රඥා සම්පන්නව සහ අදීනව තීන්දු තීරණ ගන්නා අයුරු අපේ සොල්දාදුවෝ බලා සිටියහ. ඒ තීන්දු මත පිදුරුතලාගල පර්වතය සේ නොසැලී සිටින අයුරු ඔවුහු දුටහ.

ඒ ශක්තිමත් සේනාධිනායකත්වය මුදාහල ශක්ති කදම්භයන් සොල්දාදුවන් ගේ චිත්ත සන්තානය තුළ ස්ථිර සාරව තැන්පත් වීය. තුවක්කුව පිටුපස සිටි අඩි පහකුත් අඟල් ගණනක් උස මිනිසා දහ අට රියන් යෝධයකු බවට පත්වූයේ ඒ අයුරෙනි.

මාවිල්ආරු සොරොව්ව සිට නන්දිකඩාල් කලපුව තෙක් පැමිණි ගමනට අවශ්‍ය ශක්තිමත් සිතක් සොල්දාදුවාට ලැබුණේ්ය. එක් කලෙක තමන් ගේ කඳවුර ඉදිරියට පැමිණ ඇඳිවත ඔසවා නිරුවත පෙන්වූ කොටින්ට කළ හැකි දෙයක් නොමැතිව සිටි සොල්දාදුවා කොටි ත්‍රස්තවාදියාගේ ගෙල මුලින් අල්ලා නන්දිකඩාල් කලපුවට වීසි කරන තරමට අයෝමය ශක්තියක් ලද්දේ සේනාධිනායකයා සිතට ශක්තිය “පොම්ප” කළ බැවිනි.

එහෙත් අහිංසක දෙමළ වැසියන්ට නිය පිටක හානියක් නොවන්නටත් වියපත් මව්වරුන් පියවරුන් දෑතින් ඔසවා ආරක්‍ෂිත ස්ථානවලට ගෙන යන්නටත් සොල්දාදුවා පියවර ගත්තේ ඒ තරමට ම ඔවුන් ගේ සිත් සංවේදී බවින් පිරී ඉතිරී ගොස් තිබූ බැවිනි. ගැබිණි මව්වරුන්ට බිළිඳු දරුවන්ට සැපයූ ආරක්‍ෂාව, සොල්දාදුවාගේ සිත මනුෂ්‍යත්වයෙන් පිරී ඇති එකක් බැව් කියා පෑවේය.

සොල්දාදුවාගේ සිතට මේ ශක්තියද සංවේදී බවද කාන්දු වූයේ “හිරු” සේ මානුෂික මෙහෙයුමේ ශීර්ෂයෙහි සිටි මහින්ද රාජපක්‍ෂ නම්වූ සේනාධිනායකයා ද ශක්තිමත් හා සංවේදී මිනිසකු වූ නිසාය.

ඒ රාජ්‍ය නායකයාගේ සේනාධිනායකයාගේ සිව්වැනි වර්ෂ පූර්ණය යනු අන් කිසිවක් නොව ශශ්‍රී ලාංකේය ඉතිහාසය තෙත් කළ අදීනත්වයේ සහ අභිමානයේ සිව්වැනි වර්ෂ පූර්ණයයි.

විශිෂ්ට නායකත්වයක් සමග පැමිණි ශක්තියේ සහ සුන්දරත්වයේ සිව්වැනි වර්ෂ පූර්ණයයි. ආත්ම ශක්තියේ සහ ආත්ම විශ්වාසයේ සිව්වැනි වර්ෂ පූර්ණයයි.

වත් වසර ගණනාවක් පුරා අපේ ඉතිහාසය වර්ණවත් කරමින් ශක්තිමත් කරමින් මේ ආත්ම ශක්තිය ද ආත්ම විශ්වාසය ද ආත්ම අධිෂ්ඨානය ද විහිදවූ ශක්ති ප්‍රභවය පවතීවා.


සබැඳි පුවත්