අපිට මේ නිදහස ලැබුණේ අපේ ජනාධිපතිතුමා නිසයි...

අපිට මේ නිදහස ලැබුණේ අපේ ජනාධිපතිතුමා නිසයි...

දැන් තමයි අපි මෙහෙම හුස්මක් කටක් අරගෙන හිනාවෙලා කතර කරන්නෙ. අවුරුදු දෙකක්ම අපි මඩකලපුවෙ කඳවුරක ඉඳල ආපහු ඇවිල්ල වැඩි කලක් නැහැ.”

ත්‍රිකුණාමලේ ඊච්චලන්පත්තුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අපට හමුවූ එස්. දීශ්වරන් අප සමඟ කතාව පටන් ගත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ඡායාරූපයකට හිස නමා ගරුසරු දැක්වීමෙන් පසුවය.

“අපි කෙළින්ම කියන්න ඕනෑ අපට මේ නිදහස ලැබුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිසාය කියා. මගේ වයස අවුරුදු තිස් හයයි. එයින් අවුරුදු විසි පහකටත් වැඩිය කාලයක් අපේ අවට තිබුණේ බිය සැක, යුද්ධය අපේ ජීවිත අවුල් කළා. මගේ වයසෙ හුඟ දෙනෙක් අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තා.

ඊච්චලන්පත්තුවේ දීශ්වරන්ගේ කතාව

අපේ දෙමවුපියන්ට වැඩිහිටියන්ට තිබුණා හොඳ වාසනාවන්ත ජීවිත ගතකරන්න පුළුවන්කම. ඒ අයට ජීවත්වෙන්න සාධාරණ ක්‍රම තිබුණා. නමුත් කොටි සංවිධානය ඒවා නැති කළා. මගේ තාත්තගේ පුංචි සිල්ලර කඩේ නිසා අපේ පවුලට දුක නැතිව කාලා ඇඳලා ඉන්න පුළුවන්කම තිබුණා. කොටි සංවිධානය මාසෙකට ලොකු මුදලක් අපෙන් අය කළා.

මාසෙන් මාසෙ ඒ ගණන වැඩි කළා. තුවක්කුව පෙන්නලා අප බිය වද්දා උන් ඉල්ලන ගණනම දෙන්න කීවා. වැඩි කලක් නොගිහිල්ල කඩෙන් අපට වැඩක් නැතිවුණා. දවසක් ඉල්ලන ගණන දෙන්න බැරිව තාත්තා ඔච්චර තමයි තියෙන්නේ කීවාම කොටියෙක් තාත්තට පොලු පාරක් දුන්නා.

තාත්තා වැටුණා. ඊට පස්සෙ තාත්තා ඉස්පිරිතාලෙත් හිටියා. අපි කඩේ වහලා මඩකලපුවේ අනාථ කඳවුරකට ගියා. එහේ අවුරුදු එකහමාරක් හිටියා.

කොටියාට කප්පන් ගෙවන්න බැරිව ගෙවල් අතඇරලා ආ අය තමයි ඒ කඳවුරේ වැඩිපුර හිටියේ. ලොකු ගව පට්ටි, එළු පට්ටි තිබුණු අය ඒ සතුන් ලිහා දාලා කඳවුරට ආවා. සමහරු පීදෙන ගොයම් එක්ක කුඹුරු අතඇරල තමයි කඳවුරට ආවේ. හොඳට වැඩ කරල හම්බ කරගෙන කන්න පුළුවන් අපි කඳවුරක අනාථයන් වුණා. අනුන් දෙන දෙයකින් ජීවත් වන හිඟන්නන් වුණා.

ඔන්න නැඟෙනහිර පළාතේ කොටි පරදලා ඒ පළාත නිදහස් කර ගත්තා කියල අපට ආරච්චිය ආවා. අපි 2007 අගදි කඳවුරෙන් ගමට ආවා.

ගම වෙනස් වෙලා. ගෙවල් කැඩිලා, බිත්තිවල වෙඩි උණ්ඩ සිදුරු, ඉඩම් වල්බිහිවෙලා. අපේ හිතට ආවේ කාන්තාර, සොහොන් බිම්. කැඩුණු ගෙවල් ඇතුළට ගිහින් අපි අඬා වැටුණා.

ආයෙත් කොහොම හරි ජීවිතේ පටන් ගන්න ඕන කියන අධිෂ්ඨානය ඇතිව අපි ඒ ගෙවල් ආයෙත් හදා ගත්තා අව්වෙන් වැස්සෙන් බේරිලා ඉන්න පුළුවන් විදියට. ගමට ආවෙ ටික දෙනයි. හුඟ දෙනෙක් මැරිල. හුගක් ළමයි කොටියා ළමා සොල්දාදුවන් විදියට ගෙනිහිල්ලා.

හැම දෙනාගෙම මුහුණුවල තිබුණේ දුක, බිය. ආයෙත් කොටි ඒවි කියන බයත් තිබුණ. හමුදාවේ මහත්තුරු අපේ බිය නැති වෙන විදියට කතා කළා. මාස ගණනක් යන කල් අපට ආණ්ඩුවෙන් කෑම ලැබුණා.

මේ අපේ අනාගතය...

ඈත පළාත්වල සිංහල අය, පන්සල්වල හාමුදුරුවරු අපට කෑම, ඇඳුම් එව්වා. කොටි සංවිධානේ ගුරුවරු අපට කියලා තිබුණේ සිංහල අය නපුරු මිනිසුන් කියලා. නමුත් අපට පෙනුණා සිංහල මිනිසුන් හිත උණුවෙන අය කියලා.

ආයෙත් අපි කඩේ පටන් ගත්තා. දැන් අපේ අය බය නැතිව කුඹුරට යනවා. ඇළ මාර්ග පාදා දීලා ආණ්ඩුව වගාවට උදව් කරනවා. හොඳ පාරවල් හැදෙනවා. ස්පිරිතාල, ඉස්කෝල, ගොඩනැගිලි හැදෙනවා.

කන්න ගණනක් වගා නොකළ ගොඩ මඩ ඉඩම් දැන් වගා වෙනවා. දැනටමත් අපේ ගොවීන්ගේ අතමිට සරුවෙලා.

අපේ ගම් හරහා දැන් සිංහල වන්දනා බස් කොයිතරම් යනවාද? අපේ ළමයි ඒ අයට කෑම ජාති, පලතුරු, සිප්පි එහෙම විකුණලා සල්ලි හම්බ කරනවා. සේරුවිල, ලංකාපටුනට ලක්ෂ ගණන් මිනිස්සු පසුගිය දවස්වල ආවා. දැන් සුද්දොත් එනවා අපේ මුහුදු වෙරළට.

මේ සුළු කාලය තුළ වෙච්ච වෙනස පුදුමයි. හමුදාවත් දැන් පළාත සංවර්ධනය කරන්න පටන් අරන්. හැම තැනම අලුත් ප්‍රබෝධයක්.

දැන් කප්පන් ඉල්ලන අය නැහැ. නිදහසේ වගා කරන්න, වෙළඳාම් කරන්න, කර්මාන්තවල යෙදෙන්න අපට ඉඩ ලැබිලා. විදුලිය නැති ගම්වලටත් දැන් විදුලිය ඇවිල්ලා. ඉස්සර අපේ ගෙදරට ලයිට් තිබුණේ නැහැ. දැන් කඩේටයි ගෙදරටයි දෙකටම ලයිට් තිබෙනවා.

මේ වෙනස ඇතිවුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා. ඉස්සර ප්‍රභාකරන්ගේ පින්තූර තිබුණු ගෙවල්වල දැන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පින්තූර ගහගෙන තිබෙනවා. කොටියාගෙන් අප බේරාගෙන අපට නිදහස ලබාදීම ගැන පමණක් නොවෙයි. මේ පළාත සංවර්ධනය කිරීමට එතුමා දරන මහන්සියටත් අපි ණයගැතියි.”

එස්. දීස්වරන් එක දිගටම කතා කරගෙන ගියේය. ඒ වචන ගලා ආවේ ඔහුගේ හදවතින්මය.

“එතුමා අපේ ජීවිත යහපත් අතට වෙනස් කළා. එතුමා බොහෝ කාලයක් අපේ ජනාධිපතිතුමා වශයෙන් ජීවත්වේවා” ඔහු අපෙන් සමුගත්තේ එසේ පතමිනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්