දැන් ඉතිං රට හදමු

දැන් ඉතිං රට හදමු

වසර 2005 සිට මේ වසර දක්වා රටේ ආර්ථිකයේ ගමන් මඟ කුමක්ද? ජනතාවට ලැබුණු ආර්ථික වාසි මොනවාද විපක්‍ෂය විමසා සිටියි. ඊට අමතරව අප රටේ ආර්ථිකය නැංවීමේදී බලපාන අභියෝග හා ඒවා ජයගැනීමට ගත් ක්‍රියාමාර්ග කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කරති. මේ සියල්ල පිළිබඳ ගැඹුරින් සලකා බලා ඒ පිළිබඳව කැරෙන විමසා බැලීමකි මේ.

ශශ්‍රී ලංකාව වසර ගණනාවක් සිට සංවර්ධනය වෙමින් පවතින රටකි. එම තත්ත්වයෙන් මිඳීම අපේ රට මැදි ආදායම් ලබන රටක් ලෙස අලුත් මඟක් ගැනීම ඇරඹියේ වසර 2005 ඇරඹුමත් සමඟ ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් දියුණු කරා රැගෙන යෑම පමා කළ ප්‍රධාන අභියෝග 04 ක් පැවැතුණි. ඉන් පළමු වැන්න වසර 30 ක් පුරා පැවැති මහා විනාශකාරී යුද්ධයයි.

දෙවැන්න අප කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළයාමයි. වසර 2004 ට පෙර බොරතෙල් බැරල් එකක මිල අමෙරිකානු ඩොලර් 30 - 35 අතර විය. එය හිටි හැටියේම වසර 2005 අගභාගයේ පටන් 2008 මුල් භාගය දක්වා ඩොලර් 145 - 150 මට්ටමට ඉහළ ගියේය.

තුන්වැන්න මුළු ලෝකයම ආහාර අර්බුදයකට ඇඳ වැටීම විය. ලෝක ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ලොව සෑම රටක්ම සිය ආහාර නිපැයුම වැඩි කිරීමට පියවර ගත් අතර, ඒවා පිටරට යැවීම නතර කරනු ලැබීය. මින් යැපුම් මානසිකත්වයේ සිටි රටවල්වලට දැඩි අභියෝගයක් එල්ල විණි. අපිදු ඊට ඇතුලත් වීමු.

හත්වැන්න, මුළු ලෝකයේම ප්‍රබල ආර්ථික සහිත රටවල් පසුබෑමකට ලක්වීමය. ඒ සමඟම කලට වැසි නොලැබීම ඇතුළු ස්වභාවික ආපදා රැසකටද අපිට මුහුණදීමට සිදුවිය.

මේ අර්බුද හමුවේ ලොව කිසිවෙකුටවත් නතු නොවී දෙපයින් නැඟීසිටීමේ අවශ්‍යතාවය, අභියෝගය ජය ගැනීම සරල, සුන්දර කරුණක් නොවේ. ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

ලෝක ආහාර අර්බුදයෙන් මිදීමට “අපි වවමු රට නඟමු 2007 - 2010 තුන් අවුරුදු වැඩපිළිවෙළ” කාටත් පෙර ඇරඹි රජය එය යථාර්ථයක් කර ගැනීමට මහා මන්දිරයේ සිට පැල්පත දක්වා ගෙවතු වගාව ඇරැඹීය.

ජාතික ආරක්‍ෂාව සංවර්ධනය සහ සුබසාධනය යන තෙවැදෑරුම් කරුණු එකහා සමානව සපුරා ගැනීමට සිය ආර්ථික හා සාමාජීය වැඩපිළිවෙළින් දැඩි වෙහෙසක් ගත් වත්මන් රජය අද වන විට සාර්ථක ප්‍රතිඵල අත්පත්කරගෙන සිටියි.

රටේ ඒක පුද්ගල වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් 2000 මට්ටමට ළඟා වූ අප දැන් මැදි ආදායම් කාණ්ඩයේ රටක් බවට පත්වී හමාරය.

අප රට සතුව මානව හා භෞතික සම්පත් රැසක් පැවතුන ද නිවැරැදි ආර්ථික කළමනාකාරීත්වයක් නොමැතිව නිවැරැදි ජාතික ප්‍රතිපත්ති මාලාවක් නොමැතිව අඳුරේ අතපත ගෑ යුග තිබුණි. එහි ඵලය වූයේ කුමක්ද?

දුප්පත්කම, විරැකියාව, ආදායම් බෙදීයෑමේ විෂමතාව අප සමාජය ගිලගෙන සිටින නපුරුකම්ය. මේ නපුරුකම්වලට හිස එසවීමට මඟ පෑදූ හේතු රාශියකි. ඒ අතර තිස් වසරක් පුරා පැවැති මහා විනාශකාරී යුද්ධය මුල්තැන ගනියි.

ශශ්‍රී ලාංකේය ජනතාව පෙර කී නපුරුකම්වලින් නිදහස් කර ගැනීමට ක්‍රියා කරන ඕනෑම නායකයෙකු පළමුව කළ යුත්තේ මහා විනාශකාරී යුද්ධය නිමාකිරීමය. බෙදුම්වාදය පරාජයට පත් කිරීමය. මෙවන් වු උදාර යුග මෙහෙවරක් ඉටු කිරීමට හැකි රාජ්‍ය නායකයෙකු දශක ගණනාවක් තිස්සේ අප රටේ ජනතාව ප්‍රාර්ථනා කළහ. එවන් නායකත්වයක් රටේ බිහිවන තුරු රටවැසි ජනතාව සිහින දුටුහ.

වසර 2005 නොවැම්බර් මස 17 වැනිදා හිරු එළිය වැටුණේ එවන් නායකයෙකු බිහිකිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව රටවැසි ජනතාවට අවස්ථාව උදා කරමිනි. ශශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය එදා පැවැත්විණි. ඒ සඳහා එවකට අග්‍රාමාත්‍යධූරය දැරූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වූයේ, ජනතා සුබපැතුම් හා ආශිර්වාද මධ්‍යයේය.

ඔහු මේ සඳහා ඉදිරිපත් වූයේ අලුත් ශශ්‍රී ලංකාවක් බිහිකිරීමේ යථාර්ථවාදී වැඩපිළිවෙළක් අතැතිවය. එය මහින්ද චින්තනය නම් විය. වසර 2006 - 2016 දස අවුරුදු කාලය ඇතුලත රටපුරා සමසේ සංවර්ධනය ව්‍යාප්ත කිරීම එහි මූලික අරමුණ විය.

බස්නාහිර පළාතට පමණක් සීමා වී තිබූ සංවර්ධනය ඈත පිටිසර ගම්බඳ ප්‍රදේශ කරා රැගෙනයෑම තම වෑයම බව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී රාජපක්‍ෂ මහතා ජනතාවට කියා සිටියේය.

යථාකාරී තථාකාරී ගුණය ශ්‍රේෂ්ඨ නායකයින්ගේත් දක්නට ලැබෙන්නකි. ඒ බව මුළු රටට පමණක් නොව මුළු ලොවටම මනාව පෙන්වා දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියා කොට ඇත. සියධූරය භාර ගෙන වසර 4 ක් සපිරෙන අද දින වන විට සියලු ජනතාවට පිළිගත හැකි පරිදි ඔහු සිය යුතුකම් හා වගකීම් ඉටුකොට ඇත.

ඒවග මේ රටේ කිසිවෙකුට අමතක වී ගොස් නොමැත. දශක තුනක් තිස්සේ පැවැති මහා විනාශකාරී යුද්ධය අවසන් කරන බවට ජනාධිපතිවරයා ජනතාවට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. එම ප්‍රතිඥාව අංශුමාත්‍රයකින් හෝ කඩ නොකළ රාජපක්‍ෂ මහතා යුද, නාවික,” ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායට නිවැරැදි නායකත්වය, උපදෙස් හා නියෝග ලබා දෙමින් රණබිමේදී කොටි ත්‍රස්තවාදීහු පරාජයට පත් කිරීමට සමත් විය.

ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය යැයි ලොව බලවත් රටවල් විසින් පවා නම්, කළ කොටි සංවිධානය මානුෂීය මෙහෙයුම් මඟින් පරාජයට පත් කෙළේ ය. ත්‍රස්තවාදය රටින් තුරන් කළ යුතු යැයි පුරසාරම් දොඩමින් බලා නොසිට, දෙස් – විදෙස් අභියෝග හමුවේ මහින්ද රාජපක්‍ෂ මහතා සිය වගකීම් ඉටු කෙළේය.

මහා විනාශකාරි යුද්ධය නිමා කිරීමටත් පෙර රජය තවත් අභියෝග රැසක් භාර ගත්තේය. ඒ අතර, සම සේ දියුණු රටක් ගොඩනැගීම මුල්විය.

රටේ යුදමය වාතාවරණයක් පවතින විට සංවර්ධනයට අවශ්‍ය පරිදි මුදල් වැය කිරීමට නොහැකි යැයි කියා හෝ සුබසාධනයට යෙදවීමට මුදල් නැතැයි කියා හෝ අතපිස දා ගැනීමට රජය ක්‍රියා කෙළේ නැත. මහා විනාශකාරි යුද්ධයෙන් රට නිදහස් කර ගැනීමට අතිවිශාල මුදලක් වැය කරමින් වුව රජය රටපුරා දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් සඳහා අත දිග හැර මුදල් යෙදවූවේය.

ලොව ඕනෑම රටක් සිසු ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගන්නවා නම්; අනිවාර්යෙන් ම එහි සාමය පැවැතිය යුතුය. මහාමාර්ග, විදුලිබල, සන්නිවේදන ,වරාය, ගුවන් සේවා, ජල සම්පාදන, වාරිමාර්ග වැනි ආර්්ථික යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය. එපමණක් නොව සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස වැනි මහජන උපයෝගිතා අංශයේ දියුණුවක් ඇති කළ යුතුයි. මේ ලොව පිළිගත් සිද්ධාන්ත අබිබවා යමින් ගුණ යහපත්කමින් පිරි සමාජයක් බිහි කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ මහා විනාශකාරී යුද්ධය රටේ පැවැති අවධියේදීම වීම විශේෂ සිද්ධියකි. එමෙන්ම පෙර කී සිද්ධාන්ත සපුරාලීමට ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස මුදල් වෙන් කළේ ය.

රට පුරා විහිදුනු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක විය. මහා මාර්ග අංශය ගත් කළ දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ මහනුවර අධිවේගී මාර්ගය මෙන්ම කොළඹ නගරයේ තදබදය අවසන් කිරීමට වටරවුම් මාර්ග පද්ධතිය ඉඳිකිරීම ඇරැඹිණි.

දේශපාලන හෝ ආගමික හෝ හේතු මුල්කොටගෙන ජනතා විරෝධතා නමැති දවටනයේ ඔතා ඉදිරිපත් කළ ඇතැම් විරෝධතා පිළිබඳ ගණන් නොගෙන රටේ, ජාතියේ අවශ්‍යතා හඳුනාගෙන සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට රජය පියවර ගත්තේ ය. ඒ අනුව දිගුකලක් තිස්සේ ආරම්භ කිරීම අමතක කොට දමා තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, ත්‍රිකුණාමලය, සාම්පූර් ගල් අඟුරු බලාගාරය, කෙරවලපිටිය තාප බලාගාරය ඉඳිකිරීම ඇරඹිණි. ඒවා අප රටේ ජාතික ආර්ථික සංවර්ධනය උදෙසා රජය ගනු ලැබූ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන පියවරයන් ය.

මීට අමතරව ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර මට්ටමේ වරායන් පහක් එකවර ඉඳිකිරීම ආරම්භ කැරිණි. හම්බන්තොට, ගාල්ල ඕලුවිල්, කන්කසන්තුරේ හා කොළඹ වරායන් ඒවා වේ. මේ සමඟ කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික ගුවන් තොටුපලට අමතරව දකුණුලක ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ උඩමත්තල දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීමට තව නොබෝ දිනකින් මුල්ගල තැබෙනු ඇත.

රටපුරා මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක කිරීමත් සමඟ ලංකා ඉතිහාසයේ පෙරළියක් විද්‍යාමාන විය. නිදහසින් පසු මෙරට වාර්තාකළ අඩුම විරැකියා අනුපාතය වාර්තා කෙළේ ය. සියය 14,15 මට්ටමේ පැවැති විරැකියා අනුපාතය මේවන විට සියයට 5 දක්වා පහත වැටී ඇත.

වසර 2002 දී රාජ්‍ය සේවයට කිසිවෙකුවත් අලුතින් එකතු කිරීම හෝ පුරප්පාඩුවන තනතුරුවලට කිසිවෙකු බඳවා ගැනීම හෝ චක්‍රලේඛ මඟින් නවතා දමා තිබුණි. එහෙත් වසර 2005 දී මෙරට පස්වැනි විධායක ජනාධිපති ධූරයට පත්වූ රාජපක්‍ෂ මහතා ලබාදුන් උපදෙස් මත රාජ්‍ය අංශයේ රැකියාවේ නිරත සංඛ්‍යාව ලක්‍ෂ 6 සිට මේවනවිට ලක්‍ෂ 12 දක්වා වැඩිකොට ගෙන හමාරය. වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ගුරුවරුන් වශයෙන් පමණක් 33,000 ක් බඳවා ගත් යුගයක්, පාලන කාලයක් අප මීට පෙර දැක තිබුණේ නැත. එවන් උදාර යුග මෙහෙවරක් ඉටු කළ කාලපරිච්ඡේදයක් අපි පසුකරමින් සිටින්නෙමු.

ජාතික මට්ටමේ සමාජ ආර්ථික හා ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතරම ගමේ පාර, ප්‍රජා ශාලාව, ළදරු අධ්‍යාපන මධ්‍යස්ථානය, විහාරස්ථානය, දියුණු කිරීමටද ඉතිහාසයේ පෙර කවර රජයක් වත් වැය නොකළ මුදලක් මේ රජය වැය කොට ඇත.

රට හදන සටනට ජනතා සහය...

රටේ ජනතාව භුක්ති විඳින පහසුකම් නැංවීම ඒවායේ ප්‍රතිලාභ සැමට සමානව ලබාගැනීමට ඉඩකඩ විවර කිරීම මේ රජයේ දැක්ම වේ.

2005 සිට වසර 2008 දක්වා රටේ ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වී ඇත. නිදහසින් පසු ශශ්‍රී ලංකාවේ අඛණ්ඩව වසර 4 ක් එකදිගට සියයට 5 කින් ආර්ථිකය වර්ධනය වූයේ රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ය.

රජයට ආදායම් ලෙස ලැබෙන මුදල් ප්‍රමාණය පිළිබඳ නොව, රටේ මානව සම්පතේ සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳව මෙන්ම ගුණ යහපත් සමාජයක් බිහිකිරීමේ අරමුණින් රජය සිය ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙය වන්නේය. ඒ අනුව මතට තිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙළේය. ඉන් රජයට ලැබෙන අතිවිශාල මුදලක් අහිමි වී ගියේය.

රජය සියආදායම් ප්‍රමාණය නැති නම් විශේෂයෙන් තීරු බදු ආදායම් රුපියල් කෝටි දස දහසක් වසරට අහිමි කර ගනිමින් පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහත දැමීමට ක්‍රියා කෙළේ ය. පිටරටින් ගෙන්වන භාණ්ඩ සඳහා අය කළ ඉහළ තීරු බදු ප්‍රතිශතය පහත දැමීමෙන් අඩුමිලකට පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර බෝග ලබා ගැනීමට ඉඩකඩ විවර කෙළේ ය.

සංවර්ධනය, සුබසධනය යන මාතෘකා දෙක අමතක නොකොට, ජාතික ආරක්ෂාවද සහතික කිරීමට දැවැන්ත මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව වැය කළ රජය පොහොර සහනාධාරය සඳහා පමණක් වසරකට රුපියල් බිලියන 12 ක් වැය කෙළේය.

ත්‍රිරෝද රථ රියදුරාගේ සිට අපනයන සංවර්ධන, නැතිනම් ජාතික වාණිජ මණ්ඩලවල ප්‍රධානියා දක්වා එක් මේසයකට කැඳවා තොරතුරු හා ප්‍රශ්න කතා කොට අයවැය යෝජනා සකස් කිරීමේ පිළිවෙත හඳුන්වා දුන්නේ ගත වූ සිව් අවුරුදු කාලසීමාවේදීය.

වෘත්තීය සමිති නියෝජිතයින්ගේ යෝජනා හා ඉල්ලීම් වැටුප් වැඩිකිරීමේ සාකච්ඡා මේසයේදී මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටය.

මෙවැනි සුවිශේෂ සිදුවීම් රැසක් ආර්ථික අංශ ක්‍රියාකාරකම් අතර සිදුවු ගතවූ සිව් වසර තුල මුළුමනින්ම රටවැසි ජනතාවට ආර්ථික වාසි ලැබී අවසන්වී නොමැත. තවමත් ග්‍රාමීය ආර්ථිකයේ පිබිදීමක් සිදුවිය යුතුව ඇත. දුප්පත්කම සියයට 22 සිට සියයට 15 දක්වා පහත වැටුණද එය තවත් අඩුකර ගත යුතුව ඇත. උද්ධමනය තනි ඉලක්කමේ ප්‍රතිශතයක් බවට පත් කරගත යුතුව ඇත.

ආදායම් විෂම ලෙස බෙදීයෑම වැළැක්විය යුතුව ඇත. කෙටියෙන් පැවැසුවහොත් රටේ ජනතාවගේ ඇඟට දැනෙන සංවර්ධනයක් සිදුවිය යුතුව ඇත. ඒ සඳහා අපි සියලු රටවැසියෝ ජාති ආගම්, දේශපාලන බේද සියල්ල අමතක කොට එකට එක්වී කැපවිය යුතු කාළය දැන් එළැඹ ඇත.

ඒ සඳහා අපි ලාංකිකයෝ සූදානම් වන තරමට රටත්, ජනතාවත් ජයග්‍රහණය කරා ගන් කරනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්