ජනාධිපතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා

ජනාධිපතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා

මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණෝ

අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයට පත්වී සිව් වසරක් සපුරන මේ අවස්ථාවේදී එතුමන්ට අපගේ සුබ පැතුම් පිරිනමමු. පසුගිය සිව් වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ අභියෝගාත්මක මෙන්ම දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ බව අපි දනිමු.

එක් පසෙකින් තිස් වසරක් පුරා ඇදී ගිය යුද්ධයකින්ද, ආර්ථික දරිද්‍රතාවයෙන්ද, සාරධාර්මික පිරිහීමෙන්ද අප මව් බිම බොහෝ සෙයින් පීඩාවට පත්ව තිබිණි. ඒ අභියෝගයන් ජය ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උත්සහ දරූ බව අපි විශ්වාස කරමු.

 

ආගමික සහජීවනයට මුල් තැන...

එම උත්සාහයේ යම් ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් සිටිමු. මේතාක් යුද්ධය පවතින අවස්ථාවේදී තිබූ අභියෝගයන්ට සමානවම ඇතැම් විට ඊටත් වඩා අභියෝග රැසක් අනාගතයේදී රටට මුහුණ දීමට ඇති බව මෙහිදී අමතක නොකළ යුත්තකි.

උතුරු නැඟෙනහිර අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සහ ඔවුන්ට අනාගතය ගොඩනඟා ගැනීමේ පහසුකම් සැපයීම, ජනවාර්ගික අර්බුදයට සැමදෙනාටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබා දීම, කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීම, සාරධර්ම වර්ධනය මේ අතරින් ප්‍රධානය.

මේ අභියෝග ජය ගනිමින්, සියල්ලන්ගේ මූලික මිනිස් අයිතීන් සුරැකෙන සාමකාමී සහ සාධාරණ යහ පාලනයක් ගොඩ නැගීම සඳහා අවංකව උත්සහ දැරුමට අවශ්‍ය දේවාශිර්වාදය අතිගරු ජනාධිපතිතුමන්ට ලැබේවා! යි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්